IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


හැමෝටම එකම ඇඳුම ඇන්දවීම

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නොමිලේ වීසා ලබා දෙන රටවල් තෝරා ගනු ලැබුවේ පසුගිය අවුරුද්දේ ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යා අනුව, වැඩිම සංචාරකයන් පැමිණි රටවල්වලින් යැයි පැවැති ඇමැති මණ්ඩල තීන්දු ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවේදී (අගෝස්තු 05) ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක, මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.

ඔහු එසේ කීවේ, එම ලේඛනයට ඊශ්‍රායලය ඇතුළු වූයේ ඒ තේරීම අනුව මිස වෙනත් විශේෂ හේතුවක් නිසා නොවේ යැයි සහතික කිරීමටය. ඊශ්‍රායල සංචාරකයන්ට පොලිස් ආරක්ෂාව ලබාදීම ගැන මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට ද ඔහු කියා තිබුණේ, ඔවුන්ට ආරක්ෂාව දෙන්නේ ද මෙරටට පැමිණෙන සියලු‍ විදේශිකයන්ට ආරක්ෂාව ලබා දෙන පොදු තීන්දුව අනුව බව ය.

මේ ප්‍රකාශ මගින් මාලිමා ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සහ ඒ අනුව කෙරෙන රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු පිළිබඳ බරපතළ ගැටලු‍වක් පැන නගී. මෙවැනි විදේශ ප්‍රතිපත්තියකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ගොඩනැගෙන ප්‍රතිරූපය, ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට රාජ්‍යයකට ගැළපෙන ප්‍රතිරූපයක් නොවීම ඊට හේතුවය.

මානව හිමිකම් සුරකින, ප්‍රජාතන්ත්‍රවාදය අගයන ශිෂ්ට රාජ්‍ය පාලන, හිරිකිතයකින් තොර ම්ලේච්ඡ ජන සංහාර විවෘතව ක්‍රියාත්මක කරන රටවල් හා ආණ්ඩු සමග ගනු දෙනු කරන්නේ නැත. ගනු දෙනු නොකළ යුතුය. එය 80 දශකය ආරම්භයේ දී ශ්‍රී ලාංකීය ආණ්ඩුව ද ඔප්පු කෙරුවකි. දකුණු අප්‍රිකාවේ සුදු වර්ගවාදී රාජ්‍ය ඉවත් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග 1994 දී සියලු‍ ජන වර්ග නියෝජනය වන බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් ස්ථාපිත කෙරෙන තෙක්, දකුණු අප්‍රිකානු සුදු වර්ගවාදී රාජ්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් හා අනෙක් ජාත්‍යන්තර සබඳතාවලින් පිටමං කර තිබිණ. ශ්‍රී ලංකාව ද ඇතුළුව පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල් 1977 දී ස්කොට්ලන්තයේ ග්ලෙනීගල්ස්හි අත්සන් කළ සම්මුතිය මගින් දකුණු අප්‍රිකානු සුදු වර්ගවාදී රාජ්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලටද නොගත්තේය. ඊට වසර 13 කට පෙර 1964 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් දකුණු අප්‍රිකානු සුදු වර්ගවාදී රාජ්‍ය සියලු‍ ඔලිම්පික් තරගවලින් ඉවත් කරනු ලැබීය ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් පාලක කවුන්සිලය ද 1970 දී දකුණු අප්‍රිකානු සුදු වර්ගවාදී රාජ්‍ය සමග ක්‍රිකට් තරග තහනම් කළේය.

මේ මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිසිවකු ඇතැම් විට නොදැන සිටිය හැකි, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 1982 ඔක්තෝබරයේ දී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ගනු ලැබූ ඉතා දැඩි තීන්දුවක් ඇත. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් තරගවලට සහභාගිවීමේ වරම් ලැබී මාස 08 කට පසු එම තීන්දුව ගනු ලැබුවේ වර්ගවාදී දකුණු අප්‍රිකාව සමග ක්‍රීඩා තරග තහනම් කර තිබියදී ශ්‍රී ලාංකික කැරලිකාර ක්‍රිකට් කණ්ඩායමක් තවමත් හරියාකාරව නොකියැවෙන විශාල මුදලකට, වර්ගවාදී දකුණු අප්‍රිකාවේ සංචාරයකට යෑමට එරෙහිව ය. “ඇරෝසා-ඉලවන්” (AROSA - ඇන්තනි රැල්ෆ් ඕපාත ඉංග්‍රීසි මුල‘කුරු සහ South Africa මුල”‍කුරු) යැයි ටෝනි ඕපාත නම් කළ එම කණ්ඩායමේ සංචාරයට සහභාගි වන්නට රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස් සහ ඩී.එස් ද සිල්වා කොන්ත්‍රාත් අත්සන් කර තිබුණත් ඔවුන් සිම්බාබ්වේ තරගාවලියට සහභාගීව සිටියෙන් ඔවුන්ට දකුණු අප්‍රිකාවට යා නොහැකි විය. දකුණු අප්‍රිකා ගිය 14 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේ බන්දුල වර්ණපුර ය. ඕපාත සමග කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් අතර ජෙරි වවුටර්ස්, මහේෂ් ගුණතිලක, ලලිත් කලු‍පෙරුම, ෆ්ලේවියන් අපොන්සු, බන්දුල ද සිල්වා, අජිත් ද සිල්වා, අනුර රණසිංහ වැන්නෝ ද වූහ.

එකල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වූ මහවැලි ඇමැති ගාමිණී දිසානායකගේ සභාපතිත්වයෙන් එම සංචාරයට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයන් 14 දෙනාට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කෙරිණ. එම තහනම බරපතළ වැඩි යැයි සමාජ මතයක් වූයෙන් පසුව එය වසර 25 කට සීමා කෙරිණ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වූ පසු 1991 දී ඒ තහනම ඉවත් කළේය.

වර්ගවාදී දකුණු අප්‍රිකාවට එරෙහි හැම තහංචියකටම එදා ශ්‍රී ලංකාව දායක වූයේ ඔවුන්ගේ සුදු වර්ගවාදය මනුෂ්‍යත්වයට එරෙහි, ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යයක් වූයෙනි. අපේ විදේශ ප්‍රතිපත්තියෙහි එය මූලික කොන්දේසියක් වන හෙයිනි. රාජ්‍ය තාන්ත්‍රික ගනු දෙනු තීන්දු කළ යුත්තේ ඒ අනුව වූයෙනි.

ඒ හා සැලකෙන විට, තොග පිටින් පලස්තීනු සිවිල් වැසියන් ඝාතනය කරන, ඔවුන්ගේ වාස භූමියෙන් ඔවුන් පලවා හරින ඊශ්‍රායලය, මේ මාලිමා ආණ්ඩුවේ විදේශ ප්‍රතිත්තියට අනුව මනුෂ්‍යත්වයට එරෙහි, ප්‍රජාතන්ත්‍ර විරෝධී ම්ලේච්ඡ රාජ්‍යයක් නොවන්නේද? ස්පාඤ්ඤය, ස්ලෝවේනියාව, අයර්ලන්තය, ස්වීඩනය වැනි රටවල් ඊශ්‍රායලයට එරෙහි සම්බාධක යෝජනා කරන්නේ, එය ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට රාජ්‍යයක් වන හෙයින්ද? ප්‍රධාන යුරෝපීය නගරවල දහස් ගණන් ජනයා ඊශ්‍රායලයට එරෙහිව පාරට පැමිණ ඇත්තේ ඊශ්‍රායලය සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන හෙයින්ද? වත්මන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ආරක්ෂක ඇමැතිවරයකු වූ යොආව් ගැලන්ට් යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය 2024 නොවැම්බරයේදී හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවේ, ඔවුන්ට පලස්තීන ජන සංහාරය සම්බන්ධ සෘජු වගකීමක් නොමැති හෙයින්ද?

පසුගිය 2023 ඔක්තෝබරයේ දී ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ ජූලි මස අවසානය වනවිට මිය ගොස් ඇති පලස්තීනු වැසියන් පිරිස 60,000 කට වැඩි යැයි වාර්තා වන්නේ ය. එහෙත් සැබෑ ලෙස මිය ගිය සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි යැයි කියනු ලබන්නේ ඊශ්‍රායලය විසින් විනාශ කරනු ලබන්නා වූ රෝහල්වල, නිවාස සංකීර්ණවල යටවී මිය ගිය සංඛ්‍යාව නිශ්චිතව ගණනය කරගත නොහැකි හෙයින් ය. මිය ගිය සංඛ්‍යාවෙන් සියයට 70 කට වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා දරුවන් යැයි ගණන් බලා ඇත. මෑතක සිට ඊශ්‍රායලය ආහාර හා හදිසි සහනාධාර බෙදීම ද අඩාල කරමින් ඒවාට ද පහර දෙයි. පලස්තීනයේ ගාසා තීරයෙන් ඔබ්බට ඔවුහු දැන් බටහිර ඉවුර ද ආක්‍රමණය කරති.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි හදිසි අවශ්‍යතා අධ්‍යක්ෂ රොස් ස්මිත් ඉකුත් ජූලි 29 වැනිදා ජිනීවාහි දී මාධ්‍යයට ප්‍රකාශ කළේ, “අපගේ රූපවාහිනි තිරයෙහි, අපගේ ඇස් පනාපිට ඉතා පැහැදිලිවම මේ දිග හැරෙන්නේ, මහා විනාශයක්. මෙය අනතුරු ඇඟවීමක් නෙවෙයි. මෙය වහා මැදිහත්වීමකට කෙරෙන කැඳවීමක්. මෙවැන්නක් අපි මේ සියවසෙහි මීට පෙර දැක නැහැ”‍ යැයි කියාය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් කියා ඇත්තේ, “අපි බියෙන් සිටි දේ දැන් සිදු වෙනවා. පලස්තීනය මහා සාගතයක අබියස ඉන්නේ. සැබෑ තොරතුරු දැන් ලැබෙනවා. ඒවා ප්‍රතික්ෂේප කරන්න බැහැ” යැයි කියාය.

 අපගේ විදේශ ප්‍රතිපත්තියෙහි එවැනි ඊශ්‍රායලයකට ඉඩ තැබිය හැකිද? අනෙක් සාමාන්‍ය රටවලට මෙන් ඊශ්‍රායලයට සැලකිය හැකිද? සැලකිය යුතුද? මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස කියන ආකාරයට, හැමෝටම එකම රෙද්ද අන්දවන්නට නොහැකිය. විදේශ ප්‍රතිපත්ති තීන්දු කිරීමේ දී හැමෝටම එක සේ සලකනවා යැයි කීම ආණ්ඩුවේ හෙළුව වසා ගන්නට කියන කතාවකි. එහෙත් ඔවුන්ගේ දේශපාලන නිරුවත පෙන්වන්නේ ඔවුන් වෙනුවෙන් මේ තීන්දු ගන්නේ කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙහි කියා ය.

අවසන් වශයෙන් මාලිමා ආණ්ඩුවට කියන්නට ඇත්තේ එකම එක කාරණාවකි. මේ සිංහල-බෞද්ධ රටක් යැයි සාඩම්බරයෙන් කියන්නාවූ ජනතාවට ම්ලේච්ඡ ජන ඝාතක රටක් වැදගත් මිතුරකු ලෙස පිළිගත නොහැකිය. කරුණාකර ලාංකීය ගෞරවය, ලෝකය හමුවේ නොකෙළසා, ඊශ්‍රායලය සමග වන සියලු‍ ගනු දෙනු වහා අතහැර දමනු මැනව යැයි කියනු විනා වෙන කුමක් කියන්නද?

(***)



අදහස් (5)

හැමෝටම එකම ඇඳුම ඇන්දවීම

විජිත් Monday, 11 August 2025 04:21 PM

සහතික ඇත්ත !!! අරාබි ජාතිකයින් මිනීමරු ත්‍රස්තවාදීන් බවට පත්කළේ මේ කියන යුදෙව්වන් සහ බටහිර ජාතිකයින් විසින්. 1948ට කලින් ඉස්රායලය කියලා රටක් මේ ලෝකේ තිබුනේ නැහැ. තිබුනේ පලස්තීනය පමණයි. පලස්තීන ජාතිකයින් ජීවත්වුණු භුමිය අල්ලා ගන්නට යුදෙව්වන්ට උදව්කලේ එංගලන්තයත් අමෙරිකාවත් ප්‍රමුඛ බටහිර ජාතින් විසින්.. ඉතිහාසයේ කිහිප වතාවක්ම සමුලඝතනයට ලක්වුණ මේ ඉස්රායල් ජාතිකයින් ඒ ඉරණමට ලක්වුණේ ඔවුන්ගේම උද්දච්ච හැසිරීම නිසයි. ඇත්තටම බටහිර රටවලට උවමනා වුනේ තම රටවල ජනයාගේ පිළිකුලට ලක්වුණු යුදෙව්වන් කොහේ හෝ තැනකට පන්නා දැමීමටයි. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ පලස්තීන භූමියයි. එදා සිට අද දක්වාම තම භුමිය ප්‍රසාරණය කිරීම සඳහා දහස් ගණන් අහිංසක පලස්තීන ජාතිකයින්ව ඝාතනය කල මේ මිනීමරු ඉස්රායල් ජාතිකයින්, වැඩි වශයෙන් මරන්නේ පලස්තීන දරුවන්. මේ ලෝකය පාලනය කිරීමට දෙවියන් විසින් තමන්ගේ වර්ගයාව තෝරාගෙන ඇතිබව කියන මේ උද්දච්ච යුදෙව්වන් දැන් කියන්නේ දෙවියන් තමන්ට දුන්න ' මහා ඉස්රායලය ' දැන් තිබෙන ඉස්රායලයට වඩා බොහෝ විශාලබවත් අනාගතයේදී ඒ සියලුම භුමි අල්ලාගෙන මහා ඉස්රායලය පිහිටුවන බවත්ය. අවශේෂ ලෝකය තව කොතෙක් දුරට මෙය ඉවසා දරාගෙන සිටීද ?

:       11       15

jinadasa Tuesday, 12 August 2025 09:18 AM

ඊශ්‍රායල වල වැඩ කරලා ඩොලර් එවන්න හොඳයි... උන් මෙහෙ ඉන්න එක වැරදියි

:       12       10

AmareWednesday, 13 August 2025 01:22 AM

අපි දන්නවා අපේ රටෙත් ඊශ්‍රායලකාරයින්ට පන දෙන අය ඉන්නවා

:       0       9

AmanthiFriday, 15 August 2025 05:40 PM

නූගත්, ඉතිහාසය නොදන්නා, කළු රුපියල් වලට ඕනෑම බලු වැඩක් කරන බල්ලන්ටත් නින්දා කරන පාවාදෙන්නෝ මේ රටේත් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා...

:       0       5

Aminda Divithotawela Wednesday, 13 August 2025 01:13 AM

ඉතිහාසය සමහර වෙලාවට විහිළු සපයනවා. අපි මේ කතාකරන යුදෙව්වන් නොහොත් ඊශ්‍රායල් ජාතිකයින් එදා ජර්මනියේ පවත්වාගෙන ගිය ආර්ථික ඒකාධිකාරිය නිසා ජර්මන් ජාතිකයින් දැඩි පීඩාවට පත්වුණා. අවසානයේ දී හිට්ලර් බිහිවුණා. හිට්ලර් මේ යුදෙව්වන් ගැන හොඳින්ම දැනගෙන සිටියා.යුදෙව්වන්ව දස වධ දීලා , ගෑස් කාමරවල දමලා මරුවා.එදා මුළු ලෝකෙම හිට්ලර්ට මිනීමරුවා කියා ශාපකලා. හිට්ලර් කීවාලු " මම මුන්ගෙන් ටිකක් ඉතිරිකරනවා..අනාගතයේදී උඹලා තීරණය කරයි මම හරිද වැරදිද කියලා .." දැන් අවුරුදු 75 ක් විතර ගිහින්..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site