තැලසිමියා රෝගය ගැන දැනගනිමු

උපතින්ම ඇති වන නොඑසේනම් මවුපිය ජාන මගින් උරුම වන රුධිරයේ රතු රුධිරාණුවල හිමොග්ලොබින් නිපදවීමේ ඌනතාවක් හේතුවෙන් හට ගන්නා රෝගී තත්ත්වයක් ලෙස තැලසිමියාව හඳුන්වා දිය හැකියි. එනම් අපේ රුධිරයේ තිබෙන රතු රුධිරාණු බිඳෙන රෝගී තත්ත්වයකි. තැලසිමියා රෝග වාහකයන් සහ රෝගීන් ලෙස තැලසිමියා රෝගයෙහි ප්‍රධාන ප්‍රභේද දෙකක් ඇත.

රතු රුධිරාණු රතු පැහැයක් ගන්නේ එහි ඇති හිමොග්ලොබින් වර්ණකය හේතුවෙන් බව ඔබ දන්නවා ඇත. හිමොග්ලොබින්වල අඩංගු ප්‍රෝටීනයක් නිපදවීම අඩාල වීම හේතුවෙන් රතු රුධිරාණු බිඳ වැටේ. මේ නිසා දරුවා සුදුමැලි හෝ කහ පැහැයට පත්වේ. එමගින් දරුවාගේ ශරීර වර්ධනය අඩාල වන අතර ක්‍රියාශීලීත්වයද අඩු වී යා හැකියි. කුඩා දරුවන්ට කිරි බීමට නොහැකි වන අතර ඔවුන්ට හතිය රෝගයද ඇති වේ. මෙයාකාරයට දිගින් දිගටම රතු රුධිරාණු බිඳ වැටීමෙන් දරුවාගේ අක්මාව සහ ප්ලීහාව ඉදිමීමට පටන් ගෙන උදරය ඉදිරියට නෙරා ඒම සිදු වේ. ඇට මිදුළු මගින් වැඩිපුර රතු රුධිරාණු නිපදවීමට උත්සාහ කිරීම නිසා මුහුණේ හැඩ රුව පවා වෙනස් වේ.

මෙය සුව කළ හැකිද?

තැලසිමියා තත්ත්වයට ප්‍රතිකාර සහ ඖෂධ පවතී. ලෝකයේ විවිධ රටවල වෛද්‍ය විශේෂඥයන් එක් එක් ප්‍රතිකාර ක්‍රම මේ වනවිටත් අත්හදා බලමින් සිටින අතර ලංකාවේ පවතින නිශ්චිත ප්‍රතිකාර ක්‍රමය වනුයේ ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමයි. මේ සඳහා ජාන සියයට සියයක් නිවැරැදිව ගැලපෙන සහෝදරයෙක් හෝ සහෝදරියක් සැත්කමට භාජන වන අයට සිටීම වඩාත් යෝග්‍ය වේ.

තවද රෝගී පුද්ගලයාගේ ශරීරයේ යකඩ තැන්පත් වන ආකාරය ඉතාම නිවැරැදිව පාලනය කර තිබීමත් අත්‍යවශ්‍යයි. අක්මාවේ අභයන්තර ව්‍යුහය සහ ප්‍රමාණයද සාමාන්‍ය ආකාරයට තිබිය යුතු අතර එකී කරුණු සම්පූර්ණ වේ නම් පමණක් සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කළ හැකිවේ. මෙම සැත්කම් ප්‍රතිකාර ක්‍රමයද තැලසිමියා රෝගයෙන් පෙළෙන සියලු දෙනාටම ලබා දීමද දුෂ්කර වනු ඇත.

ඇට මිදුළු බද්ධ කළ නොහැකි අය කළ යුත්තේ මොනවාද?

මෙවැනි රෝගීන් සඳහා රුධිරය සහ ඖෂධ ලබා දීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ හැකියාව පවතී. තැලසිමියා රෝගියකු ඉපදී මාස 06 සිට සෑම දින 15ත් 30ත් අතර රුධිර පාලවිනයක් සිදු කළ යුතුය. එමෙන්ම ලේ ලබා දීම මගින් ශරීරයේ වැඩිපුර තැම්පත් වූ යකඩ ඉවත් කිරීම සඳහා ඖෂධ ප්‍රතිකාර අඛණ්ඩව ලබා දිය යුතුය.

තැලසිමියා රෝගය වැළඳෙන හැටි

අපගේ ශරීරයේ හැඩය ,රූපය සහ ක්‍රියාකාරීත්වය වැනි දේ තීරණය වන්නේ මවුපියන්ගෙන් ලැබෙන ජාන මගිනි. මව හෝ පියාගෙන් එක් අයකුගෙන් එක් තැලසිමියා ජානයක් පමණක් උරුම වූ විට එය තැලසිමියා රෝග වාහක තත්ත්වයක් ලෙස ශරීරයේ පවතී. එවිට රුධිරයේ හිමොග්ලොබින් මට්ටම තරමක් අඩු විය හැකි වුවද එය තැලසිමියා රෝගී තත්ත්වයක් ලෙස නොසැලකේ.

ලංකාවේ ජනගහණයෙන් සියයට 2.5ක් පමණ ප්‍රතිශතයක් තැලසිමියා රෝගී වාහකයන් වන බව ඒ ආශ්‍රිතව සිදු කොට ඇති පරීක්ෂණවලින් පෙන්වා දී ඇත. තැලසිමියා රෝගී වාහකයන් දෙදෙනෙකු අතර සිදුවන විවාහයකදී මහ තැලසිමියා රෝගී දරුවකු බිහි වීමේ ඉහළ ප්‍රවනතාවක් පවතී. එය ජීවිත කාලය පුරාවටම බලපාන ඉතා අවාසනාවන්ත රෝගයක් ලෙස හැඳින්වීමද වරදක් නොවේ.

තැලසිමියා රෝගී දරුවකු ඇති වීම වලක්වා ගැනීම

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර ඇති ‘ තැලසිමියා පොරොන්දම ‘ ගලපා විවාහ වීම මගින් තැලසිමියා රෝගී දරුවකු ඇති වීම වලක්වා ගත හැකිය. එහිදී තමන් තැලසිමියා රෝග වාහකයකු එනම් රෝස පැහැති කාඩ්පත දරන්නකු නම් විවාහ වීමට අපේක්ෂා කරන්නාගේ රුධිර සාම්පලයක් ‘තැලසිමියා පරීක්ෂාවක් ‘මගින් රෝග වාහකයකු වන්නේද නැද්ද යන්න පැහැදිලිව මෙන්ම නිශ්චිතව හඳුනා ගැනීමට පුළුවන.

කිසිම තැලසිමියා පරීක්ෂාවක් නොකළ දෙදෙනෙකු අතර සිදුවන විවාහයත්, කිසිම තැලසිමියා පරීක්ෂාවක් නොකළ කෙනකු සමග තැලසිමියා රෝගී වාහකයන් අතර සිදුවන විවාහ, පරිමි කෙනෙක් සහ කිසිම පරීක්ෂාවක් නොකළ ගැහැනු කෙනෙක් අතර සිදුවන විවාහයද තැලසිමියා රෝගී දරුවන් බිහිවීම කෙරෙහි බලපානු ලැබේ. ඒ බැව් තැලසිමියා පොරොන්දම් පරීක්ෂාව මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත. එබැවින් සෑම අයකුම විවාහයට ප්‍රථම තමන් තැලසිමියා රෝග වාහකයකුද යන්න දැන ගෙන සිටීම ඉතා අත්‍යවශ්‍ය වේ.

තැලසිමියා රුධිර පරීක්ෂාවක් කර ගන්නේ කෙසේද?

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පරිපාලනය වන සියලුම ශික්ෂණ රෝහල්, පළාත් මහ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල්වල සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තැලසිමියා පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. එම මධ්‍යස්ථාන මගින් කිසිදු මුදල් ගෙවීමකින් තොරව සිය අනන්‍යතාව ආරක්සා වන අයුරින් නොමිලයේම තැලසිමියා රුධිර පරීක්ෂාවක් සිදු කර ගත හැකියි.

තැලසිමියා රෝගියකුගේ සාමාන්‍ය ජීවිතය

මෙබඳු දරුවකුගේ ආහාර රටාව ගැන සැලකූ විට ඔවුන්ගේ ශරීර වර්ධනය සඳහා සම්පූර්ණ පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා දිය යුතුම වේ. ඖෂධ නිසි ලෙස ගෙන ශරීරයේ යකඩ තැන්පත් වීම පාලනය කරගත යුතුය. එසේ ආහාර ලබා දීමෙන් යකඩ අඩංගු ආහාර අඩු කර ගැනීම අවශ්‍ය නොවේ. ඒත් ශරීරයේ යකඩ වැඩිපුර තැන්පත් වී ඇති කෙනෙක් නම් මස්,මාළු, පීකුදු වැනි යකඩ බහුල ආහාර අඩු කළ යුතුය. එවැනි තැලසිමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට කෑමට පසු තේ බීමට ලබා දීම මගින් සිරුරට යකඩ උරා ගැනීම අවම කරගත හැකිය. එසේම තැලසිමියා දරුවන්ට අන් දරුවන්ට මෙන්ම ශරීරයේ වැඩීමට හා ක්‍රියාකාරීත්වයට ක්‍රීඩා සහ ව්‍යායාම අත්‍යවශ්‍ය වේ. එහෙත් ඒ සඳහා දරුවන් යොමු කළ යුත්තේ එවැනි ළමයින් වෛද්‍ය පරීක්ෂණයකට භාජන කරවීමෙන් අනතුරුව සහ වෛද්‍ය උපදෙස් මතයි.

ඉහත සඳහන් කරුණු අනුව තැලසිමියා රෝගී තත්ත්වය මැනැවින් තෙරුම් ගෙන එය හැකිතාක් දුරට වලක්වා ගැනීමට අප සියලු දෙනාටම වගකීමක් ඇත. නැත්නම් තැලසිමියා රෝගී පරීක්ෂණ අවශ්‍ය සහ සුදුසු වෙලාවේ සිදු නොකර ගැනීමෙන් එළැඹෙන තීරණ ජීවිත කාලය පුරාවටම ඉතා අවාසනාවන්ත ලෙස බලපෑම් කළ හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න