
(සුජිත් හේවාජුලිගේ)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රුපියල් 17,000කට මිලදී ගත හැකිව තිබූ වීදි ලාම්පුවක් රැපියල් 56,000කට මිලදී ගැනීමෙන් රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ (බීජ) කාර්යාල හා බීජ නිෂ්පාදන ගොවිපළවල්හි 2023 සහ 2024 වර්ෂ වලදී සූර්ය වීදි ලාම්පු 474ක් ස්ථාපනය කිරීමේදී මෙම අක්රමිකතාව සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේවා ස්ථාපනය කිරීම සඳහා රුපියල් තුන්කෝටි පනස් හතර ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
වීදි ලාම්පුවක් සඳහා පිළිවෙලින් රුපියල් හතළිස් හය දහසක් සහ රුපියල් පනස් දහසක් ලෙස පදනම් රහිතව ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබූ නමුත් අදාළ පිරිවිතර සහ සන්නාම සහිත වීදි ලාම්පුවක මිල රුපියල් 17,250ක් බව විගණනයේදී තොරතුරු අනාවරණයවී ඇත.
මේ අතර බීජ නිෂ්පාදන ගොවිපළවල් සඳහා ඩීසල් ගබඩා කිරීමේ ටැංකි හතරක් මිලදී ගැනීමේදී වැඩි මිල ගණන් ගෙවීම හේතුවෙන් රුපියල් ලක්ෂ හතළිස් දෙකකට වැඩි පාඩුවක්වී ඇතැයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. මෙම ටැංකි ගිය වසරේ (2025) පෙබරවාරි මාසය වනවිට වසර දෙකකට අධික කාලයක් තිස්සේ භාවිතයට නොගෙන පැවතුණ බවද එහි දැක්වේ.
COMMENTS