(කීර්ති ප්‍රනාන්දු)

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගත් කතුවරයකු හා ලේඛකයකු වූ මීමන ප්‍රේමතිලක මහතාගේ දෙටු පුත්‍රයා වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මිය යන විට 78 වියේ පසුවිය.

ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඒ මහතා විසින් ග්‍රන්ථ රැසක් රචනා කළ අතර අන්ධකාරයේ දරුවා, ශ්‍රේෂ්ඨ මොහොමඩ් අලි ගේ කතාව, සත්‍යවාදියෙකුගේ දිනපොත , ශ්‍රී ලාංකික පාඨකයන් ආදරයෙන් වැළඳ ගත් ග්‍රන්ථ කීපයකි.

එසේම සුනිල් මාධව යන් විසින් රචනා කරන ලද සත්‍යවාදියෙකුගේ දිනපොත 80 සහ 90 දසකයේ ශ්‍රී ලාංකීය පුවත්පත් මාධ්‍ය කලාවේ තීරුලිපි රචනාව නව පරිවර්තනයක් ඇති කළේය. එසේම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නැගී එන නවක මාධ්‍යවේදීන් හට ගුරු හරුකම් ලබාදුන් සුනිල් මාධවයන් අති දක්ෂ දේශකයෙක් ද විය.

සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.