(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල වශයෙන් අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබාදීමට විධායක කමිටුව බලාපොරොත්තු නොවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දීමට නියමිත ණය මුදල් සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා දෙසැම්බර් 22 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුද‌ලේ විධායක කමිටුව අමතර රැස්වීමක් කැඳවා ඇති අතර එම රැස්වීමේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය දෙසැම්බර් මස අවසානයේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළත් මේ වන විට එහි ප්‍රගතිය මන්දගාමී වී ඇති බවත් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාද අනුමැතිය ලබා ගැනීම ජනවාරි දක්වා කල් යා හැකි බව ඉකුත් මාසයේ පිළිගත් බවත් එම පුවත් සේවය සඳහන් කර ඇත.