(සුමති කුඩලිගම සහ මහීපාල ජයලත්)

සිය බිරියගේ නමට ඇති නඩු කටයුත්තකට  මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට   සිය බිරිඳ සමග ආ 51 හැවිරිදි සැමියකු අධිකරණ පරිශ්‍රය තුළ දී හදිසියේ රෝගී වී සිහිසුන්ව ඇද වැටී මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නෑබඩ අරප්පල කන්දවත්ත පදිංචි මාඩසාමි චන්ද්‍ර මෝහන් නැමති එක්දරු පියකු බව පොලිසිය සඳහන් කරයි.

සිය බිරිඳගේ නමට ඇති නඩු කටයුත්තකට සහභාගී වීම සඳහා බිරිඳ සමග මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ අධිකරණ සංකීර්ණයේ අසුන්ගෙන සිටියදී මේ පුද්ගලයා හදිසියේ සිහිසුන්ව ඇද වැටී තිබේ.

හදිසි ගිලන් රථ සේවාව මගින් මේ පුද්ගලයා මතුගම වැහැත්තෑව රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මළ සිරුර පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය මතුගම හදිසි මරණ පරීක්ෂක අසංක උදය බණ්ඩාර ලියනගේ මහතා විසින් සිදුකර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර අධිකරණ වෛද්‍ය කේ,එම්, පී.එම්, ගුණතිලක මහතා වෙත යොමු කිරීමෙන් පසු මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බව තීරණය කර තිබේ. මතුගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.