(විමුක්ති එස් රුද්‍රිගු)

හොමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන නෞකාවලට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ පහළ ගිය බොරතෙල් මිල නැවතත් අද ඉහළ ගියේය.

ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ, පහළ යන බොරතෙල් මිල පාලනය කිරීම සඳහා සංචිතයේ තිබෙන තෙල් බැරල් මිලියන 400 ක් මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට යෝජනාවක් ඉදිරිපත්ව තිබූ අතර ඒ පිළිබඳව තීරණයකට එළැඹීම සඳහා අද එහි සාමාජිකයන් තිස් දෙදෙනා රැස්වීමට නියමිතව තිබිණි.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජිකයන් තිස් දෙදෙනා යෝජනාවට එකඟතාව පළකළ හොත් එය ඉතිහාසයේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සංචිතයෙන් මුදාහල වැඩිම තෙල් බැරල් ප්‍රමාණය වනු ඇති බවද පැවැසෙයි.

ඉරාන යුද්ධය අවසන්වීමට ආසන්න බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පහළ වැටුණි.

නමුත් නැවතත් ඇමෙරිකාව ඉරාන බෝම්බ අටවන නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් 92.47 දක්වා ඉහළ ගිය අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල සියයට 5.8 කින් ඇමෙරිකානු ඩොලර් 88.27 දක්වා ඉහළ ගියේය.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සි සාමාජිකයන් තෙල් බැරල් මිලියන 400 සංචිතයෙන් මුදා හැරීමට එකඟතාවය පළකළ හොත් ඉන් බොරතෙල් මිල ස්ථාවර වනු ඇති බවද පැවැසෙයි.

එම ඒජන්සියේ සාමාජිකයන් සතුව තෙල් බැරල් බිලියන 1.8ක් තිබෙන බවද සඳහන් වේ.