(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස අමෙරිකානු ඩොලර් 8,90,000ක මුදලක් භාණ්ඩාගාරයට ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මීට අමතරව තවත් රුපියල් කෝටියකට වැඩි මුදලක්ද ලැබීමට නියමිතය.

මෙම වන්දි මුදල ලබා දී ඇතැයි පැවසෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැරූ වියදම් පියවා ගැනීම සඳහාය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම විසින් එම ගෙවීම කරනු ලැබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ධීවරයන්ට සිදු වූ හානිය වෙනුවෙන්ද වන්දි මුදලක් ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන්ද අදාළ රක්ෂණ සමාගම සලකා බලමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.