ඉතිහාසය යනු අතීත උරුමය සහ එහි අනන්‍යතාව වර්තමානයට දායාද කර දෙන දැවැන්ත විෂය ක්ෂේත්‍රයකි. ඉතිහාසය අධ්‍යයනය කළ යුත්තේ ඇයි යන්න විමසුමට පෙර ඉතිහාසය යනු කුමක් ද යන්න පැහැදිලි කරගැනීම අත්‍යවශ්‍ය වේ. විවිධ ඉතිහාසඥයන් හා විද්වතුන් ඉතිහාසය යනු කුමක් ද යන්න පිළිබඳ විවධ මත සහ නිර්වචන ඉදිරිපත් කර තිබෙනු පෙනේ.
ඉතිහාසය යනු අතීත සිද්ධි පිළිබඳ විවරණයක් හෙවත් යටගියාව පිළිබඳව කරනු ලබන විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් ලෙස සරලව තේරුම්ගත හැකිය. එනම්, ඉතිහාසඥයකුගේ ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ අතීත සංසිද්ධි දෙස විචක්ෂණශීලිව බලා අප අද මුහුණ දෙන ගැටලු හා අභියෝගවලට විසඳුම් යෝජනා කිරීමයි. ඉතිහාසඥයා අතීතයට ඇලුම් කිරීම හෝ අතීතයෙන් මිදීම යන අන්තවල අතරමං නොවිය යුතු අතරම වර්තමානය තේරුම් ගැනීමට යතුර වශයෙන් ඉතිහාස දැනුම විචක්ෂණශීලිව භාවිත කළ යුතුය.
ආනෝල්ඩ් ජේ. ටොයින්බී “A Study of History” කෘතියේ ශිෂ්ටාචාර ගොඩනැගෙනුයේ අභියෝගවලට මුහුණ දීමේ ප්‍රතිචාරයක් වශයෙන් බව පවසයි. වර්තමානය පරිපූර්ණව තේරුම්ගත හැක්කේ අතීතය පිළිබඳ දැනුමේ ආලෝකයෙනි. එනම්, ඉතිහාස විෂයය අතීත සිද්ධි මනා පරිචයකින් සහ අවබෝධාත්මකව තේරුම්ගෙන අනාගතය සැලසුම් කිරීමට යොදාගත හැකි කැඩපතක් ලෙස හඳුනා ගැනීම වඩා නිවැරැදි බව ඊ.එච්. කා සඳහන් කර ඇත. ඔහු දක්වන පරිදි ඉතිහාසය යනු විචාර බුද්ධිය මෙහෙයවීමෙන් තම පරිසරය අවබෝධ කරගන්නටත් ඒ මත ක්‍රියා කිරීමටත් ගෙන ගිය දීර්ඝ සටනකි. මෙලෙස සලකා බලන විට ඉතිහාසය යනු වර්තමානය හා අතීතය අතර නොනවතින සංවාදයකි. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉතිහාසකරණය පිළිබඳව ප්‍රකාශිත වූ කෘති විරලය. අධ්‍යයනයට රිසි පාඨකයන්ට එහි ගැඹුරු තැන් පෙන්වා දෙන ආකර්ෂණීය රසවත් විෂයයකි. ඉතිහාසය විෂයයේ හර පද්ධතිය පිළිබඳ හඳුනා ගැනීමටත්, මූලාශ්‍රය දත්ත අවබෝධ කරගැනීමටත් මෙන්ම විචාරශීලිව දත්ත විශ්ලේෂණය කර තිරසර සමාජ සංවර්ධනයක් උදෙසා එම දැනුම පාදක කරගැනීමටත් යන දැනුම් සම්භාරය ශාස්ත්‍රීය ඉතිහාස ග්‍රන්ථ හරහා සමාජයට සම්ප්‍රේෂණය වේ. සාරධර්ම ගුණධර්ම වියැකී යන කාල වකවානුවක ගුණාත්මක පිරිපුන් මිනිසකු නිර්මාණයට ඉතිහාස විෂයය අමිල දායකත්වයක් ලබා දෙන බව නොරහසකි.
ඉතිහාසය නිර්වචනය කළ හැකි වනුයේ ආරම්භයේ සිට මේ දක්වා ඒ ඒ යුගවල මිනිසාගේ ක්‍රියාකාරකම් හා සිද්ධි අදාළ මූලාශ්‍රවලට අනුව නිවැරැදිව ලේඛනගත කිරීමෙනි. මෙහිදී ඉතිහාසඥයකු නිවැරැදි දත්ත ඔස්සේ ඉතිහාසය රචනය කිරීමට වග බලාගත යුතු අතර, එය සැලකිලිමත්ව ඉතා සංයමයෙන් යුතුව සිදු කළ යුතුය. මානව සංහතියේ සංවිධිත ස්වරූපය නියෝජනය කරන්නේ ඉතිහාසය වන අතර, එය පර් යේෂණාත්මකව මතු කර දෙන්නේ ඉතිහාසඥයාය. එක් පරම්පරාවක ඉතිහාසඥයන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් නව සාක්ෂි මත වෙනස් විය හැකිය. ඒ ඉතිහාසය කාලානුරූපීව අලුත් වන සහ නව්‍ය වැදගත්කම් ජාතියට දායාද කරන ප්‍රෞඪ සහ අභිමානවත් විෂයයකි. ඉතිහාසඥයන්ට සිද්ධි තෝරා බේරා සිය අදහස් ඉදිරිපත් කළ නොහැකිය. ඊට හේතුව, සිදුවන සෑම සිද්ධියකටම වැදගත්කමක් තිබිය හැකි වීමයි. ඉතිහාසය විකෘති කිරීම හෝ පක්ෂග්‍රාහි ඉතිහාසයක් ගොඩනැගීම ඉතිහාසඥයන්ගේ කාර්යභාරය නොවේ.
ඉතිහාසය යනු හුදෙකලා යල් පැනගිය විෂයයක් නොවේ. ලෝකයේ සෑම විෂයයකම තිඹිරිගෙය ඉතිහාසයයි. අනෙකුත් සමාජ සහ මානව ශාස්ත්‍ර විෂයයන් සමඟ පවතින අත්‍යන්ත සම්බන්ධතා නිසා එකී විෂයයේ වටිනාකම තව තවත් වැඩි වේ. මහාචාර්ය ග්‍රැහැම් ක්ලාක් පවසන පරිදි පුරාවිද්‍යාව යනු පුරා කෘති උපයෝගි කරගෙන මානව අතීතය පිළිබඳ කතාව ගොඩනඟා ගැනීමට කරනු ලබන සංවිධිත අධ්‍යයන ක්‍රමයක් ලෙසින් හඳුනාගනී.
මෙම අධ්‍යයන ක්‍රමය සාර්ථක කරගනු සඳහා පුරාවිද්‍යාඥයා තුළ ඉතිහාසය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තිබිය යුතු බව ද ඔහු පවසයි. ස්ටුවට් පිගොට් පවසනුයේ, ඉතිහාසය යන්න පුළුල් අර්ථයෙන් ගත් කල ඈත අතීතයේ සිටම මෑතක් වනතුරු මානව සමාජයේ යටගියාව අධ්‍යයනය කිරීම යන්නයි. මානව සමාජයේ යටගියාව සොයාගනු පිණිස උපයෝගි කරගනු ලබන සාර්ථක මාධ්‍යයක් ලෙස පුරාවිද්‍යාව ඊට අයත් වේ. එනම්, නිරවද්‍ය වීම නිසා ඉතිහාසඥයකු පැසසීම කොන්ක්‍රීට් තම ගොඩනැගිල්ලකට පාවිච්චි කිරීම නිසා වාස්තු ශිල්පියා පැසසීම වැනිය. එය ඔහුගේ කාර්යයට අවශ්‍ය නියමයක් වන නමුත් ඔහුගේ අවශ්‍යතාව කාර්යය නොවේ. නියත වශයෙන්ම ඉතිහාසඥයාට පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ රසායන විද්‍යාව ආදි සහායක විෂයයන් රැසක් ආධාර කරගනිමින් අභියෝගවලට විසඳුම් ලබා ගැනීමේ කාර්යභාරය සිදු කළ හැකිය. අනිත් අතට ද එවැනි සමාජ සහ මානව විද්‍යා ශාස්ත්‍රඥයන්ට ද ඉතිහාසය ඉතා ප්‍රයෝජනවත් වෙයි. සමාජ සහ මානව විද්‍යාත්මක ප්‍රශ්න අවබෝධ කරගැනීමට ඉතිහාසය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එදා ග්‍රීක සමාජයෙන් දාර්ශනිකයන් බිහි වූයේ කෙසේ ද යන්න විමසිය යුතුය. එනම්, මධ්‍යධරණි මුහුදෙන් හමා එන සෞම්‍ය දේශගුණය වගේම නිදහස් විවේකී පරිසරය ඔවුනට හොඳ තෝතැන්නක් විය. මේ නිසා ඔවුනට නිදහසේ සිතීමට, තර්ක කිරීමට, වාද විවාද කිරීමට අවකාශයක් හිමිව තිබුණි. එසේම, මෙම දාර්ශනිකයන් ඉතිහාසය, තර්ක ශාස්ත්‍රය, ගණිතය, දර්ශනය සහ තාරකා ශාස්ත්‍රය වැනි විෂයයන් අධ්‍යයනය කළ බව නොරහසකි. එහෙත්, ශ්‍රී ලාංකිකයන් වන අපට වර්තමාන සෞම්‍ය දේශගුණය විවේකය නොතිබෙන්නට පුළුවනි. එහෙත්, ඉතිහාසය වැනි විෂයයක් අධ්‍යයනය කිරීම නිසා පුරවැසියකු තුළින් අලුත් දෙයක් සිතීමේ හැකියාව දියුණු කිරීම, තර්ක කිරීමේ හැකියාව සහ අනෙකකු තේරුම්ගත හැකි වීම මෙන්ම යහපත් ආදරණීය මානවයකු බිහි කිරීමට බෙහෙවින් පිටිවහලක් වනු ඇත. එබැවින්, ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රායෝගික වැදගත්කම කිසිසේත්ම අවතක්සේරු සහ ලඝු කළ නොහැකිය.
ඕනෑම සමාජයක ඉතිහාසය ශික්ෂණ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම ඉතිහාසඥයන්ට මෙන්ම අනෙකුත් සමාජ ශාස්ත්‍රඥයන්ට ද වඩා වැදගත් වෙයි. බටහිර රටක ඉතිහාසය හා පෙරදිග රටක ඉතිහාසය ගත් විට එහි ඓතිහාසික තත්වයන් දෙස බොහෝ අතින් අසමාන ලක්ෂණ පෙන්නුම් කරයි. එක් රටක් වේගයෙන් දියුණු වීමටත්, තවත් රටක් අවම මට්ටමෙන් සංවර්ධනය වීමටත් හේතු සොයා ගැනීමට එම රටවල් දෙකේ ඉතිහාසය තුලනාත්මක අධ්‍යයනය කළ හැකි අතර, එතුළින් එම තත්වයන්ට හේතු වූ කරුණු කාරණා අවබෝධ කරගත හැකිය. ඕනෑම රටක් තිරසර සංවර්ධන ඉලක්ක කරා නිවැරැදි දිශානතියකට මෙහෙයවීමට තුලනාත්මකව ඓතිහාසික සාධක පිරික්සීම ප්‍රයෝජනවත්ය. ඒ අනුව ඉතිහාසය ශික්ෂණ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම රාජ්‍ය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බෙහෙවින් ඉවහල් වන බැව් ද සඳහන් කළ යුතුය.
ඉතිහාස විෂයය මිනිසාට කොතරම් සමීප දායකත්වයක් ලබා දෙන්නේ ද යන්න විමසා බැලීම ද ප්‍රයෝජනවත්ය. සී. රයිට් මිල්ස් නම් සමාජ විද්‍යාඥයා පෙන්වා දෙන පරිදි, සමාජ ශාස්ත්‍රඥයන් ඓතිහාසික තොරතුරු ප්‍රයෝජනයට ගත යුතු යැයි සඳහන් කර ඇත. මිනිසා සමාජයේ ජීවත් වන්නේ ඓතිහාසික පදනමක් තුළය. ඉන් අදහස් වන්නේ, මිනිසාගේ ජීවිතය තුළ ඉතිහාසය කිඳාබැස තිබෙන බවයි. සමාජ සම්බන්ධතා සමාජ සංවිධාන ඉතිහාසයේදී පැවැති ආකාරය තේරුම් ගැනීමට නම් ඓතිහාසික සාධක අවබෝධ කරගත යුතු වේ. අප අහම්බෙන් මෙලොවට පිවිසුණා නොවේ. පරම්පරාගත ඉතිහාසයක් අපට ඇත. ඓතිහාසික සාධක සැලකිල්ලට නොගෙන තිරසර සමාජ සංවර්ධනයක් අපේක්ෂා කළ හැකි නොවේ. අපේ රටේ ඉතිහාසය පිළිබඳ සඳහන් කරන විට අනෙකුත් රටවල මෙන් මෙහි ද ජාතික අනන්‍යතාව තහවුරු වීමෙහිලා ඉතිහාසය අධ්‍යයනය කිරීම ඉගෙනීම වැදගත් වන බව කිව යුතුය. කුඩා කාලයේ සිට ළමයකුට තමන්ගේ රට පිළිබඳ ඇල්මක් බැඳීමක් ඇති වන්නේ රටේ අතීතය වර්තමානයට ගෙන එන ඉතිහාසය තුළිනි. එකී ළමයා තුළින් ජාතික හැඟීමක් ජනිත වීම අරුමයක් නොවේ.
ඉතිහාසය එක් කාල වකවානුවක සිදුවීමක් නැවත ඇති විය නොහැකි වුවත් එය වෙනත් ආකාරයකින් සිදු විය හැකිය. එම සිදුවීමෙන් වර්තමානයට ආදර්ශයක් ලබාගත හැකි ය. මේ වන විටත් ඉතිහාසය විෂයය පාසල්වල ඉගැන්වීම පිළිබඳව කාලීනව පවතින සංවාද අතරට ප්‍රකාශ කළ හැක්කේ ඉතිහාසය මකා දැමීම නොව එය සජීවී මුඛ්‍ය විෂයයක් ලෙස අධ්‍යාපන විෂය ධාරාවට අනිවාර්ය හැදෑරීමක් කිරීමය. පාසල් විෂය මාලාවේ ප්‍රධාන විෂයයක් ලෙස ප්‍රාථමික අධ්‍යාපනයට පවා (පින්තූර අනුසාරයෙන් කුඩා දරුවාට පැහැදිලි කළ හැකි වන සේ) ඉතිහාසය පිළිබඳ දැනුමක් ඇතුළත් කළ යුතුය. පාසල් දරුවාට එය රසවත්ව ගුණාත්මකව ඉගැන්වීමේ කාර්යය කිරීම අනිවාර්ය විය යුතුය. යාවත්කාලීන කරලීම ගුරුවරයා සතු වගකීමකි. දරුවා තුළ රටට දැයට ඇල්මක් ඇති වන අයුරින් ආකල්පමය දියුණුවකට මෙකී විෂයය පථයට ඇතුළත් කළ යුතු බැවින් මේ පිළිබඳ දුරදක්නා නුවණින් කටයුතු කිරීම ප්‍රයෝජනවත්ය.
රටක ජීවත්වන ඕනෑම තරාතිරමක පුද්ගලයකු වුව ද අඩුම තරමින් තම රටේ ඉතිහාසය දැන සිටීම වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මනුෂ්‍යයා තුළින් මානව දයාව, දේශානුරාගය, ප්‍රෞඪත්වය සහ රටේ අභිමානය වැනි සංකල්ප ජනිත කරලීම මගින් එකී මනුෂ්‍යයා තුළ තම රටට දැයට ආදරය සහ ඇල්මක් ජනිත වීමට නම් ඉතිහාසය දැන සිටීම අත්‍යවශ්‍යය. පැරැණි ඉතිහාසයේ බොහෝ දෑ යාවත්කාලීන කරමින් ඒවා තිරසර සංවර්ධනයට දායක කරගැනීමට නම් ඉතිහාසය දැන සිටිය යුතුමය. තමා මෙලොවට බිහි වූ රටේ අභිමානය ඇතිව යහපත් ආකල්ප සපිරි පුරවැසියකු බිහි වීමට තම රටේ ඉතිහාසයවත් දැන සිටිම සාධනීය ලක්ෂණයකි. එසේ නම් ඉතිහාසය අදටත් හෙටටත් අවශ්‍ය කාලෝචිත විෂයයකි.
(***)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉතිහාසය අධ්‍යයනය අවශ්‍යද?