(අංජුල මහික වීරරත්න)

ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 ඩීසල් මිල කර්මාන්ත කෙරෙහි අහිතකරව බලපාන අතර එය ආර්ථිකය බිඳ වැටීමට ද හේතුවක් බව කී මන්ත්‍රීවරයා  අවම වශයෙන් ඩීසල් මිල හෝ අඩු කළ යුතු බව සඳහන් කළේය.

විදුලිය හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර ලාභ ලබන නිසා එහි ප්‍රතිලාභ ව්‍යවසාය වෙත ලබාදීම සුදුසු බව ද රණවක මහතා කීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී රණවක මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි භාවිතය සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතු බව ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගත යුතු බැවින් අධික විදුලි බිල ඊට බාධා මතු කරන බව රණවක මහතා කීය.