(ප්‍රසාද් රුක්මල් සහ පාලත ආරියවංශ ) 

හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට ගිය සිගිති  අයියා නගෝ දෙදෙනකු අද (23) පස්වරුවේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .

මෙසේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් ව ඇත්තේ හාලිඇල බෝගොඩ කොකටියමලුව ප්‍රදේශයේ පදිංචිව සිටි බෝගොඩ මහ විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබන බෝදිපක්ලාෂගේ යසිදු (10) සහ 2ශ්‍රේණිය ඉගෙනුම ලබන රශ්මි නිතීකා (7) යන අයියා නගෝ දෙදෙනා බවද පොලිසිය කීය .

අද (23) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මොවුන් දෙදෙනා නිවසේ සිට පිහිල්ලේ කදුරට එගොඩගොඩේ නිවසක සිටි මව සොයා ගොස් ඇතැයි පොලිසිය පැවසීය .

දෙදෙනා පිහිල්ලේ දිය කඳුරට බැස එගොඩවීමට ගිය අවස්ථාවේ එක්වරම ගලා ආ සැඩදිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය .

සැඩපහරේ ගසාගෙන ගිය දරුවන් දෙදෙනා  ගම්වාසීන් සොයා බැලීමේදී ඔවුන් දෙදෙනා සැඩදියපහරකට හසුවූ ස්ථානයේ සිටි මීටර් 100ක පමණ දුරකින් දියකදුරේ අයිනේ රැදී තිබූ කුඩයක්, සරමක්, සෙරෙප්පු යුගළක් හමුවූ බව පොලිසිය පවසයි .

මෙම සිගිති දරුවන් දෙදෙනා මව සමඟ නිවසේ සිට ඇති අතර පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බවද පොලිසිය පැවසීය .

සැඩපහරේ ගසාගෙන ගිය සිගිති දරුවන් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වනවිටත් හාලිඇල පොලිසියේ නිලධාරීන් ගම්වාසීන් එක්වී ආරම්භ කර ඇති බවත්  උසස් පොලිස් නිළධාරියෙක් කීය.

පවතින වර්ෂාවත් සමඟ පිහිල්ලේ දිය කදුරේ ජල පහර වැඩිහෙයින් අදුරේ සෙවීමේ කටයුතු සිදු කිරිම අපහසු බවද සදහන් කළේය .

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, පොලිස් අධිකාරි පී. එම්. ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති .