(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙහිවල සැන්ඩ්‍රෝ නමැත්තාගේ පියාට දෙහිවල නිසල උයන සුසාන භූමියේදී වෙඩි තබා බරපතල තුවාල සිදු කළ වෙඩික්කරු සමග කාන්තාවක අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

ඒ සමග වෙඩි තැබීම සඳහා ගිනි අවිය සඟවාගෙන ආ අත් බෑගය හා ජංගම දුරකථන දෙකක් භාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පදිංචි විශේෂ කාර්යාංශයේ හිටපු හමුදා සෙබළකු (44) හා ඔහුගේ අනියම් බිරිය (35) බව පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරු තවත් පුද්ගලයෙකු සමග ඉකුත් මස 19 දා දෙහිවල සුසාන භූමියේ සොහොන් කොතකට පහන් දැල්වීමේ මුවාවෙන් සුසාන භූමියට පැමිණ එහි මුරකරු ලෙස කටයුතු කළ දෙහිවල සැන්ඩ්‍රෝ නමැත්තාගේ පියාට මෙසේ වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කොට පලා ගොස් තිබුණි.

එම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ අතර ඔහු මේ වනවිට එහි ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.