(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට ලැබුණු උස ගොඩනැගිලිවල ගිනි නිවීම සඳහා භාවිතා කෙරෙන ගිනි නිවීමේ රථ 15කින් කොටසක් ඇතැම් ඇමැතිවරුන් තමන්ගේ පළාත්වලට රැගෙන යෑමට උත්සාහ දරමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

යුරෝ මිලියන 10 ක පමණ වියදමින් මෙම වාහන මිලදී ගෙන ඇත්තේ කොළඹ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහාය.

මේ පිළිබඳව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට පැමිණිල්ලක් කර ඇත.

උස ගොඩනැගිලි 200කට වැඩි සංඛ්‍යාවක් ඇති කොළඹ නගරයට අවශ්‍ය කෙරෙන මෙම ගිනි නිවීමේ වාහන පිට පළාත්වලට රැගෙන යෑමෙන් ඇති ප්‍රතිඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බව මුජුබර් රහුමාන් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.