IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාදවිවාද

අද වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රට තුළ විවිධ කතිකා සහ වාද විවාද මතුවී ඇත. මෙහිදී මා නිරීක්ෂණය කළ ප්‍රධාන කරුණක් වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවිධ විවේචන ඉදිරිපත් කරන උගතුන්, වෘත්තීය සමිති නායකයන්, දේශපාලනඥයන් මෙම යෝජිත ප්‍රතිසංස්කරණ ගැඹුරු අධ්‍යයනයකට ලක් නොකර ධනාත්මක මෙන්ම පදනම් විරහිත විවේචන ද ඉදිරිපත් කරන බවය.

ඇතැම් විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්පූර්ණ ලිපි ලේඛන තවමත් නිල වශයෙන් සමාජ ගතකර නොමැති වටපිටාවක මෙම විවේචන සඳහා පදනම සපයන්නේ කුමක්ද යන්න ගැටලු‍වකි.

 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ රෙගුලාසිවලට අනුව අවුරුදු අටකට වතාවක් විෂය නිර්දේශවල සංශෝධනයක් කළ යුතුය. එහෙත් ආණ්ඩු වෙනස්වීම සහ කොවිඩ් අර්බුද හමුවේ මෙය කිරීම අපහසු විය. කෙසේ වෙතත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ප්‍රබල විවේචන ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරළියට එන්නේ මෙවන් පසුබිමකය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ බොහෝ සාධනීය ලක්ෂණ තිබෙන නමුත් මම මෙහි දී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමි.

 

පාසල් පෙළපොත තනි පොතක් ලෙස නොව මොඩියුල් ක්‍රමයට එනම් අවම වශයෙන් කොටස් තුනකට වෙන් කිරීම.

මෙහි එක් අරමුණක් වන්නේ පාසල් බෑගයේ බර අඩු කිරීමයි. මෙහි ඊට වැඩි අධ්‍යාපන විද්‍යාත්මක පදනමක් ඇත. මොඩියුල් ක්‍රමය යටතේ එක් මොඩියුලයක් එක් පාසල් වාරයකට අදාළ වීම යටතේ දරුවා යම් කිසි පාඩම් කිහිපයක් සීමිත කාලයක් තුළ අවසන් කිරීමට නියමිතය. මෙමගින් මතකය අරමුණු කරගත් පෙළපොත් වනපොත් කිරීමේ සම්ප්‍රදායය අවම කරනු ඇත. එමෙන්ම තනි තනිව අධ්‍යයනයට නොව කණ්ඩායම් අධ්‍යයනයට මෙහි දී දරුවන් උනන්දු කරවන අතර ගුරුවරයාගේ මගපෙන්වීම යටතේ පන්ති කාමරය තුළ සාකච්ඡාවක් කර ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් ඉගැන්වීම සිදුවේ.

මා දකින ආකාරයට කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් දරුවා අධ්‍යයනයට පෙළැඹීම යනු හුදු දැනුම ලබා දීමක් නොව දැනුම ගවේෂණයට පෙළැඹවීමකි. එමෙන් ම, දරුවා තුළ කණ්ඩායම් හැගීම නායකත්ව කුසලතා සහ චිත්තවේගීමය බුද්ධිය මගින් වර්ධනය කරයි. තවත් අධ්‍යාපන විද්‍යාත්මක කරුණක් වන්නේ ඇගයීමේ ක්‍රමය විශාල පරිවර්තනයකට යොමු වීමය. අප හුරුවී සිටින්නේ වාර අවසාන විභාග ක්‍රමයකට හෙවත් සම්පිණ්ඩිත ඇගැයීම් ක්‍රමයකටය. මෙය එකම සහ හොඳම ඇගැයීම් ක්‍රමය ලෙස වැරැදි මතයක් ඇත.

අද වනවිට අධ්‍යාපන විද්‍යාව තුළ සම්භවන ඇගැයීම් කෙරෙහි වැඩි අවධානයක් යොමුවී තිබේ. ඊට හේතුව වන්නේ සම්පිණ්ඩිත ඇගයීම් ක්‍රමයෙන් මතකය කෙරෙහි අනවශ්‍ය බරක් තැබීම පමණක් සිදු වීමයි. සම්භවන ඇගැයීම් ක්‍රමය තුළ දරුවා ප්‍රයෝගික දැනුම ගවේශකයකු බවට පත් කරන අතර කණ්ඩායම් සහ සහයෝගී ක්‍රියාකාරකම් හරහා ප්‍රශ්න කිරීම, සාකච්ඡා කිරීම හරහා දරුවා දැනුම අභ්‍යන්තරීකරණය කර ගනී. මෙසේ සොයාගන්නා ලද අවබෝධය, දැනුමට එහා ගිය, ප්‍රායෝගිකව භාවිත කළ හැකි හැකියාවක් ලෙස පරිවර්තනය වේ.

 

විෂය නිර්දේශයට අනිවාර්ය, තෝරා ගතහැකි සහ කුසලතා ලෙස විෂයයන් කාණ්ඩ ගත කිරීම

මෙහිදී මවු භාෂාව, දෙවැනි භාෂාව, ගණිතය, විද්‍යාව, ආගම සහ අගනාකම් අධ්‍යාපනය යන විෂයයන් අනිවාර්ය ගණයට අයත්වේ. තෝරා ගැනීම සඳහා තවත් විෂයයන් රාශියක් එක් කර තිබෙන්නේ වර්තමාන සමාජ ආර්ථික සහ සංස්කෘතික ලෝකයට අනුවර්තනය වීම උදෙසා වේ. ට්‍රාන්ස්වෙර්සල් විෂයයන් මගින් එක විෂයකට සීමා නොවූ, නව අධ්‍යාපන මාර්ග රැසක් හදුන්වා දෙනු ඇත. විචාරශීලි, නිර්මාණාත්මක සහ ප්‍රායොගිකව යොදාගතහැකි දැනුම සහ හැකියාව වර්ධනය මෙහි අරමුණ වේ. අද වනවිට සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවක් වන ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් මෙම වර්ගීකරණය සමග බැඳේ. නව ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය තෝරා ගත හැකි විෂයයක් ලෙස වර්ගීකරණය වීම සමාජය තුළ අනවබෝධයකට හේතු වී ඇත්තේ එය අනිවාර්යය නොවන විෂයයක් ලෙස වැරැදි මතයක් සමාජගත වී ඇති බැවිනි. සැබෑ ලෙසම මෙහි දී සිදුව ඇත්තේ වෙනත් දෙයකි.

අනිවාර්ය කාණ්ඩයේ විෂයයන් පහක් සාමාන්‍ය පෙළ විභාගය සඳහා යොදා ගන්නා අතර, යම් සිසුවකු ඉතිහාසය විෂය හෝ වෙත් ඕනෑම විෂයක් තෝරා ගන්නා විෂයයක් ලෙස අධ්‍යයනය කරන්නේ නම් එය ද සාමාන්‍ය පෙළ විභාගයේ දී ඇගැයීමට ලක්වේ. මීට අමතරව ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් පාසල තුළ 6 සිට 11 ශේණිය දක්වා වැඩිදුර අධ්‍යයන මොඩියුල යටතේ අනිවාර්යය විෂයයක් ලෙස අන්තර්ග්‍රහණය කර ඇත. වෙනසකට ඇත්තේ එය පාසල තුළ සම්භවන ඇගැයීම් ක්‍රමය යටතේ ඇගැයීමට ලක්කිරීම වේ. මෙම ක්‍රමය සදහා හේතු කිහිපයක් ඇත. ප්‍රථමයෙන්ම ඉහත සඳහන් සම්පිණ්ඩිත සහ සම්භවන ඇගැයීම් ක්‍රම පිළිබඳ ඇති අධ්‍යාපන විද්‍යාත්මක දාර්ශනික පදනම අවබෝධ කරගැනීමය. “ඉතිහාසය විෂය සම්භවන ඇගැයීම් ක්‍රමය යටතේ ඇගයීමට ලක්කිරීම වඩා සුදුසු වේ” යන්න අධ්‍යාපනවේදීන්ගේ මතය වී ඇත. දැනට පැවැති ක්‍රමය යටතේ ඉතිහාසය සම්පිණ්ඩිත ඇගැයීම් ක්‍රමයෙන් ඇගැයීමට ලක් කිරීම සිදු කරන නමුත් එහි සාර්ථක බව ගැටලු‍ සහගත වේ.

මම ප්‍රශ්නයක් අසමි. ‘‘ඔබ පාසලෙන් ඉගෙනගත් ඉතිහාසය දැන් ඔබේ මතකයේ තිබේද?”‍. උත්තරය කෙසේ වෙතත් ඉගෙනගත් දෙයින් සියයට 90ක් ඔබට අමතක බව මම තර්ක කරමි. එසේ වන්නේ සම්පිණ්ඩිත ඇගයීම් ක්‍රමය මතකය මත රඳවා පැවැතීම වේ. ඉතිහාසය අවශ්‍ය වන්නේ කුමකටද? වර්තමානයට සහ අනාගතයට සාර්ථකව මුහුණ දීම සඳහා දරුවන් තම රටේ ඉතිහාසය විශ්ලේෂණාත්මකව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර, එසේ නොමැති වුවහොත් සංස්කෘතිය සහ සමාජ දේශපාලනික අර්බුද විකාශනය වී ඇති ආකාරය නොදන්නා දරුවෝ බිහිවෙති. එහෙත් ඉතිහාසය හුදෙක් මතක තබා ගන්නා විෂයයක් නොවිය යුතුය.

මෙවැනිම තර්කයක් සෞන්දර්ය විෂයය පිළිබඳව ද මතුවී තිබේ. සෞන්දර්යය විෂයය පාසල් අධ්‍යාපයට අවශ්‍ය වන්නේ කුමකටද? දරුවන් තුළ විවිධ කලාව පිළිබඳ කැමැත්ත, අගය කිරීම සංවේදි බව, වින්දනීය හැකියව උද්දීපනය කිරීම සහ චිත්තවේගී බුද්ධිය ඇති කිරීමය. එහෙත් අපි සත්‍ය කතා කරන්න කැමැති නම් සෞන්දර්යය අධ්‍යාපනය අද තල්ලු‍වී ඇත්තේ කෙබඳු දිශාවකට ද යන්න සොයා බලමු. මගේම දරුවන් සඳහා යම්කිසි සංගීත භාණ්ඩයක් හුරු කිරීමට මට අවශ්‍ය වුණි. එහෙත් පාසලේ මෙන්ම බාහිර පන්තිවල දී වැඩි අවධානයක් යොමුවන්නේ සෞන්දර්යය විෂයය සඳහා සාමාර්ථයක් ගන්නේ කෙසේද යන්න සඳහාය. නැවතත් දරුවන් වනපොත් කිරීමට පෙළැඹවීම හෝ දරුවන්ගේ මානසික හා චිත්තවේගීමය වින්දනය වෙනුවට මානසික ආතතිය වර්ධනය කිරීම අපගේ අරමුණද? මේ පිළිබඳ බුද්ධිමය වාද විවාද කිරීමේ වරදක් නැත. එහෙත් මෙය හුදෙක් දේශපාලනික කාරණාවක් ලෙස හුවා දැක්වීම අපේ දරු පරම්පරාවට කරන අපරාධයක් නොවේද?

 

විෂයය අන්තර්ගතයේ බර අවම කිරීම

සියලු‍ම විෂයයන් තුළ ඇති ප්‍රධාන ගැටලු‍වක් වන්නේ අන්තර්ගතයේ ඇති අධික බරවේ. උදාහරණයක් වශයෙන් භාෂා විෂයයන් පළමුවැනි වසරේ සිට ඉගැන්වෙන නමුත් දරුවන්නේ ඉංග්‍රීසි සහ දෙවැනි භාෂාව කතා කිරීමේ හා ලිවීමේ හැකියාව ඉතා සීමිත මට්ටමක පවතී. මෙයට හේතු ගණනාවක් ඇතිමුත් අන්තර්ගතයේ බර වැඩිවීම එක් හේතුවකි. ඕනෑම විෂයයක අන්තර්ගතයේ බර වැඩිවීම නිසා සිදුවන්නේ දරුවන් එම විෂයය පිළිබද දක්වන කැමැත්ත වැඩිවීමකට වඩා එය මානසික බරක් වශයෙන් සැලකීමය. ඒ නිසා විභාගය අවසන් කර එම විෂය මකතයෙන් අතුගා දැමීමටය. මෙම ගැටලු‍ව බොහෝ විෂයයන් සඳහා බලපා ඇත. ඉතිහාසය ඉගෙන ගන්නා සියලු‍ම දරුවෝ ඉතිහාසඥයන් හෝ විද්‍යාව ඉගෙන ගන්නා සියලු‍ම සිසුන් විද්‍යාඥයන් බවට පත් නොවෙති. සාමාන්‍ය අධ්‍යාපනය තුළ අවශ්‍ය වන්නේ මූලික හරය පමණක් ලබාදීම සහ යම් විෂයයක් පිළිබඳ ළැදියාවක් තිබෙන සිසුන්ට එම විෂයය වැඩිදුර ඉගෙන ගැනීම සඳහා පහසුකම් සැලසීම වේ. අන්තර්ගතයේ බර වැඩිවීම නිසා දරුවන් පීඩාවට පත්වීම අවම කළ යුතුමය.

 

මුලික කුලු‍නු හඳුනා ගැනීම.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂයය නිර්දේශ ප්‍රතිසංස්කරණ ඉක්මවා යන පුළුල් ක්‍රියාවලියකි. විෂයය නිර්දේශ ප්‍රතිසංස්කරණ මෙහි එක් කුලු‍නක් පමණක් වන අතර අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විෂම සම්පත් බෙදීයාම, ගුරු පුහුණුව, වෘත්තීයභාවය සහ වැටුප්තල, බදවා ගැනීමේ පටිපාටිය, අධ්‍යාපන යටිතල පහසුකම් ආදී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම පන්ති කාමරයක් සඳහා සිසුන් සංඛ්‍යාව 30 කට සීමා කිරීම, කෙටි දුරකින් යා හැකි ගුණාත්මක ප්‍රාථමික පාසලක් නිර්මාණය කිරීම, නාගරික පාසල් සඳහා ගුරුවරුන් ඒකරාශී වීම හරහා ග්‍රාමීය පාසල් උග්‍ර ගුරු හිඟයකට මුහුණ දීම අවම කිරීමට පියවර යෝජනා කිරීම සාධනිය ලක්ෂණ වේ. කෙසේ වෙතත් මෙවැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පහසුවෙන් කළ නොහැකිය. විශාල අඩුපාඩු, අසමානතා සහ ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා අනිවාර්යයෙන් තිබෙනු ඇත. විශේෂයෙන්ම අධ්‍යාපන යටිතල පහසුකම් ඉතා අසමාන ලෙස බෙදීගොස් තිබීම බරපතළ කරුණකි. ඉදිරි වසර 10 පමණ කාලය තුළ පවතින සහ අනාගත රජයන් මෙම අසමානතා අවම කිරීමට සම්පත් යෙදවීම අත්‍යවශ්‍ය කරුණකි.

දක්ෂ ගුරුවරුන් ආකර්ෂණය සඳහා ආකර්ෂණීය වැටුප්තල අනිවාර්යයෙන්ම අවශ්‍ය වනු ඇත. වෙනත් රැකියාවක් නොමැති නිසා ගුරු වෘත්තීය තෝරා ගැනීම වෙනුවට, එහි ඇති ආකර්ෂණය මත උසස් පෙළින් දක්ෂ සිසුන් ආකර්ෂණය කර ගැනීම මෙන්ම ග්‍රාමීය දුෂ්කර සහ අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන් එම පාසල්වල රඳවා ගැනීම සඳහා විශේෂ දීමනා හෝ වෙනත් ක්‍රම යොදා ගැනීම අවශ්‍ය වනු ඇත. දැනට පවතින ජාතික සහ පළාත් බෙදීම ඉවත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සංශෝධනය කිරීම පවා අවශ්‍ය වේ.

තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් තාක්ෂණික විෂයය ධාරාව යටතේ විෂයයන් හඳුන්වා දීමට වැදගත් දායකත්වයක් ලබා දී ඇත. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ තාක්ෂණික රැකියා අභිමුඛ වූ විෂයධාරා හඳුන්වා දීමට උත්සාහ කිරීම වෙසෙසින්ම අගය කළ යුතු කරුණකි.

අධ්‍යාපනය අපේ අයිතියකි. එබැවින් නව ප්‍රතිපත්තීන් සාකච්ඡාකට බදුන්වීම ඉතා අගනේය. එහෙත් මෙහිදී ආත්මාර්ථය වෙනුවට රටේ පොදු යහපත අරබයා විචාරශීලි විවේචන අගය කළ යුතුය. සියලු‍ම පාර්ශ්ව නම්‍යශීලි වීම ද අවශ්‍ය වේ. කෙසේ වෙතත් සියලු‍ පාර්ශ්ව සතුටු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිදා ප්‍රයෝගික නොවේ. වර්තමාන රජයට ජනතාව තුනෙන් දෙකේ බලයක් දී ඇත්තේ රට වෙනුවෙන් ශක්තිමත් තීරණ ගැනීම සඳහාය. විශේෂඥ උපදේශ මත නිවැරැදි තීරණ ගෙන ජනවරමේ බලය යොදාගෙන විවේචන මධ්‍යයේ වුවත් නිවැරැදි දේ නිවැරැදි වෙලාවට කිරීමට රජය පසුබට නොවනු ඇති බව මගේ බලාපොරොත්තුව වේ.

 

(***)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය,

ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ සභාවේ සාමාජික

ධම්මික හේරත්

 



අදහස් (0)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාදවිවාද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 134 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site