(රංජිත් රාජපක්ෂ )

දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පසු තියුණු ආයුධයකින් ඇන තරුණයෙකු ඝාතනය කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

මෙසේ උල් ආයුධයකින් ඇන ඝාතනය කර ඇත්තේ තලවකැලේ පොලිස් වසමට අයත් වටගොඩ මැදකුඹුර උතුරු කොටසේ පදිංචි මුරුගයියා සරවනන් නැමති (30) හැවිරිදි තරුණයෙකි.

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු තරුණයාගේ පියා සහ මාමා අතර ආරවුලක් ඇති වු බවත්, පසුව එම ආරවුලට ඝාතනයට ලක් වු තරුණයාද සම්බන්ධ විමෙන් පසු උරණ වු සැකකාර මාමා ඔහු පදිංචි නිවසට ගොස් උල් පිහියක් රැගෙනවිත් තරුණයාට ඇන තුවාල සිදු කිරිමෙන් පසු තුවාලකරු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇති බව ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පැවසීය.

සැකකරු සහ ඝාතනයට ලක් වු තරුණයා තලවකැලේ වටගොඩ මැදකුඹුර වතුයායේ එකම නිවාස පේලියක පදිංචිකරුවන් බවත්, කාලයක් තිස්සේ දෙපාර්ශවය අතර වරින් වර ගැටුම් ඇති වි ඇති බවත් එම වතු යායේ පිරිස් කීහ.