
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද (3) පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළේය.
ඒ, එම විශ්වාසභංගය, ව්‍යවස්ථාවට පටහැනි බවත්, පාකිස්තානයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවත් පෙන්වා දෙමිනි.
ඒ සමඟ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීගෙන් ඉල්ලා සිටියේ ‘පාකිස්තාන ජාතික සභාව’ වහා විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසය. ඒ අනුව, පාකිස්තාන ජාතික සභාව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා අද (3) දහවල් තීරණය, කළේය.
පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් විශ්වාසභංගය ඉවත දැමූ අවස්ථාවේදී, පාකිස්තාන විපක්ෂය කථානායක අසාද් කේසර්ට විරුද්ධව ද විශ්වාසභංග යෝජනාවක් සභාගත කළේය. විපක්ෂ මන්ත්‍රීවරුන් 100 දෙනකු ඒ සඳහා අත්සන් ලබා දුන් බව ද වාර්තා විය.
විපක්ෂය එම විශ්වාසභංගය හරහා කථානායකවරයාට චෝදනා නගන්න වූයේ, කථානායකවරයා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව සභාගත කළ විශ්වාසභංග යෝජනාව හැසිරවීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවය.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සභාගත කිරීමට මැදිහත් වී කටයුතු කළේ පාකිස්තාන විපක්ෂ සන්ධානයේ දෙවැනි ප්‍රධාන දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි.
‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ යනු හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දේශපාලන පක්ෂයයි. දුෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිරදඩුවම් ද විඳි නවාස් ෂරීෆ් මේ වනවිට ලන්ඩන් නුවර වාසය කරන අතර, පක්ෂයට නායකත්වය දෙන්නේ ඔහුගේ සොයුරු ෂෙබාස් ෂරීෆ් ය.
ලන්ඩන් නුවර සිටින නවාස් ෂරීෆ් ට ඊයේ (2) ප්‍රහාරයක් එල්ල වූ බව ද වාර්තා විය. එම ප්‍රහාරය එල්ල කළේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාලක පක්ෂය වන ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් යැයි ද චෝදනා එල්ල වී තිබේ.
අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ යි. පාකිස්තාන විපක්ෂ සන්ධානයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වන්නේ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ සහ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට හේතු වූයේ වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බවට පෙන්වා දෙමිනි.
‘පාකිස්තාන ජනතා පක්ෂය’ මෙහෙයවන්නේ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරියක වන බෙනාසීර් භූතෝගේ පුත්‍රයා බිලාවිල් භූතෝය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ පාකිස්තාන විපක්ෂ දේශපාලන කණ්ඩායම්, තමන් බලයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නේ ඇමෙරිකාව සමඟ එක් වී කුමන්ත්‍රණය කරමින් බවය. තමන් බලයෙන් නෙරපා දැමීමට ගන්නා උත්සාහය පසුපස ඇමෙරිකාව සිටින බව ඔප්පු කිරීමට සාක්ෂි ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.
පසුගිය සිකුරාදා (1) ජාතිය ඇමැතූ අවස්ථාවේදී තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි ද අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවැසුවේය. තම ජීවිතයට කොතරම් තර්ජන ආවත්, පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගටම සටන් කරන බවත්, තමන් සමඟ එම සටනට එක් වී, විපක්ෂයෙන් එල්ල වන බලපෑම්වලට එරෙහි වන ලෙසත් අග්‍රාමාත්‍ය ඉම්රාන් පාකිස්තාන ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (3) විශ්වාසභංග ඡන්ද විමසුමට මුහුණ දීමට සූදානමින් සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ද නොමැතිවය. ඡන්ද විමසුම පැවැත්වූයේ නම්, ඔහු එයින් පරාජය වීමට ද ඉඩ තිබුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉම්රාන් ඛාන් වීරයකු ලෙස හැඳින් වූ ලාංකීය ජනතාවගෙ අදහස් මොනවද? දැන්වත් පිළිගන්නවාද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වලට අවශ්‍ය විදියට ආසියානු රටවල් හසුරවන බව...
කමල් හිතපු 53 සේනාංකේ කොළඹට ගෙනැල්ලා පාරවල් යකඩ බට දාලා වහගෙන වෙන ගේමකට සෙට් වෙනවා වගේ...
බටහිර රටවල් සහ ඉන්දීයාව ඉතාම උපායශීලීව ලාංකික ඡනතාව බිත්තියට හේත්තු කරනවා! පාලකයින්ට හොරකම් කරන්න ඉඩ නොදිය යුතුයි. අපි බටහිර රටවල්වල ජීවත් වෙද්දී තමයි ලංකාවේ අගය දැනෙන්නේ...! කරුණාකරලා නීතිය ශක්තිමත් කර ස්වාධීන කරන්න...! රටක් දියුණු කිරිමට ප්‍රධාන අඩිතාලම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි. කලා සහ වානිජ විෂයන් වෙනුවට තාක්ෂණික විෂයන්වලට දරුවන් යොමුකළ යුතුයි..! කොළඹ සිට ගාල්ලට වෙරළ තීරය සංවර්ධනය කරලා පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා රට නගාසිටුවීමට උරදීමට කැපවෙමු..! ප්‍රචණ්ඩ ක්‍රියාවලින් රටක් දියුණු කළ නොහැකියි. අරාබි වසන්ත ප්‍රචලිත කරපු සෑම රටකම ඡනතාවට සුදුහුණු වසන්තයක් නොමැත! 225 අපි 125 අඩුකර හොරාකන්න ඉඩ නොදෙමු!