(සුජිත් හේවාජුලිගේ)

සියලුම රජයේ සංචිත වාහනවල රාජ්‍ය ලාංඡන යෙදිය යුතු වූවත් පාර්ලිමේන්තුවේ සංචිත වාහන පනහක රාජ්‍ය ලාංඡනය සවිකර  නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ වාහන හතළිස් එකක ඉන්ධන දහන පරීක්ෂාවද චක්‍රලේඛ ප්‍රකාරව  කර නොතිබුණු බව එහි දැක්වේ.

සෑම ඉන්ධන පරීක්ෂාවකට පසු මාස දොළහක කාල සීමාවකින් පසුව හෝ කිලෝමීටර් 25000ක  දුර ප්‍රමාණයක්  ධාවනය කිරීමෙන් පසු හෝ එංජිම සම්බන්ධ ප්‍රධාන අලුත්වැඩියාවකට පසුව හෝ යන කාරණා අතුරින්  මුලින්ම යෙදෙන අවස්ථාවකට  පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් කළ යුතු බව 2016 දෙසැම්බර් 29  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි

මේ අතර  පාර්ලිමේන්තුවට අයත් වාහන 12ක් වෙන්දේසි කිරීමට නිලධාරින් පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් විසින් පසුගිය වසරේ මැයි 28 වැනිදා තීරණය කර තිබුණ  මේ දක්වාම එම කාර්යය සම්පූර්ණ කර නැතැයි විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට  සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර  ලබාදීම සම්බන්ධ   චක්‍රලේඛ  විධිවිධාන සහ උපදෙස් වලට පටහැනිව  ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර නොතිබුණ  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුට සහනදායි මෝටර් වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් විගණනය  වෙත ඉදිරිපත් නොකෙරැණු බවද  එම වාර්තාව සඳහන් කරයි

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය