
(අංජුල මහික වීරරත්න)
වසර ගණනාවක් පුරා ඇණහිට තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ සිදු විය.
හංගේරියානු රජයේ ණය ආධාර මත 2021 වසරේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 14.37කි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ හංගේරියානු රජයේ ණය ආධාර නවතා දමන ලද අතර, ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතුද නවතා දමන ලදී.
ඒ අනුව, රුපියල් බිලියන 12.27ක දේශීය අරමුදල් යටතේ නැවත ආරම්භ කෙරුණු මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් මාස 22ක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ගුවන් පාලම විලියම් ගොපල්ලව මාවත ඔස්සේ ඉදිකරන අතර, ගන්නෝරුව මාර්ගයේ මහවැලි ගඟේ දකුණු ඉවුරෙන් ආරම්භ කර ගැටඹේ මංසන්දියට සහ දුම්රිය මාර්ගයට ඉහළින් ඉදි කෙරේ. මෙම ගුවන්පාලම දිගින් මීටර් 374ක් වන අතර, දුම්රිය මාර්ගය දක්වා ද්විත්ව මංතීරු සහිතව ඉදිකිරීමට නියමිතය.
පේරාදෙණිය දෙසින් ඉදිකරන අතුරු ගුවන් පාලම දුම්රිය මාර්ගයට ඉහළින් ප්‍රධාන ගුවන් පාලමට සම්බන්ධ වී මංතීරු 3ක් ලෙස ප්‍රධාන ගුවන් පාලම විලියම් ගොපල්ලව මාර්ගය සමඟ සම්බන්ධ වන ලෙස ඉදිකරනු ලැබේ. මෙම අතුරු ගුවන් පාලමේ දිග මීටර් 172ක් වන අතර පළල මීටර් 6.5කි. මෙම අතුරු ගුවන් පාලම ඉදිකිරීම හේතුවෙන් මහනුවර සිට පේරාදෙණිය දක්වා විලියම් ගොපල්ලව මාර්ගයේ ගමන් කරන රථ වාහනවලට දුම්රිය හරස් මාර්ගයට හසු නොවී ගමන් කළ හැක.
ප්‍රධාන ගුවන් පාලමේ ද්විත්ව මංතීරු කොටසේ පලළ මීටර් 9.4ක් වන අතර මංතීරු 3ක් සහිත කොටසේ පළල මීටර් 12.9කි.
මෙහිදී ව්‍යාපෘති සැලැස්ම නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ව්‍යාපෘති නිලධාරීන් සමග කෙටි සාකච්ඡාවකද නිරත විය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd