(අංජුල මහික වීරරත්න)

ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය සහ ජනතා පරමාධිපත්‍ය බිඳ වැටීමේ අභියෝගය ජය ගැනීම සඳහා එකමුතුකම හැර වෙනත් විකල්ප නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව සඳහා සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් " ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගනිමු" යන තේමාවෙන් කොළඹ අමාරි හෝටලයේ දී අද (11)මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල මහත්මිය හිටපු ජනාධිපතිවරයාගේ සුබ පැතුම ඉදිරිපත් කළ අතර එහි මෙසේද සඳහන් විය.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැකගනිමු තේමාව යටතේ එකමුතුව වැඩ කිරීමට ඔබ සැම අද මෙහි රැස්ව සිටිනවා. මේ වැඩ කටයුත්ත වෙනුවෙන් ඒකරාශී වූ සියලුම පාර්ශව වෙත උණුසුම් සුබ පැතුම් එක් කිරීමට කැමතියි.

සියලු ක්ෂේත්‍ර බලවත් තර්ජනයට සහ අභියෝගයට ලක්ව ඇති මොහොතක මෙලෙස ඒකරාශී වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි. මේ වැඩ කටයුතු වලට මම හැමවිටම දායක වුණා. ඉදිරියටත් අවශ්‍ය ඕනෑම මොහොතක මඟ පෙන්වීමට සූදානම්. එක්සත් ජාතික පක්ෂය ද නිරතුරුවම මේ ක්‍රියාන්විතයේ කොටස් කරුවකු වී සිටිනවා.

අප හමුවේ තිබෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නම් අනිවාර්යයෙන්ම එකමුතු විය යුතුය. එකමුතුව අභියෝග ජයගන්නවා හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:-

ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය සහ ජනතා පරමාධිපත්‍ය රටට වැදගත් තේමාවක්. අද මේ ක්ෂේත්‍ර තුනේම බරපතල අර්බුද ඇතිවී තිබෙනවා.මේ තර්ජන වලට ශක්තිමත්ව මුහුණ දීම සඳහා ඒකාබද්ධ විපක්ෂය පොදු වැඩ පිළිවෙළකට අවතීරණ විය යුතුයි.

විවිධ දේශපාලන පක්ෂ අප සමග එකතු වී තිබෙනවා.ඒ සියලු පක්ෂ වල අනන්‍යතාවය සම්පූර්ණයෙන් සුරක්ෂිත කරමින් උග්‍ර බරපතල දේශපාලන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක දැඩි අවශ්‍යතාවය තිබෙනවා.

ඒ සඳහා ප්‍රතිපත්ති රාමුවක් අප සකස් කරගෙන තිබෙනවා.නොබෝ දිනකින් එය අවසාන කරනවා.සියලු නායකයන්ගේ අත්සන් ලබාගෙන එම ලියවිල්ල එළිදැක්වීම අපේ අභිප්‍රායයි. දේශපාලන පක්ෂ සමඟ පමණක් නොව සිවිල් සමාජය නියෝජනය කරන කණ්ඩායම් සමඟත් වැඩ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.ඉතා දුෂ්කර අවස්ථාවකදී රට ඉදිරියට ගෙන යාම සඳහා මෙය කාලෝචිත පියවරක්.

ජනාධිපතිවරයකුගේ කාර්යභාරයන් පෞද්ගලික සහ නිල වශයෙන් විභේදනයක් නැහැ. මේක අපේ මනසේම ව්‍යාජ ලෙස ඇති ඇතිකර ගත් විභේදනයක්.ජනාධිපති විදේශගත වී සිටියත් කොහේ සිටියත් ආරක්ෂාව සපයා දීමට රාජ්‍ය බැඳී සිටිනවා.ඒ ආරක්ෂාව සමඟ ගැට ගැසී තිබෙන තව කරුණු තිබෙනවා.ගමනා ගමන, ඉඳුම් හිටුම් ආදී සියල්ල ඊට අන්තර්ගත වෙනවා. ජනපතිවරයාගේ සියල්ල නිල කටයුතු.පෞද්ගලික කටයුතු කියන දෙයක් නෑ.ජ්‍යාත්‍යන්තර නීති, සම්ප්‍රදාය සියල්ලටම අනුව එහෙම විභේදනයක් නෑ.

පොදු විපක්ෂයේ අපි ගෙන යන මේ වැඩ පිළිවෙලට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පූර්ණ සහයෝගය තිබෙන බව අපට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා:-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ හොඳ දේශපාලන සංස්කෘතියක් ගොඩනැගූ නීතියේ ආධිපත්‍ය හා එහි ස්වාධීනත්වය සුරැකීමට කටයුතු කළ පක්ෂයක් වශයෙන් මේ වෑයම සඳහා එක මතයක සිට කටයුතු කරනවා.ඒකාබන්ධ විපක්ෂයේ නායකයා කවුද කියා නිසි කලට ජනතාව විසින් තීන්දු කරාවි. මේ මොහොතේ අපේ යුතුකම වන්නේ රජයේ නීතියේ ආධිපත්‍ය බිඳ දැමීමේ වෑයමට එරෙහිව සාමූහික හඬක් නැගීමයි.එකිනෙකාගේ සිහින මදකට පැත්තකට තැබිය යුතුයි.මෙය අප කරන්නේ රජයක් පෙරලන්න නොවේ.මේ විපක්ෂයේ කාර්ය භාරයයි.අපි කියන ආකාරයට වැඩ කළොත් ආණ්ඩුවට බොහොම කාලයක් ඉදිරියට යන්න පුළුවන්.නමුත් ආණ්ඩුව අද වැඩ කරන්නේ අත්තනෝමතික විදියට.ලංකාව ඉහලට ඔසවා තබන්නට ශක්තියක් මේ රජයට නැහැ.

දෙමළ ප්‍රගතිශීලී සංවිධානයේ නායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා:-

සමගි ජන සන්ධානයේ කොටස්කාර සංවිධානයක් ලෙස මම සහ රාධා ක්‍රිෂ්ණන් මැතිතුමා මෙම පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවට සහභාගී වෙනවා.මේ ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගත් සාකච්ඡා කළා.දැනට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නිල වශයෙන් සාකච්ඡාවට එළඹ තිබෙන බවත් ඒ සාකච්ඡා යම් තැනකට පැමිණි පසුව එතුමාටත් මෙහි පැමිණීමට හැකි බවත් ඔහු දැනුම් දුන්නා.මේක පොදු වේදිකාවක්. අනුර ප්‍රමුඛ ආණ්ඩුව බලයට ආවේ දූෂණයට විරුද්ධව ජන වරමක් ලබාගෙනයි.අපිත් ඉන්නේ දුෂණයට විරුද්ධව තමයි පම්පෝරි ගහලා ආපු ආණ්ඩුවට අද ලොකු වංචා දූෂණ එල්ල වෙලා. අනුන් දෙස බලා හොරු කියන්නට පෙර ඔබලා හොරු නොවන බව ඔප්පු කරන්නැයි අනුර දිසානායක ජනපතිට කියනවා.ආණ්ඩුවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන්ද ප්‍රමුඛත්වය දී විමර්ශන කරන ලෙස අල්ලස් කොමිසමටත් අප දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා:-

මේ බලවත් දේශපාලන එකමුතුව මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා සද්භාවයෙන් හිටගන්නවා.අනුර ප්‍රමුඛ පිරවර මේ රටේ බලය ගත්තේ මාලිමාවට අනන්‍ය වූ අමුතු පන්නයේ ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කරන බව කියමින්.ඛනිජ තෙල් සඳහා වෙළෙඳපොළ මිල තීරණය කිරීමේදී ලෝක වෙළඳපොලේ මිල අදාල නැති බව අනුර ඇතුළු පිරිවර එදා කිව්වා.ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහළ යන විට ලංකාවේ තෙල් මිල වැඩි කරනවා නම් ආණ්ඩුවක් මොකටද කියා මේ අය ප්‍රශ්න කළා. නමුත් අද වෙලා තියෙන්නේ මොකක්ද? මේ තෙල් වැඩි කිරීම අනවශ්‍ය කලබලයක් මත ගත්ත වැරදි තීරණයක්.ලෝක වෙළෙඳපොලේ බොර තෙල් බැරලයක මිල අඛණ්ඩ ලෙස ඉහළ යෑමක් හෝ අඛණ්ඩව ඉහල යමින් පවතින විටෙක තෙල් මිල ඉහළ දැම්මා නම් අපට එය තේරුම් ගන්න පුළුවන්.ප්‍රශ්න එන්න පෙරම මුග්ධ ආණ්ඩුව විසින් ජනතාව මත බර පටවා අවසන්.

එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:-

අද අනුර ප්‍රමුඛ ආණ්ඩුවට තුන්බියක් ඇතිවී තිබෙනවා පළමු බිය ඇත්ත හෙළිදරව් වන විට ඇතිවන බියයි.

මිද්දෙනියෙන් මතු වූ අයිස් කන්ටේනර් ගැන මේ වන තෙක් පරීක්ෂණයක් නෑ. දිට්වා කුණාටුවෙන් පසු දත්ත දැනගෙන හිටියේ නැහැ ආදී ප්‍රකාශ කියවුනා. නමුත් පැහැදිලි නිශ්චිත අනතුරු ඇඟවීම් වීමක් කර තිබූ තත්ත්වය තුළ ඔවුන් කොත්මලේ ජලාශයේ ගේට්ටු විවෘත කර අති මහත් විනාශයක් කළා. ගල් අඟුරු සම්බන්ධයෙන් පැහැදිලි වංචාවක් වුණා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් කළ පරිසර හානියට වඩා හානියක් බාල ගල් අඟුරු වලින් ආණ්ඩුව රටට කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ට නොහැකියාවේ බිය ඇතිවී තිබෙනවා.අධ්‍යාපනය සෞඛ්‍ය බල ශක්ති හැම තැනකම නොහැකියාවේ බිය පැතිරිලා.ඒ සමගම හැකියාව තිබෙන මිනිසුන් ගැන ආණ්ඩුවට බියක් ඇතිවෙලා. නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුව හැකියාවක් ඇති මිනිසුන් දඩයම් කරමින් ඉන්නවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා:-

ජනාධිපතිවරයාගේ ගමන් පෞද්ගලික හා නිල වශයෙන් ඉරක් ගසා වෙන් කරන්න බෑ.ජනපති තනතුර දරන තාක් කල් කරන්නේ රාජකාරියයි.ජනපතිට පෞද්ගලික ගමනකදී වෙඩි නොවදින වාහනේ භාවිතා කරන්න බැරිනම් ජනපතිගේ සතුරන්ට තියෙන්නේ හරි සරල දෙයක්.ජනපති පෞද්ගලික ගමනක් යන විට ජීවිතය බිලි ගැනීමයි.රනිල්ට පැවරූ නඩුව වත්මන් ජනපති සහ අගමැති ආදීන්ටත් වැරදි පූර්වාදර්ශයක් වෙලා පාරා වළල්ලක් වීම වලක්වන්න බෑ. මේ අවුරුද්දේ අගමැතිනිය ලෝක ආර්ථික සමුළුවට ගියා.ලෝක ආර්ථික සංසදය කියන්නෙත් පෞද්ගලික ආයතනයක්.අගමැතිනිය රජයේ මුදලින් එහි යාමත් මේ පූර්වාදර්ශය යටතේ පෞද්ගලික සංචාරයක්.එපමණක් නොව ජනපති මෑතකදී ජපන් ජෙප්පන් හමුවෙන්න ගිය ගමනත් පෞද්ගලික ගමනක්.ජනපතිගේ පමණක් නොව ඇමති කෙනෙක්ගේ වියදම්වත් ඉරක් ගසා වෙන් කරන්න බෑ.රනිල්ගෙන් පළිගැනීමට පවරන ලද මේ නඩුවෙන් ඔබ හාරමින් සිටින්නේ ඔබේම මිනී වලයි.

පොදු ජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා:-

මේ මුළුමනින්ම ජනතාව රවටන ලද ආණ්ඩුවක්.සෑම ඉන්ධන වර්ගයකටම බදු අය කරන බවත් ඒ බදු පාවිච්චි කර මිල ඉහල පහල යාම පාලනය කළ හැකි බවත් ආණ්ඩුවේ උදවිය කලින් පැවසුවා. තමන් ලබා දී තිබෙන දේශපාලන පොරොන්දුව ඉටු කරන්න දැන් ආණ්ඩුවට කදිම අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ අයට රටවල් පාලනය කරන්න බෑ. කයිවාරු ගහන්න විතරයි පුළුවන්. මේ අයට හදිසි තත්ත්වයක් පාලනය කරන්න කොහෙත්ම බෑ. මෙවැනි ආණ්ඩු මහජන හිතකාමී නෑ.ඒ නිසා ඔවුන් හැසිරෙන්නේ ප්‍රජා පීඩකයන් ලෙසයි. දැන් තිබෙන්නේ එහි මුල් අවස්ථාවයි.තමන් අතීතයේ භාවිත කළ කදිම වදන් පාවිච්චි කර කදිම ආණ්ඩුවක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-

නීතියේ විධානයේ ආධිපත්‍ය ගැන අනුර දිසානායක ජනපති පුන පුනා කියනවා.ඔහුගේ ආණ්ඩුව විසින්ම එය උල්ලංඝනය කරමින් ඉන්නවා.පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහිව මේ වන විට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පරපතළ චෝදනා සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. දැනට මාසයක් ගත වුනත් මේ වන තෙක් ඊට තීරණයක් ගෙන නැහැ. එමෙන්ම ඇමති කුමාර ජයකොඩි සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිෂන් සභාව අධි චෝදනා ගොනුකර තිබෙනවා.දැන් ඔහු වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතුව තිබෙනවා.මේ කාරණයට කියන්නේ කුමක්දැයි ජනාධිපතිගෙන් අප අහනවා. කතානායක ධුරයේ ඉන්නේ චෝදනා රැසක් තිබෙන කෙනෙක්. මේ පුද්ගලයාටත් අපේ ආණ්ඩුවක් යටතේ ක්‍රියාමාර්ග ගන්නවා. මේ වන විට රට පුරා විදුලි බිල වැටීම් දොළොස් දාහක් පමණ සිදුවෙලා.ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් ඊයේ විදුලිය තිබුණේ නෑ.මේ ප්‍රශ්න වලට ස්ථාවර විසඳුමක් ආණ්ඩුවට නෑ.විදුලි වර්ජනය අඛණ්ඩම ඉදිරියට ගෙනයන බව ඔවුන් දන්නවා තිබෙනවා.මේවා විසඳන්න පුළුවන් ප්‍රශ්න යනුවෙන්ද දයාසිරි ජයසේකර මහතා කීය.

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන,හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක ,මහින්ද අමරවීර,ටිරාන් අලස්,එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,එජාප සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප විස්තරය:- විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායකයන් අදහස් දැක්වූ අවස්ථාව. හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන,හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්,නිමල් සිරිපාල ද සිල්වා,පාඨලී චම්පික රණවක,අනුර ප්‍රියදර්ශන යාපා,මහින්දා අමවීර, දුමින්ද දිසානායක,උදය ගම්මන්පිල,ටිරාන් අලස්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මනෝ ගනේෂන්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න,ප්‍රේමනාත් සී.දොලවත්ත,අජිත් මාන්නප්පෙරුම පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව ඉදිරිමාන්න,එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහ ලේකම් තලතා අතුකෝරළ, සභාපති වජිර අබේවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු දේශපාලන නායකයෝ මෙහි සිටිති. (ඡායාරූපය:- ළහිරු හර්ෂණ)