ලෙඩ රෝග සුලබව ව්‍යාප්ත වී යන සමයක නිරෝගීකම පවත්වා ගැනීම සඳහා සිරුරේ ප්‍රතිශක්තිය නංවා ගැනීම සුදුසු වේ. ලෙඩ රෝග සෑදී ඖෂධ මත යැපෙනවාට වඩා සුදුසුම ක්‍රමය වන්නේද  ප්‍රතිශක්තිකරණය නංවා ගැනීමයි.

පසුගිය වසර කිහිපයකම සිට ලෝකයම වෙළා ගනිමින් කොරොනා වසංගතය ව්‍යාප්තවූ සමයේද  ඉන් ආරක්ෂා වීමේ එක් උපක්‍රමයක් ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය  උපරිම මට්ටමින් පවත්වා ගැනීමේ වැදගත්කම මතුවිණි. මේ  සඳහා මනා පෝෂණ තත්ත්වයක් පවත්වා ගත යුතුවේ.

සමබර ආහාර වේලක් මගින් පෝෂණ අවශ්‍යතා සපුරා ගතයුතු බවට බොහෝ විශේෂඥයින් අවධාරණය කරන අතරතුර, සුලබ ඌණතා පිළිබඳව සලකා බලා විටමින් හෝ ක්ෂුද්‍ර පෝෂක වර්ග, හානිකර නොවන ප්‍රමාණවලින් (පෙති/කරල්/සිරප් වර්ග වැනි ආකාරවලින්) බාහිරෙන් ලබා ගැනීම සුදුසු බවටත් ඇතැම්හු මත පළ කළහ. මෙහිදී කරළියට පැමිණි විටමින් D කතිකාවත ඒවා අතරින් වඩාත් කැපී පෙණුනු මාතෘකාවකි.

පුදුමයකට මෙන්, වසර මුළුල්ලේම හොඳින් හිරු එළිය ලැබෙන ඝර්ම කලාපීය දිවයිනක් වන අප රටේ, වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් ම තුන් දෙනෙකු අද වන විට විටමින් D ඌනතාවෙන් පෙළෙන බව සඳහන් වේ. එසේම අවුරුදු 10-18 වයස් සීමාවේ දරුවන් සැලකුවිට සෑම අට දෙනකුගෙන්ම එක් දරුවකුට විටමින් D ඌනතාව පවතින බව සමීක්ෂණ මගින් තහවුරු කොට ඇත.

 විටමින් D වැදගත් ඇයි?

ප්‍රතිශක්තිය  උපරිම මට්ටමෙන් පවත්වා ගැනීමට උපකාරී වේ

හොඳ විටමින් D මට්ටමක් පවත්වා ගැනීමෙන්  අස්ථි ශක්තිමත් කරගැනීමට පුළුවන.

මාංශ පේශි ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

ස්වසන රෝග අවම කරගැනීමට වාගේම මොළයේ ක්‍රියායාකාරීත්වය සහ මානසික මට්ටම යහපත්ව පවත්වාගැනීමට උපකාරී වේ.

 සමස්ත ශරීරයම ශක්තිමත්ව පවත්වාගනිමින් ක්‍රියාශීලීව කටයුතු කිරීමමේ හැකියාව ලැබේ.

 ආහාරවලින් විටමින් D ලබා ගත නොහැකිද?

ආහාරවලින් විටමින් D ලබාගැනීමේදී සිදුවන ප්‍රධානතම බාධකය වන්නේ අවශ්‍ය තරම් විටමින් D ප්‍රමාණයක් එදිනෙදා අප ගන්නා අහාර වේවල අඩංගු නොවීමයි.

විටමින් D සුලබ ආහාර

තෙල් සහිත මසුන් සහ මත්ස්‍ය අක්මා තෙල් (Cod liver oil) එවැනි විටමින් D සුලබ ආහාර වර්ග දෙකකි. මෙයට අමතරව බිත්තර කහමදය යම් තරමකට විටමින් D අඩංගු ආහාරයක් ලෙසට පිළිගැනේ. කලින් සඳහන් කළ පරිදි, බාහිරින් එකතු කර නැති අවස්ථාවල, අනෙකුත් නිතර ගැණෙන ආහා‍ෙවල මෙය අඩංගු වන්නේ ඉතාම සුළු වශයෙනි.

ආහාර හැරුණු කොට විටමින් D ලබා ගත හැකි ක්‍රමයක්

හිරු එළියට සම නිරාවරණය වන අවස්ථාවල විටමින් D නිපදවීමට අපේ සිරුරට ඇති අසිරිමත් හැකියාව අද බොහෝ දෙනාට අමතක වී ඇති සෙයකි.

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් සමග හිරු එළියට නිරාවරණය වන, බාහිර පරිසරයට නොයා නිවසේම රැඳී සිටීම නිසා මෙම තත්ත්වය මේ වන විට තවදුරටත් උග්‍ර වූවා විය හැකියි.

අපි ප්‍රායෝගික වෙමු

විටමින් D ඌනතාවෙන් මිදීමට ඔබ, එදිනෙදා උදෑසන 10 ත් සවස 3 අතර විනාඩි 15 - 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම කළයුතු වේ. ශරීරයට අවශ්‍ය විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්‍රියාවලිය දිනපතා සිදු කළ යුතු යි.

යම්කිසි සමේ රෝග තත්ත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නොවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති මින්  වැළකී සිටිය යුතුයි. ඒ වගේම යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත්ය. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතා ඇති වේ නම් හිරු එළියට නිරාවරණය වහාම නවතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත් බව මතක තබා ගන්න.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)

-සටහන- මාධවී ධර්මරත්න