(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අලුත්වැඩියා කර විවෘත කිරීම අද(6) සිදු කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහහනෙ හි තිරසර ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකය.

මාගා ඉදිකිරීම් සමාගම විසින් රුපියල් මිලියන 40 ක පිරිවැයක් දරා මෙහි ඉදිකිරීම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මගී ගුවන් පාලම අලුතින් ඉදිකිරීම, දෙවන මගී වේදිකාව දිගු කිරීම, සනීපාරක්ෂක හා මලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම, අභ්‍යන්තර හා බාහිර තීන්ත ආලේපනය, දුම්රිය මගී ආසන අලුතින් සවි කිරීම, දුම්රිය නිල නිවාස අලුත්වැඩියා කිරීම, විදුලි ආලෝක පද්ධතිය නවීකරණය සහ දුම්රිය ප්‍රවේශ මාර්ගයේ කාපට් ඇතිරීම ඇතුලු දුම්රිය ස්ථානය හා ඒ ආශ්‍රිත භෞතික ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.

විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ද සහභාගී විය.