(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක්  ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ  විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන Small Holder Agri-Business Partnership Programme – SAPP  තීරණය කර තිබේ.

මෙම මුදල රසායනික පොහොර මිල දී ගැනීම, බිම් සැකසීම හා අවශ්‍ය බඩඉරිඟු බීජ මිල දී ගැනීමට ලබා දෙන සහනාධාරයක් වශයෙන් යෙදවීමට කටයුතු කරනු ලබයි.

2023 යල කන්නයේ දී බඩඉරිඟු හෙක්ටෙයාර් 30,000ක් වගා කිරීමට මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කර ඇති අතර කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන මගින් බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට රුපියල් 120,000ක ආධාරයක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි එම වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කෘෂිකර්ම  අමාත්‍යවරයාට දැනුම් දුන්නාය.