IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක

රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය හෝ අනාගත නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට ඍජුවම උපකාරි වන ධනය නොවේ. එහෙත්, එය ජනතාවගේ සුබසාධනය හිටිහැටියේ වර්ධනය වීමට දායක වන්නක් ද නොවේ. එහෙත්, නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය යන සියලුම ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගැනීමේ පෙර කොන්දේසියක් ලෙස ජාතික ආරක්ෂාව තිබීම වැදගත්ය.

රටක නිෂ්පාදනය, පරිභෝජනය කරනු ලබන්නේ රටේ සීමාව තුළ වෙසෙන ජනතාව විසින් නම්, පරිභෝජන සිදුවන්නේ ආර්ථිකය තුළ විය හැකිය. නිෂ්පාදනයේ කොටසක් අපනයනය කරනු ලබන්නේ නම්, රටේ සීමාවෙන් පිටත ජනයා පරිභෝජනය කරනවා විය හැකිය. එසේ වීමට නම්, මෙම සියලු ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට ජනතාවට හිතකර පරිසරයක් තිබිය යුතුය. එම නිසා ජාතික ආරක්ෂාව පිණිස භාවිත කළ මුදල් අපතේ යාමක් සිදු නොවේ. ඒ අතරම රටකට අවශ්‍ය අතිරික්තය නිෂ්පාදනය කිරීමෙන් ඊට ආර්ථික වර්ධනයක් ද හිමි වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය හා ජාතික ආරක්ෂාව එකිනෙකට අනුපූරකභාවයට පත් වේ. වර්ධනයක් නොමැතිව ජාතික ආරක්ෂාවක් තිබිය නොහැකිය. ජාතික ආරක්ෂාවක් නැතිව ආර්ථික වර්ධනයක් ද අත් කරගත නොහැකිය. එම නිසා තම දේශ සීමා ආරක්ෂා කරගැනීමට වෙර දරන ජාතිකයෝ අනිවාර්යයෙන්ම ඉහළ ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට ද වෙර දරති.

 

ආරක්ෂාව: අවදානම දුරු වීම

ආර්ථික විද්‍යාවේදී ආරක්ෂාව යන්නේ විශේෂ අරුතක් ඇත. ආරක්ෂාව තුළ අවදානම පහව යයි. නැතහොත් අවදානම අවම වෙයි. ඒ සමගම අනාගත කටයුතු පුරෝකථනය කළ හැකි බව ද ඉහළ යයි. අප අයත් වන හෝමෝ සේපියන්ස් නම් මිනිස් වර්ගයා, සාමාන්‍යයෙන් අවදානම අප්‍රිය කරති. අවදානම ඔස්සේ අවිනිශ්චිතතාව ගෙන එන අතර, අවිනිශ්චිතභාවය අපගේ සුබසාදනයට හානි පමුණුවයි. එම නිසා අවසර ලැබුණ විටකදී හොමෝ සේපියන්වරු අවදානමක් නොමැති වාතාවරණයක් තෝරා ගනිති. අවදානම මගහැරිය නොහැකි නම් එය අවම තරමින් පවත්වා ගනිති. මිනිසුන් මුළුමනින්ම ආරක්ෂා සහිත වූ විට නිශ්චිත බවේ ඉහළම මට්ටමෙන් ඔවුන්ට අනාගත කටයුතු පුරෝකථනය කරගත හැකිය.

උදාහරණයකට, යම් රටකට අසල්වැසියන් සිටියේ යයි සිතමු. එම රට සමග පවතින සම්බන්ධතා මිත්‍රශීලී නම්, එම දෙරටේම පුරවැසියන්ට තම දෛනික කාර්යයන්, තම ජීවිත හෝ දේපළ හානියක් වෙතැයි බියකින් පෙළෙන්නේ නැතිව කරගෙන යා හැකිය. ආරක්ෂාව සම්බන්ධ ආර්ථික අරුත වන්නේ එයයි. එය යමකුගේ සුබසාධනයට එක් වන නිසා ඔහු හෝ ඇය හෝ එය ලබාගැනීමට යම් ගෙවීමක් කිරීමට කැමැති වේ. මහජන යහපත උදෙසා බද්දකට දායක වන ආකාරයෙන් යම් ප්‍රජාවක් විසින් මුදල් වැය කොට ආරක්ෂාව සම්පාදනය කළ යුත්තේ ඒ නිසාය.

 

ගනුදෙනු පිරිවැය ඉහළ යාම

නූතන ආර්ථිකයන්හිදී අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම පිණිස අන්‍යයන්ගෙන් යෙදවුම් මිලදී ගනිති. එසේ නැතහොත් ඔවුහු නිපදවන අතිරික්තය අන්‍යයන්ට විකුණති. එවිට තමන් විසින් නිපදවනු නොලබන දේ අන්‍යයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබේ. මෙම ක්‍රියාදාමය ගනුදෙනු පවත්වාගැනීම යනුවෙන් හැඳින්වේ. උදාහරණයකට, යමෙක් තව කෙනකු උදෙසා වැඩ කරන විට ඔහු තම ශ්‍රමය, වැටුපකට විකුණමින් ගනුදෙනුව පවත්වාගෙන යයි. ඒ ආකාරයටම යම් කෙනකු පාන් ගෙඩියක් මිලදී ගන්නා විට ඔහු පාන් වෙළෙන්දා සමග ගනුදෙනුව පවත්වාගෙන යයි. එම නිසා නවීන ආර්ථිකය පදනම් වී ඇත්තේ ගනුදෙනු මතයි. එසේම, එම ගනුදෙනු අවම වියදමකින් පවත්වා ගනිමින් ඒවා පහසු කරගත යුතුය. ආරක්ෂාව නොමැති විටකදී මෙම ගනුදෙනු බොහෝ කාලය වැය වන අවදානම් සහගත, වඩා වියදම්කාරී බවට පත්වී ඒවාට බාධා එල්ල වෙයි.

උදාහරණයකට, යුක්රේනයේ හෝ ගාසා තීරයේ වෙසෙන ජාතික ආරක්ෂාව බොහෝ සෙයින් අහිමි ජනතාව ගනුදෙනු පවත්වාගෙන යන්නේ අනාරක්ෂිත තත්වයක් යටතේය. පැරිසියේ හෝ ලන්ඩනයේ වැසියන් ගනුදෙනු පවත්වාගෙන යන ආකාරය සමග ඔවුන් ගනුදෙනු පවත්වාගෙන යන ආකාරය සසඳා බැලූ විට ඒවා සමාන වන්නේ නැත. ගාසා තීරයේ හෝ යුක්රේනයේ ගනුදෙනු පවත්වාගෙන යාම වඩා අසීරුය. ඊට වැය වන කාලය වැඩිය. අවාදනම අතින් ද වැඩිය. එම නිසා එවිට ඊට වියදමක් එක්වේ. එය වඩාත් මිලෙන් වැඩි බවට පත්වේ. කාලය වැඩියෙන් වැය කිරීමෙන් හෝ දැඩි අසීරුතා විඳීමෙන් හෝ මෙසේ වැය කරනු ලබන අමතර පිරිවැය, ඊට එක්වන පුද්ගලයා විසින් කරනු ලබන කැප කිරීමක් වන අතර ආර්ථිකය තුළ කිසිවකු එයින් ලබන ප්‍රතිලාභයක් නැත. යම් සමාජයක් එහි හිඟව ඇති සම්පත් ලබා ගැනීමට අනවශ්‍ය ලෙස කැපකිරීමක් කළ යුතු නැත. එම නිසා ජාතික ආරක්ෂාවේ කාර්යභාරය විය යුත්තේ මෙකී නිරපරාදේ අපතේ යන පාඩුව ශුන්‍ය (බිංදුව) මට්ටමේ තබා ගැනීමය. එසේ කළ නොහැකි නම් එය ඉතාමත් සුළු මට්ටමේ තබාගත යුතුය.

 

වෙළෙඳපොළ සම්බන්ධිකාරක

නවීන ආර්ථික විද්‍යාවේ යාන්ත්‍රණ තුනකි. සහභාගි වන ජනයා අතර තරගකාරිත්වය පවත්වාගැනීම ඉන් එකකි. තවෙකක් වන්නේ, මිනිසුන් සංවිධාන කරනු ලබන වෙළෙඳපොළ යාන්ත්‍රණයයි. තුන්වැන්න, නීතිමය පාලනයට අවනත වීමයි. එවිට රජයෙන් සියලුම ජනතාවට සමානව සැලකුම් ලැබිය හැකි වන අතර කිසිවකුට විශේෂ සැලකිල්ලක් නොලැබේ. ජාතික ආරක්ෂාව අවශ්‍ය වන්නේ මේ තුන් වැදෑරුම් අවශ්‍යතා තහවුරු කොට පවත්වාගෙන යෑමටයි.

 

තරගකාරි ක්‍රමය

තරගකාරිත්වය විසින් වෙළෙඳපොළවල් එකිනෙක හා ඒකාබද්ධ කෙරේ. එවිට අනවශ්‍ය වියදම් ඉවත් කොට ඒවා වඩා කාර්යක්ෂම කෙරේ. ඒ මගින් ගනුදෙනු පිරිවැය අඩු කෙරේ. ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගැනීමේ අවදානම ඉවත් කිරීමට හෝ අවම කිරීමට මෙම වර්ධනයන් තුන අවශ්‍ය වේ. මේ ආකාරයටම රාජ්‍ය නීතිමය පාලනය පවත්වාගනිමින් ඒ ගැන සොයා බලන්නට අසමත් වන විට වෙළෙඳපොළවල්වල ඒකාබද්ධභාවය දෙදරා යමින් ඒවා බිඳ වැටෙන්නට පටන්ගැනේ. බිඳ වැටුණු වෙළෙඳපොළ මෙසේ අප කලින් විස්තර කළ ආකාරයට ආර්ථික වර්ධනය අත්හිටුවාලමින් ජාතික ආරක්ෂාව අඩු කරනු ලබයි. එම නිසා ජාතික ආරක්ෂාව උදෙසා වැය කරන සම්පත් අපතේ යැවීමක් සිදු නොවන අතර සියලුම අත්‍යවශ්‍ය ආර්ථික ක්‍රියාකාරකම් සුමට ලෙස මෙහෙයවීම තහවුරු කොට පවත්වාගෙන යාමට එය වැය කළ යුතු අත්‍යවශ්‍ය පිරිවැයක් වෙයි. එම නිසා කිසිම රටක් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පත් ආරක්ෂා කිරීමේ ස්ථාවරයට එළැඹිය යුතු නොවේ. එසේ කළහොත් සියලුම ආර්ථික පෙරමුණුවලදී ජාතිය විසින් උපයාගත් සියල්ල කැප කිරීමට සිදු වේ.

 

ආර්ථික අභියෝග

ශ්‍රී ලංකාව වර්තමානයේදී තීරණාත්මක තේරීමක් අභිමුවේ සිටින්නේ, නිදහසින් පසු ඉතිහාසයේ බලපෑ දරුණුතම ආර්ථික අර්බුදය මෙය බැවිනි. 2020න් පසු වසරින් වසර රටේ ආර්ථික වර්ධනය ඍණාත්මක කලාපය වෙත ගිලා බසිමින් පිරිහීමට ලක්වෙමින් පවතී. දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රමාණයෙන් මැන බලන රටේ ආර්ථිකය 2018 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 95ක් විය. 2019 දී එය ඇ.ඩො.බි. 89ට අඩු විය. 2020 දී ඇ.ඩො.බි. 84ට පහත වැටිණි. 2021 දී නැවත ඇ.ඩො.බි. 89ට වැඩි වුණමුත්, 2022 දී නැවත ඇ.ඩො.බි. 77ට ඇද වැටිණි. 2023 දී නැවත ඇ.ඩො.බි. 84 දක්වා ඉහළ නැගිණි. මේ ආකාරයට ශ්‍රී ලංකාව වසරින් වසර දරිද්‍රතාවට ඇද වැටුණි.

මෙම දරුණු තත්වයෙන් ආර්ථිකය හෙමිහිට යථා තත්වයට පත්වෙමින් තිබෙනමුත්, එය තවමත් අවදානම් සහගතභාවයෙන් මිදී නොමැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කර ඇති පුරෝකථනයට අනුව ආර්ථිකය 2018 වසරේ තිබුණ තත්වයට නැවත පත් වන්නේ 2027 දීය. එම කාල පරිච්ඡේදයේ වාර්ෂික ආර්ථික වර්ධනය පවතිනු ඇත්තේ සියයට 2-3ක තරම් පහත මට්ටමකයි. එය යම් රටකට ආඩම්බර විය හැකි ජයග්‍රාහි තත්වයක් නොවේ. නිදහසින් පසු අවධියේ වාර්ෂික සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය සියයට 4ක් විය. එය විශේෂ යමක් නොකර රටට ලබාගත හැකි වර්ධන අනුපාතයකි. මගේ අදහසේ හැටියට එකී මට්ටමෙන් පහත පවතින ඕනෑම වාර්ෂික වර්ධන වේගයක් ඍණාත්මක ආර්ථික වර්ධන වේගයකි.

එම නිසා ශ්‍රී ලංකාව එහි ස්වාභාවික ආර්ථික වර්ධන වේගය වූ සියයට 4ට වඩා ඉහළ ආර්ථික වර්ධන වේගයක් කරා තල්ලු කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ සඳහා රට වෙනස් මාර්ගයක ආර්ථික උපායමාර්ග අනුගමනය කළ යුතුය.

 

ජීවන වියදම

උද්ධමන අනුපාතය 2022 සැප්තැම්බරයේදී සියයට 70ක තිබී 2024 අප්‍රේල් වන විට සියයට 1.5 දක්වා පහත වැටිණි. එහෙත්, මෙය සතුටු විය හැකි කාරණයක් නොවේ. උද්ධමන අනුපාතය, මහ බැංකුවට එහි මූල්‍ය ප්‍රතිපත්තියේ සාර්ථක හෝ අසාර්ථකභාවය ඇගයුම් කිරීමට ප්‍රයෝජනවත් වේ. කෙසේ වුව ද මහජනයාට නම් එයින් ජීවන වියදම යන්න ඇඟවේ. 2021 ජනවාරියේදී රටේ නිල මිල දර්ශක පෙළෙහි පදනම නැවත සකස් කළ විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 3.8 දෙනකුගෙන් යුක්ත පවුලකට, භාණ්ඩ හා සේවා එකතුව සඳහා වැය වන මුදල රුපියල් 91,880කි. එම වියදම 2024 අප්‍රේල් වන විට රුපියල් 179,350 දක්වා සියයට 95කින් හිටි හැටියේ ඉහළ නැග්ගේය. ඒ අනුව උද්ධමන අනුපාතයේ පහත වැටීමක් සිදු වුව ද ජනතාවගේ ජීවන වියදම ඉහළ මට්ටමක පැවැතිණි. එය ජාතික ආරක්ෂාවට තර්ජනයකි.

 

ඕලන්ද රෝගය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීමෙන් අනතුරුව රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රවාහය හේතුවෙන් විදේශ විනිමය හුවමාරු අනුපාතය 2022 අග භාගයේ ඩොලරයට රුපියල් 370ක්ව තිබී 2024 මැයි මස මුල වන විට ඩොලරයට රුපියල් 300 දක්වා අගයෙන් වැඩි වූයේය. මෙය ආනයන කටයුතුවලට සහ පිටරටින් සේවා මිලදී ගැනීම සඳහා විදේශ විනිමය භාවිත කිරීමට සැලසුම් කරන්නවුන්ට සහනයක් විය.

කෙසේ වුව ද කාසියේ අනෙක් පැත්ත වන්නේ, අපනයනකරුවන්ට සහ විදේශිකයන්ට සේවා සපයන්නවුන්ට, විදේශ විනිමය හුවමාරු අනුපාතිකය ඉහළ යාම නිසා ඔවුන්ගේ නිෂ්පාදන වියදම් අඩු නොවූයේ නම් එය වියදම වැඩි වීමක් සේ දැනෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එයින් සාම්ප්‍රදායික අපනයන අංශය විතැන් වනු ඇත. එය ඕලිaන්ද රෝගය (Dutch Disease) යනුවෙන් හැඳින්වේ. නෙදර්ලන්තය උතුරු මුහුදේ තෙල් සහ ගෑස් නිධි සොයා ගැනීමෙන් අනතුරුව එම අත්දැකීම් ලැබූ නිසා ඊට ඒ නම භාවිත විය. මෙය ශ්‍රී ලංකාවට බැරෑරුම් ගැටලුවක් වන්නේ, එය මෙරට සම්ප්‍රදායික අපනයනයන් වූ තේ, රබර්, පොල් සහ ඇඟලුම්වල වර්ධනයට තර්ජනයක් වන නිසාය. ඒ ආකාරයට ආනයනකරුවන්ට ප්‍රතිලාභ ලැබෙන විට, විනිමය හුවමාරු අනුපාතිකය සැලසුම් කිරීම හරිහැටි කළමනාකරණය කර නොමැති නම්, ආර්ථිකයට පාඩු සිදු වනු ඇත.

 

2048 දී සංවර්ධිත රටක්

මෙම තීරණාත්මක ගැටලුවෙන් ගොඩ එන්නට නම්, ශ්‍රී ලංකාව කළ යුත්තේ රට වේගයෙන් වර්ධනය කරා යන මාවතේ තැබීමය. මෙය සැබැවින්ම වෙනස් මාර්ගයක ආර්ථික ක්‍රියාවකි. ශ්‍රී ලංකාව මෙම සෙල්ලමට අවතීර්ණ වී ඇත්තේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා සියවස සමරන විට, එනම්, 2048 රට සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අරමුණ ප්‍රකාශයට පත් කරමිනි.

මෙය 2047 වන විට, බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා සියවස සැමරීමේදී ඉන්දියාව පොහොසත් රටක් බවට පත් කිරීමේ අරමුණ සමග සමාන්තරව යන්නකි. ඉන්දියාවට දේශපාලන ශක්තියත්, තාක්ෂණික බලයත්, එසේ කිරීමට සම්පත් පදනමත් තිබෙන බැවින් ශ්‍රී ලංකාවට මෙම අරමුණ කරා යාම සඳහා ඉන්දියාව යන එම රථයටම පැන ගැනීම වාසිදායකය. ශ්‍රී ලංකාව එසේ කිරීමට තනිව සැලසුම් කරන්නේ නම්, එය අසීරු අභියෝගාත්මක කර්තව්‍යයක් වනු ඇත.

 

සියයට 7.8ක වාර්ෂික වර්ධන වේගය

රටවල් ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කරගෙන පහළ ආදායම්, පහළ මැද ආදායම්, ඉහළ මැද ආදායම් හා ඉහළ ආදායම් ලබන රටවල් යනුවෙන් සංවර්ධනය පිළිබඳ විවිධ තත්වයන්ට ලෝක බැංකුව විසින් ශ්‍රේණිගත කරනු ලබයි.

වර්තමානයේ ඉහළ ආදායම් රටක කඩඉම් සීමාව වන්නේ ඩොලර් 13,845ය. මෙය ඇමෙරිකාවේ දේශීය උද්ධමනය සැලකිල්ලට ගෙන වාර්ෂිකව ඉහළ දමනු ලබයි. පසුගිය දශකය තුළ එයට වාර්ෂිකව සංශෝධනය කෙරුණේ සියයට 10කිනි. එම නිර්ණායකයම ඊළඟ වසර 25ට භාවිත කරන්නේ නම්, 2048 වන විට ඉහළ ආදායම් ලබන රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 17,000ක් පමණ වේ. වර්තමාන ජනගහන ප්‍රකෂේපණ දත්ත අනුව 2048 දී ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 හා 25 අතර පවතිනු ඇත. එම නිසා 2048 දී ශ්‍රී ලංකාව ධනවත් රටක් වීමට නම් දළ ජාතික ආදායම ඩොලර් බිලියන 374 සහ 425ත් අතර පැවතිය යුතුය.

වර්තමාන දළ ජාතික ආදායමේ ප්‍රක්ෂේපණය අනුව 2027 දී දළ ජාතික ආදායම ඩොලර් බිලියන 94ක් පමණ වේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක වර්ගීකරණ මට්ටමට ළඟා වීමට නම් 2027 සහ 2048 අතර කාලයේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 7-8 මට්ටමේ පවත්වාගැනීම අවශ්‍ය වේ. රටේ සාමාන්‍ය වර්ධන වේගය නිදහසින් පසු අවධියේ සියයට 4ක පමණ පැවැති නිසා මෙය බලවත් අභියෝගයකි. එය මීළඟ වසර 25 ඇතුළත දෙගුණ කිරීමට නම්, විශේෂ උපායමාර්ග ඒ සඳහා උපයෝගි කරගත යුතුය.

 

ඉන්දියාව සමග එකට එකතු වීම

මෙම කාලපරිච්ඡේදය ඇතුළතම ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීමේ දැක්මක් ඇති ඉන්දියාව සමග ශ්‍රී ලංකාව පළමුවෙන්ම එක් විය යුතුය. සහයෝගිතාවෙන් බැඳුණු මෙම ක්‍රියාවේදී ඉන්දියාව දෙස බැලිය යුත්තේ තරගකරුවකු ලෙස නොව සංවර්ධනයේ හවුල්කරුවකු ලෙසයි. එහි වර්තමාන ඩොලර් ට්‍රිලියන 3කින් යුතු ආර්ථිකය සියයට 8-9ක වාර්ෂික වර්ධන වේගයක් පවත්වාගනිමින් 2047 වන විට ඩොලර් ට්‍රිලියන 29 බවට ඉහළ දැමීමේ ඉලක්කයක් ඉන්දියාව හඹා යයි. මෙම ඉහළ වර්ධන අනුපාතය පවත්වාගනිමින් එම ඉලක්කය කරා යෑමේ හැකියාවෙන් යුක්ත දේශපාලන, තාක්ෂණික, පරිපාලන හා මූල්‍ය ධාරිතාවක් ඉන්දියාවට ඇත. එම නිසා වෙළෙඳපොළට පිවිසීමේ විභවතාවයෙන් යුතු වේගයෙන් වර්ධනය වන ඉන්දියාවේ මැද පන්තියෙන් අතුරු පල දොවා ගැනීම ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇත. වර්තමාන ප්‍රක්ෂේපණ අනුව 2030 වන විට මැද පන්තිය මිලියන 715 දක්වාත්, 2047 වන විට තවදුරටත් මිලියන 1000 දක්වාත් වර්ධනය වීමට නියමිතය. මෙම වෙළෙඳපොළ වෙත ඉන්දියාව සමග අවබෝධාත්මක ආර්ථික සහයෝගිතා ඔස්සේ ප්‍රවේශ විය හැකිය. මේ වන විට ඉන්දියාව බොහෝ සංවර්ධිත රටවල් සමග එවැනි ගිවිසුම් අත්සන් කර තිබේ.

 

ගෝලීය වෙළෙඳපොළ හා ඒකාබද්ධ වීම

දෙවැනිව ශ්‍රී ලංකාව යෙදවුමක් දෙකක් නිෂ්පාදනය කොට ඒවා අවසාන වශයෙන් එකලස් කරනු ලබන කර්මාන්තශාලා ඇති සෑම ස්ථානයක් වෙත සමීප කිරීමෙන් ගෝලීය නිෂ්පාදන පද්ධතිය හා බාධාවකින් තොරව ඒකාබද්ධ විය යුතුය. ලෝකය පැතැලි වී යයි කියමින් දැනට අවුරුදු 20කට පමණ පෙර තෝමස් ෆ්‍රයිඩ්මන් (Thomas Friedman) උපදෙස් දුන් යුගය දැන් අභාවයට ගොස් ඇත. ඔහු මෙම පොත ලීවේ ගෝලීයකරණ ක්‍රියාදාමය මුදුන්පත් වී ප්‍රධාන නිෂ්පාදකයන් මිල අඩු ශ්‍රමය සහිත රටවල් සොයමින් තම කම්හල් දමා එතෙර යද්දීය. එහෙත්, අද රටවල්වලට උනන්දුව මත සියලුම වර්ගයේ ආරක්ෂිත පියවර හඳුන්වා දී තිබේ. අද වන විට ලෝකය පැතැලි නැත. එය ගෝලාකාර ද නැත. එය දැන් වක ගැසුණු හැඩයෙන් යුක්තය.

අද දවසේ ලෝකයේ කම්හල් ස්ථානගත වීමේ මාදිලිය වන්නේ ඒවා මව් රටවල ස්ථානගත වීමයි. එය මෙතෙර ස්ථානගත වීමට නම් ඊට සමීප රටවල් Near Shoring යනුවෙන් හැඳින්වේ. මිත්‍ර රටවල් Friend Shoring යනුවෙන් හැඳින්වේ. 2048 දී සංවර්ධිත රටක් බවට පත්වීමට නම් ශ්‍රී ලංකාව එකී වෙළෙඳපොළවල් වෙත නිෂ්පාදනය කළ යුතුය. එසේ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ නිෂ්පාදිතයන්ට පරිමානානුකූල ඵල ලබා ගැනීමට උචිත විශාලත්වයෙන් යුක්ත නොවීම නිසාය.

උදාහරණයකට, තේ කර්මාන්තය ගනිමු. තේ කර්මාන්තයෙන් වාර්ෂිකව තේ කිලෝ ග්‍රෑම් මිලියන 330ක් පමණ නිපදවෙනමුත්, දේශීය ජනගහනයේ ඒක පුද්ගල වාර්ෂික පරිභෝජනය කිලෝ ග්‍රෑම් 1.5ක් බැවින් එයින් අවශෝෂණය කරනුයේ කිලෝග්‍රෑම් මිලියන 30ක් පමණි. ශ්‍රී ලාංකිකයන් සිය තේ පරිභෝජනය දෙගුණ කළත් ඔවුන්ට අවශෝෂණය කරගත හැක්කේ තේ කිලෝ ග්‍රෑම් මිලියන 60ක් පමණකි. එවිට කිලෝ ග්‍රෑම් මිලියන 270ක අතිරික්තයක් ඇති වේ. එය අනිවාර්යයෙන්ම අපනයනය කළ යුතුය. එබැවින් රට තුළ ආයෝජනය කිරීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන් ජාල රටාව බෙදා හදාගෙන ගෝලීය නිෂ්පාදනයට දායක වීමට දිරිමත් කළ යුතුය.

 

කර්මාන්ත 4.0 - තුන්වෙනුව

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරා යන ගමනේදී එහි ගැලවීම රැඳී ඇත්තේ අධිතාක්ෂණික නිෂ්පාදනයන් මතය. ලෝකය සිවු වැනි කාර්මික විප්ලවය කරා නැතහොත් කර්මාන්ත 4.0 කරා එළැඹ සිටින අතර, එය වේගයෙන් පස්වැනි කාර්මික විප්ලවය කරා හෙවත් 5.0 කර්මාන්ත කරා එළැඹෙමින් සිටී. ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ දෙවැනි කාර්මික විප්ලව අවධියේ හෙවත් 2.0 කර්මාන්ත අවධියේය. එහිදී නිෂ්පාදන කර්මාන්ත සිදු වන්නේ මූලික වශයෙන් විදුලි බලය උපයෝගි කරගත් යන්ත්‍ර මගිනි. එම නිසා ශ්‍රී ලංකාව තුන්වැනි කාර්මික විප්ලවය හෙවත් 3.0 කර්මාන්ත කරා යා යුතුය. එසේ නැතහොත් 4.0 කර්මාන්ත කරා ඊළඟ අවධියට යෑමට පෙර පිම්මක් පැනිය යුතුය. සියලුම නිෂ්පාදන ක්‍රමයන් ගෝලීය මට්ටමට අවතීර්ණ විය යුතුය.

 

ඵලදායිතා වර්ධනය

සිවු වැනිව ශ්‍රී ලංකාවට තරගකාරී නිමැයුම්කරුවන් හා සාර්ථකව තරග කිරීමට නම්, ආර්ථිකයේ ඵලදායිතාව වර්ධනය කරගත යුතුය. ඵලදායිතාවේ වර්ධනය ඔස්සේ පිරිවැය අඩු කරන අතර, ගෝලීය වෙළෙඳපොළේ මිල ගණන් හා තරග කළ හැකි වඩාත් හොඳ තැනක් කරා රට ගෙන එයි. අද පටන් බලයට එන සෑම රජයක්ම ඊට ප්‍රමුඛතාව දිය යුතුය. ඵලදායිතාව වර්ධනය වීමකින් තොරව කෘෂිකර්ම, කාර්මික හෝ සේවා රටක නිෂ්පාදන ක්‍රමය ගෝලීය ක්‍රමයෙන් විතැන් වනු ඇත. මන්දයත්, ගෝලීය නිෂ්පාදන ක්‍රමය ඒ ඒ ආර්ථිකයන් තුළ ඵලදායිතා වර්ධනය නිරන්තරයෙන් සිදුවන බැවිනි. ශ්‍රී ලංකාව 2048 සංවර්ධිත රටක් වීමට අවශ්‍ය නම්, අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු උපායමාර්ග වන්නේ මේවාය.

(***)
2024 මැයි 13 Daily FT පත්‍රයේ පළ වූ
Economic growth, National Security and what next for Sri Lanka
ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (1)

ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක

chandima Friday, 24 May 2024 12:52 AM

ආර්ථිකයක් තිබුණා. ඒත් දැන් ඒ සේරම රාජපක්ෂලාගේ ගිණුම්වල.

:       0       0

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

ඉන්දීය ඡන්දයේ සංඥාව
2024 ජුනි මස 10 659 2

ඉන්දීය මැතිවරණයෙහි මිලියන 642 ක් අදියර 07 කින් ඡන්දය භාවිත කළ ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙහි සමස්ත ප්‍රතිළුල ගත්විට, මෙවර අගමැති මෝදිට ල


ශ්‍රී ලංකාවේ පක්ෂවල දිශානතිය
2024 ජුනි මස 03 363 2

නිශ්චිත දේශපාලන සහ ආර්ථික මතවාදයක් මගින් ඕනෑම දේශපාලන පක්‍ෂයක ප්‍රතිපත්තිමය අනන්‍යතාව තීරණය වේ. එසේ ප්‍රතිපත්තිමය අනන්‍යතාවක් නොමැති දේශපාලන පක්‍ෂ


ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක
2024 මැයි මස 20 386 1

රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය


වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය
2024 මැයි මස 13 930 6

ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අතුරෙන් කුමන ප්‍රතිපත්තිය


ආර්ථිකයේ අනාගතය අඳුරුද?
2024 මැයි මස 06 550 0

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සි


ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා
2024 අප්‍රේල් මස 29 736 7

ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1304 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3021 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2482 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site