(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
කොළඹ වරායට පැමිණි නැවක තිබූ පලුදුවූ දුගද හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු ටූනා මාළු වර්ග අඩංගු කන්ටේනර් 102ක් ප්‍රතිඅපනයනය කරන ලෙස නැව් නියෝජිත ආයතනයට දැනුම් නොදී ඊට පටහැනි ලෙස ශ්‍රී ලංකා රේගුව එම පාවිච්චියට නුසුදුසු මාළු තොගය රට තුළට නිදහස් කිරීමට කටයුතු කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රේගු සටහන් කර දාහතක් පිළිගෙන මාළු තොගය මෙසේ නිදහස් කර තිබූ බවත් එම රේගු සටහන් කර සැකසීමට මෙරට සෑදූ ගමන් බිල්පත් උපයෝගී කරගැනීම ගැටලුකාරී බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙම මාළු තොගය රැගෙන විත් තිබුණේ ෂී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ බහාලුම් රැගත් නෞකාවකිනි. සී.එම්.ඒ කයිලාස් නැමැති මෙම නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දින 20 ක කාලයක් විදුලිය සැපයුම නතරවී ඇති බවට කොළඹ වරායට දැනුම් දීමෙන් පසු වරායේ ප්‍රධානීන් විදුලි ජනක යන්ත්‍ර භාවිතා කර ටග් යාත්‍රාද උපයෝගී කරගෙන 2022 වර්ෂයේ ජනවාරි 13 වැනිදා මෙරට මුහුදු සීමාවේ නවතා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබූ බව විගණන කාර්යාලය පවසයි.
මෙම මාළු තොගය නරක් වූ ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා කළද සම්පූර්ණ ටූනා මත්ස්‍යයන් ලෙස රේගු සටහන්කරයේ ඇතුළත් කර රුපියල් ලක්ෂ 62 ට වැඩි වටිනා බදු පවා අය කරගෙන තිබූ බව වාර්තාවේ සඳහන් වේ.
රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අවසර පත්‍රයක් දෙනු නො ලබන්නේ නම් යම් නැවකින් කිසියම් භාණ්ඩයක් ශ්‍රී ලංකා වරායට ගොඩබෑමට හැකියාව නැති බවත් ගොඩ බානු ලබන සියලුම බහාලුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ අවසරය හා අනුමැතිය අවශ්‍ය වුවද අදාළ ගොනු පරික්ෂා කිරීමේදී එවැනි අවධානයක් යොමු කළ බවට සාක්ෂි නොතිබූ බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
පාරිභෝගිකයින් ලෙස මූලික අයිතිවාසිකම් කැඩුණු බවට අප නඩුවක් දමා වන්දි ඉල්ලිය යුතුයි..!
හෙට අනිද්දා වෙනකොට ඕවා කට් ෆිෂ් හරි, සුපිරි ජාඩි වැනි නමකින් සුපිරි මාකට් එකේ විකුණාවි. ගුටි කාලා ගෙදර යන ගමන් අපිත් ඔය පැකට් අරගෙන යමු.
චී චී අපේ රේගුවෙන් ඔහොම ලේසියෙන් පනින්න බෑ. ඕවා මඩ ගහන්න කියන කතා...
ඔය වාර්තාවට ඇක්ෂන් එකක් ගන්න බැරිනම්, මොන මගුලකටද විනය කියලා කරන්නේ.. නිකන් හිටියා නම් ඉවරයිනේ...!