(ටී.කේ.ජී.කපිල)

මැදපෙරදිග ඇති වී ඇති යුදමය වාතාවරණය සමග  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් ගමන් 107 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව යන ගුවන් ගමන් 98 ක් වශයෙන් ,  ගුවන් ගමන් වාර 205 ක් අද දින අවලංගු කිරීමට එම කළාපයේ සිවිල් ගුවන් සේවා අධිකාරි සහ ගුවන් සමාගම් පියවර ගෙන ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය .

එසේම මේ වනවිට මැදපෙරදිග කළාපයේ ඕමානය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර ඒ ඔස්සේ මේ වනවිට සමහර ගුවන් සේවා සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් පවතින බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය .

එසේම මේ වනවිට සීමාවට ලක් වී ඇති අබුඩාබි , ඩුබායි සහ සාජා ගුවන් අවකාශයන් සීමිත කාළයක් සදහා විවෘත කර ඇති අතර , එහිදී විශේෂිත ගුවන් යානා සදහා පමණක් එම ගුවන් අවකාශයන් භාවිතා කිරීමට අවස්ථාව ලබා දී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය .

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසින් මේ වනවිට විදේශීය සංචාරකයන් විශාල පිරිසක් වෙනත් විවිධ රටවල රැදී සිටින බවත් ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සමග පියවර ගනිමින් සිටින බවත් අනුර කරුණාතිලක මහතා පැවසීය .

එංගලන්තය , ජර්මනිය සහ ප්‍රංශය වෙත මැදපෙරදිග කළාපය මගහැර වෙනත් විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ " විශේෂිත ගුවන් යානා " මගින් මෙරට රැදී සිටින විදේශීය සංචාරකයන් පිටත් කර හැරීමට පියවර ගනිමින් සිටින බවත් , මේ සදහා අතිරේක ගුවන් ගමන් කාළයක් වැය වෙන බැවින් , එම ගුවන් යානා වල ගුවන් භාණ්ඩ රැගෙන යාම සීමා කිරීමට සිදු වන බවත් අමාත්‍යවරයා පැවසීය .

එසේම කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් යානා ඉන්ධන දින 50 ක කාළයක් සදහා අවශ්‍ය ඉන්ධන සංචිතයක් පවත්වා ගෙන යමින් සිටින බව ද අනාවරණය කළේය .