සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවක,  සේවිකාවෝ පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ තුළදී අද පෙරවරුවේ විරෝධතාවයක්  ආරම්භ කළහ.

මෙම විරෝධතාවට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින්  සාමාජිකයෝ 3,000 ක පමණ පිරිසක් එක් වී සිටියහ.

කටුනායක ගුවන් තොටුපොළ බුදු මැදුර වෙත මල් පහන් පූජා කර සිය විරෝධතාව කරුවෝ   පා ගමනින් විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඉදිරිපිටට පැමිණියහ.

ගුවන් තොටුපොළ මෙම සේවකයොන්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී තිබුණේ 2018 වසරේ දී බවත් , සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළ සේවකයෙන්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිත බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත මහතා පැවසීය.

ගුවන් තොටුපොළ එස්.1 තලයේ සිට එස්.14 දක්වා වැටුප් ත‍ෙවල සේවකන් සිටින අතර , එස්.1 වැටුප් තලයේ සේවකයකුගේ මාසික මූලික වැටුප රුපියල් 1,190/= ක් බවත් එයට ජීවන වියදම් දීමනා සහ අනෙකුත් දීමනා එකතු වීමෙන් එම වැටුප තව ටිකක් දුරට ඉහළ යන බවත් ප්‍රියන්ත මහතා පැවසීය.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම වසරේ සියලු බදු ගෙවූ පසු ලාභය රුපියල් කෝටි 480 ක් උපයා ඇති අතර , මීට අමතරව තවත් රුපියල් කෝටි 100 ක් මහා භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කිරීමක් ද සිදු කර ඇති බව අනාවරණය කළේය.