(මනෝප්‍රිය ගුණසේකර)

මාතර මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමියකුට පහරදී හිරිහැරයට ලක් කිරීම මඟින් සුරාබදු නිලධාරීන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 75.000/- බැගින් රුපියල් 5.25.000/-ක වන්දියක් සුරාබදු නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් අවන්හල් හිමියාට ගෙවීමට අදාළ සුරාබදු නිලධාරීන් හත්දෙනාට අද නියම කළේය.

මාස තුනක කාලයක් ඇතුළත අදාළ වන්දි මුදල් ගෙවා අවසන් කළ යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.

මාතර මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමිකරුවකු වන දිනේෂ් ප්‍රියදර්ශන දොඩංගොඩ මහතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වු සුරාබදු පරීක්ෂක ආර්.එන්. රණවීර, ජී.ඩී. පුෂ්පකමාර, ඩබ්ලිව්.ඩී.ඉන්දික, එස්.ඩී.ගමගේ, ඉරේෂ් කාවින්ද, ජේ.එම්.මධුශංක, සහ පී.ටී.සී.ඒකනායක යන මහත්වරුන්ට එසේ නියම කෙරිණී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් ප්‍රකාශ කළාය