(අංජුල මහික වීරරත්න)

මැද පෙරදිග යුද තත්ත්වය නිසා පීඩිත සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවාව සාර්ථකව ක්‍රියාත්මක බව විදේශ කටයුතු අමාත්‍යාංශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්නේය.

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශය මේ දැනුම්දීම කළේය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ මෙරටට පැමිණ සිටින සංචාරකයන් මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ සංචාරකයන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවා තානාපති කාර්යාල හරහා සක්‍රීය කර තිබෙන බවත්, ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් මෙහිදී සඳහන් කෙරිණි.

දැනට වාර්තා වී තිබෙන තොරතුරු අනුව අදාළ රටවල වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බරපතළ හානි වාර්තා වී නොමැති බවත්, තානාපති කාර්යාලවලින් සහාය ඉල්ලා ඇති අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාළ තානාපති කාර්යාල වෙත මේ වන විටත් යොමු කර තිබෙන බවත් සඳහන් කෙරිණි.