(අංජුල මහික වීරරත්න)

කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හලාවත සහ කුරුණෑගල වතුයායට අයත් සියලු ඉඩම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව ඇතුළු අනෙකුත් ඉඩම් ඒ සඳහා යොදා ගැනීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපතිවරයා කීය.

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි   කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ  පැවති ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමට එක්වෙමිනි. 

ජාතික ආර්ථිකයට රසකැවිලි කර්මාන්තයෙන්  ලබා දෙන දායකත්වය වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයින් අට දෙනකු වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා අතින් ඇගයීම් සම්මාන පිරිනැමිණි. 

මැලිබන් නිර්මාතෘ ඒ.ජී. හින්නි අප්පුහාමි, කැන්ඩොස් නිර්මාතෘ උපාලි විජේවර්ධන, Elephant House නිර්මාතෘ ආතර් වොන් පොස්නර්, මංචි නිර්මාතෘ මේනක වික්‍රමසිංහ, මෝතා නිර්මාතෘ ජූලියස් මෝතා, උස්වත්ත නිර්මාතෘ පී.ජේ.සී. පෙරේරා, ලකි ලෑන්ඩ් නිර්මාතෘ සිංහසාමි මුත්තයියා, චෙරිස් බිස්කට් නිර්මාතෘ විදානගේ ජෝන් අප්පුහාමි යන මහත්ම මහත්මින් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිණි.