(විමුක්ති එස් රුද්‍රිගු)

ඕතඩොක්ස් පාස්කු උත්සවය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානු - යුක්රේන යුද්ධයට පැය 32ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත.

එම පැය 32 ක කාලය තුළදී රුසියානු හමුදාව යුක්රේනයට කිසිම ආකාරයක ප්‍රහාරයක් එල්ල නොකරනු ඇතැයිද රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.

සටන් විරාමය හෙට (11) රුසියානු වේලාවෙන් පස්වරු 4 ට ආරම්භ වීමට නියමිත අතර එය අනිද්දා (12) දවස පුරා ක්‍රියාත්මක වනු ඇත.

මීට පෙර සටන් විරාමයක් සඳහා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කීපවතාවක් මොස්කව්වලින් ඉල්ලීමක් කර තිබූ අතර ඒ සියලු ඉල්ලීම් රුසියාව නොසළකා හැර තිබිණි.

සටන් විරාමය ප්‍රකාශයට පත් කළත් සතුරාගෙන් එල්ල විය හැකි ප්‍රහාර මැඩ පැවැත්වීමට සූදානමින් සිටින ලෙස රුසියානු ජනාධිපතිවරයා සිය හමුදාවට උපදෙස් දී ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශයට පත්කළ සටන් විරාමයට පිළිතුරු දෙමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ සටන් විරාමයකට යුක්රේනයද එකඟ වන බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ යුක්රේන ජනතාවට තර්ජනවලින් තොරව සාමය දෙසට පිය තබමින් පාස්කු උත්සවය සැමරීමට අවස්ථාව ලැබිය යුතු බවයි.

සටන් විරාමය අවසන් වූ පසුව නැවත යුද්ධයකට නොයා සිටීමේ තීරණයද රුසියාවට ගැනීමේ හැකියාව පවතින බව යුක්රේන ජනාධිපතිවරයා පැවැසුවේය.