වැස්සත් සමග සේම වැස්සෙන් පසුවද ගෙට ගොඩවන ලෙඩ රෝග රැසකි. වැසි කාලයෙන් පසු අධික සීතල නිසා බිළිඳුන්,කුඩා දරුවන් බහුලව ගොදුරු වන සෙම්ප්‍රතිශ්‍යාව වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝග මේ දිනවලදී වැඩිපුර පැතිර යාමේ අවදානමක් පවතී. 

ඉහළ ස්වසන මාර්ගයේ රෝග අතරට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වයිරස් උණ රෝග තත්ත්ව අයත් අතර පහළ ස්වසන මාර්ගයේ රෝග අතරට නියුමෝනියාව ,ළමා හතිය වැනි රෝග කාණ්ඩ කෙරේ.

ඒ අනුව මේ දිනවලදී ළමා හතිය වැළඳීමේ ඉහළ අවදානමක් ඇති අතර ළමා රෝහලේ වාට්ටු බොහොමයකම ළමයි හතිය නිසාවෙන් නේවාසික ප්‍රතිකාර ලබති. මේ අතුරින් කොවිඩ් වැළඳුණු ළමයින්ද පෙනහලු දුර්වලතාව මත හා කාලයක් තිස්සේ පැවැති කැස්ස නිසාවෙන්ද ළමා හතිය රෝගයට ගොදුරුව ඇත.

මීට අමතරව මේ වකවානුවේදී ශීඝ්‍රයෙන් පැතිරීයන අනෙක් රෝගී තත්ත්වය වන්නේ ඩෙංගු රෝගයයි. රටේ වේගයෙන් පැතිර ගිය කොවිඩ් රෝගය නිසාවෙන් ඩෙංගු මර්දනය අවම මට්ටමක පැවැතීම මීට බලපෑ ප්‍රධාන කාරණයයි. මේ වනවිට රටේ සෑම ප්‍රදේශයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්ද දක්නට ලැබේ.

මේ අතරට වැසි කාලයකින් පසුව රටේ ඇතැම් ප්‍රදේශවලට බලපාන ගංවතුර අවදානමත් සමග පිරිසුදු පානීය ජල ප්‍රශ්නය පැන නැගේ. එවන් ප්‍රදේශවලට පානය කිරීමට පිරිසුදු ජලය නොමැතිකම නිසාවෙන් පාචනය, අතීසාරය වැනි රෝග පවා ඇති වීමේ ප්‍රවනතාවක් පවතී. එවන් රෝගීන්ද කිහිප දෙනකුද මේ වනවිට වාර්තා වී ඇත.

අතීසාරයේ රෝග ලක්ෂණ

1)  බඩඑළිය සමග රුධිරය පිටවීම

2)  වමනය යාම

3)  උණ ගතිය

පාචනයේ රෝග ලක්ෂණ

වමනය , බඩඑළිය යාම, බඩ රිදීම, උණ ගැනීම. වතුර මෙන් දියාරුවට බඩඑළිය පිට වීම වයිරස් තත්ත්වය නිසා විය හැකියි.

මේ රෝගී තත්ත්ව ඇති වන්නේ අපිරිසුදු ආහාර මෙන්ම අපිරිසුදු ජලය, දෑත් පිරිසුදු නොවීම, නිසි ලෙස ආහාර වසා නොතිබීමෙන් මැස්සන් ආහාර මත වැසීම වැනි කරුණු දැක්විය හැකියි.

වර්ෂාවත් සමග මැසි ගහණයේද වර්ධනයක් පෙන්වයි. මැසි ගහණයේ වර්ධනයෙන් උණ සන්නිපාතය, පාචනය , අතීසාරය වැනි රෝග ව්‍යාප්තිය වේගවත් කෙරේ. ඊට අමතරව මීයන්ගේ ගහණයේ වැඩි වීමක් වැසි කාලයේදී සේම ඉන්පසුවද දැකිය හැකියි. දැඩි වර්ෂාපතනයකින් අනතුරුව රටේ සමහර පැතිවලට ගංවතුර තත්ත්වයක් ඇති වීමෙන් කුඩා දරුවන් වතුරේ බෝට්ටු පැදීමටත්, වතුරෙන් යටවූ කුඹුරු,කාණුවල බැස සෙල්ලම් කිරීමටත් දක්වන්නේ දැඩි කැමැත්තකි. මේ හේතුවෙන් මී උණ රෝග තත්ත්වයද පැතිර යා හැකියි.

කුඹුරු වැඩවල නියුතු ගොවීන් නිසි සෞඛ්‍ය උපදෙස්වලින් බැහැරව කටයුතු කිරීම නිසා මී උණ රෝගයට ඔවුන්ව පහසුවෙන් නිරාවරණය වීමේ වැඩි ඉඩකඩක් පවතී. දියුණු තාක්ෂණික ක්‍රමවලට අනුගත වීම මෙන්ම කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන් බූට්ස්වැනි ආරක්ෂිත පාවහන් යුගළ පැළැඳීමද රෝගවලින් ආරක්ෂා වීමේ එක් ක්‍රමයකි.

ඉහතින් දැක්වූ ලෙඩ රෝග බොහොමයක්ම අපේ සැලකිලිමත් වීම මත වලක්වා ගත හැකි තත්ත්වයි. මූලිකවම පිරිසුදුතාව මත කටයුතු කිරීමෙන් එනම් පිරිසුදු ආහාර , වතුර හොඳින් නටවා බීමට ගැනීම, කෑම නිසි පරිදි වසා තැබීමෙන් උණ සන්නිපාත, පාචනය, අතීසාරය වැනි රෝග ගණනාවක්ම වලක්වා ගත හැකියි. එසේම මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා විනාශ කිරීමෙන් ඩෙංගු රෝගය වලක්වා ගත හැකියි.

ඒවගේම වර්ෂාපතනය සීතල ගතිය වැඩි වීම නිසා ළමා හතිය රෝගීන්ද දිනෙන් දින ඉහළ ගියද ළමයින්ට සීතල ඔරෝත්තු දෙන පරිදි ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ හැකියි. කාලයක් තිස්සේ පැවැති කක්කල් කැස්ස ,හතියට හේතුවන අතර ලමයින්ව නිවසින් බැහැරට රැගෙන යාමේදී සීතල ඔරොත්තු දෙන ඇඳුමක්, සාමාන්‍ය ඇඳුම් දෙකක් ඇන්ද වීම වැනි ක්‍රම අනුගමනය කළ හැකියි.

මේ වනවිට ළමයින්ට අවුරුදු නිවාඩුව ලැබී ඇති නිසා විනෝද චාරිකා යාමට,ගම්වල ඇවිදීමට ළමයින් දක්වන්නේ දැඩි කැමැත්තකි. ඒ අතර වැස්සට තෙමෙන්න, පීල්ලට ඔලුව අල්ලලා සීතල වතුර නෑමට ඒ පුරුදු විඳීමට දරුවන්ට ඉඩ දිය යුතුයි. මේ අතුරින් කුමන හෝ දරුවකු සෙම රෝගියකු නම් පාසල් ඇරැඹුණද සුව වන තුරු පාසලට ,ළදරු පාසලට නොයවා නිවසේ රඳවා තබා ගැනීමට වැඩිහිටියන් කාරුණික වන්න. ස්වසන මාර්ගයේ රෝග ඇති දරුවන් එනම් කැස්ස, හෙම්බිරිස්සාව, උණ ගතිය කොවිඩ් හෝ සාමාන්‍ය වයිරස් උණ තත්ත්වයක් වුවත් එසේත් නැත්නම් ඉන්ෆුලුවන්සා තත්ත්වයක් වුවද විය හැකියි. වයිරස් තත්ත්ව නිසා හට ගන්නා බැවින් ඉතා ඉක්මනින්ම කුඩා දරුවන් අතර ඉහත රෝග සම්ප්‍රේෂණය වීමට පටන් ගැනේ.

ඒ අනුව දින තුනකට වඩා උණ ගතිය ඇත්නම් ඩෙංගු රෝගයට අවදානමක් ඇති බැවින් සමුපූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා යොමු වීම සුදුසුයි. මෙමගින් සුදු රුධිරාණු, රුධිර පට්ටිකා අඩු වෙනවාද යන්න තහවුරු කර ගත හැකියි. ඩෙංගු සැක සහිත රෝගියකු නම් පළමු දවසින් පසුව ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සඳහා භාජන විය හැකියි. මෙයින් ඩෙංගු රෝගයේ ප්‍රතිදේහ ජනකය තිබේද යන්න තහවුරු කර ගත හැකියි. ඩෙංගු නම් රුධිර පට්ටිකා 150ට වඩා අඩු වී ඇත්නම් හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත යාම සුදුසුය. මන්ද කෙටි කලක් ඇතුළතදී ඩෙංගු වැළඳී ඇති බවට තහවුරු කර ගත හොත් රෝගයේ සංකූලතා වැඩි වීම සහ ළදරු මරණ අඩු කර ගැනීමට පහසු වේ.

අවුරුදු නිවාඩුවට ඔබ කවුරුත් විනෝද චාරිකාවල නියැළුණද සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පවත්වා ගැනීමේ වගකීම දරන්නේ ඔබ බව අමතක නොකරන්න. විශේෂයෙන් නිසි පරිදි මුව ආවරණ පැළැඳීම, පුද්ගල දුරස්තභාවය රැක ගැනීම ,දෑත් පිරිසුදුව තබා ගැනීමෙන් කොවිඩ් ව්‍යාප්තිය අවම කරගත හැකි වනු ඇත. එසේම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමද අවශ්‍ය වේ. අවුරුදු 12ට වැඩි ළමයින්ට එක් මාත්‍රාවක්ද, අවුරුදු 16ට වැඩි ළමයින්ට මාත්‍රා දෙකක්ද සහ අවුරුදු 20ට වැඩි පිරිස් සඳහා මාත්‍රා 03ක්ද වශයෙන් එය ක්‍රියාත්මක විය.

රෝග වැළඳී ප්‍රතිකාර ලබා ගන්නවාට වඩා රෝග බෝවීමට ඇති අවකාස මඳ හරවා ගැනීම ඉතාම වැදගත් වේ.

විශේෂිත කරුණු

තවද පාචනය රෝගියකු ඇත්නම් ජීවනී, බැදි හාල් කැඳ, දෙහි,දොඩම්, නාරං වැනි ස්වාභාවික දියර , ආහාර නිවසේදී පිරිසුදුව සකසා පිළිගැන්වීමට කටයුතු කරන්න. නිවසින් පරිභාහිරව ලබා ගන්නා කෘතිම දියර වර්ග කිසිවක් රෝගීන්ට ලබා නොදීමට වගබලා ගන්න.

උණ රෝගියකු නිවසේ ඇත්නම් පැය 6න් 6ට නියමිත පරිදි පැරසිටමෝල් මාත්‍රාව පමණක් ලබා දෙන්න. එයද කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 15ක ප්‍රමාණයක් උපරිම දිනකට සිවු වතාවක් ලබා දිය හැකියි. නිසි ප්‍රමාණයෙන් පරිභාහිරව ලබා දීම නිසා අක්මාවට හානි ගෙනදිය හැකි බැවින් හැම වෙලේම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට වගබලා ගන්න.

වමනය තත්ත්වය දිගටම පැවතුණ හොත් ඩොන්පැරඩොන් සිරප් නිසි මාත්‍රාව ලබා දී වමනය තත්ත්වය පාලනය කර ගත හැකියි. පසුව පාන වර්ග ලබා දී විජලනය වැනි තත්ත්ව ඇති වීම වලක්වා ගත හැකියි.

බඩඑළිය යන රෝගීන්ට හොඳින් මුත්‍රා පිටවීම අවශ්‍යයි. එබඳු රෝගීන්ගේ මුත්‍ර පිටවීම අඩු නම්,ආහාර ගැනීමටවත් නොහැකිව බඩඑළිය යාමේ තත්ත්වය දිගටම පවතී නම් සමහර වෙලාවට රෝහල් ගත කර සේලයින් ලබා දීමට සිදුවේ.

-සටහන- මාධවී ධර්මරත්න