IMG-LOGO

පළාත් පාලන ඡන්ද ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදය

කොළඹ පුරපතිකම අයිති වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත් ජ.වි.පෙ.ට/ ජා.ජ.බ.ට බවත්, එය මොන යම් මගඩියක් මගින් හෝ වෙනත් විපක්ෂ කණ්ඩායමක් ලබාගතහොත් මහ නගර සභාව විසුරුවා හැර විශේෂ කොමසාරිස්වරයකු යටතේ එය පාලනය කරන බවත්, මාලිමා ආණ්ඩුවේ ලොක්කකු පසුගිය දිනෙක කියා තිබිණ. දැන් පළාත් පාලන ආයතන බහුතරයක් සඳහා ඇත්තේ එවැනි පොර බැදීම්ය. ප්‍රශ්නය ඇත්තේ දේශපාලන පක්ෂවලට අමතරව, මැතිවරණ ක්‍රමයෙහිය. එය අසාර්ථක මැතිවරණ ක්‍රමයකි.

ප්‍රමාද වූ පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය පසුගිය මැයි 6 වැනි දින මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ලෙස පැවැත්වුවත් එය මොනම ආකාරයකින්වත් පළාත් පාලනය සඳහා උචිත ජන නියෝජනයක් ලබාගත හැක්කක් නොවේ. එය අල්ලටත් නැති මල්ලටත් නැති මැතිවරණ ක්‍රමයකි. මැතිවරණ මගින් සෑම පළාත් පාලන සභාවකටම පත් කරගත යුතු යැයි තීන්දු කර ඇති කාන්තා ප්‍රතිශතය හෝ එමගින් පත් කරගත නොහැක.

මේ මැතිවරණ ක්‍රමයට අනුව, ජනතාවට ඉතාම සමීප පාලනය වන පළාත් පාලන සභා සඳහා නියෝජිතයන් පත් කරගැනීමට හෝ ඡන්දදායකට අවසරයක් නැත. මේ ක්‍රමය යටතේ පක්ෂයට ඡන්දය දී පක්ෂ නායකයන් විසින් තමන් වෙනුවෙන් පළාත් පාලන සභිකයන් තෝරා පත් කරන තෙක් ඡන්දදායකයා බලා සිටිය යුතුය. ඒ අතර තමන්ගේ නම යෝජනා කරවා ගැනීමට පක්ෂවල අපේක්ෂකයෝ පොර කති.

පළාත් පාලන සභා යනු අපගේ ආණ්ඩු පාලනයේ ජනතා නියෝජනයක් සහිතව ස්ථාපිත කෙරෙන තුන් වැනි තලයේ ව්‍යවස්ථාපිත ආයතනය වේ. එය පළාත් සභාවට පහළින් බිම් මට්ටමේ ඍජු ජනතා නියෝජනයක් සමගින් පැවැතිය යුතු ආණ්ඩු පාලනයකි. පළාත් පාලන සභා ඡන්දයෙන් තෝරා පත් කරගත යුත්තේ අදාළ පළාත් පාලන බලප්‍රදේශයේ ජනතාවගේ සුභසාධනය හා සුව පහසුව දියුණු කරගැනීම වෙනුවෙන් ජනතාවගේ ඓන්ද්‍රීය නියෝජනයක් ලබා ගැනීමටය. ඒ සඳහා වැදගත්ම කාරණාව වන්නේ, තම නියෝජිතයා තෝරා ගැනීමේ මැතිවරණ ක්‍රියාවලිය විවෘත, සරළ, ඍජු ඡන්ද ක්‍රමයක් වීමය.

පළාත් පාලන මැතිවරණයක තමන් පදිංචි කොට්ඨාසය සඳහා එක් මන්ත්‍රී සභිකයකු හෝ සභිකාවියක පත් කරගැනීමේ අවකාශය ඡන්දදායකයාට තිබිය යුතුය. ඒ අයිතිය, “පළමුව පක්ෂය, අනුපාත ක්‍රමය, කාන්තා සළාක” වැනි අතුරු තේරීම් මගින් අවුල් නොකළ යුතුය. මේ කතා කරන මැතිවරණ ක්‍රමය 1977 මහ මැතිවරණයට හා ඊට පෙර මැතිවරණ සඳහා ඡන්දය භාවිත කළවුන් හොඳින් දන්නා මැතිවරණ ක්‍රමයකි. එය තවමත් ඉන්දියාවේ, මහා බ්‍රිතාන්‍යයේ සහ තවත් රටවල් ගණනාවක ක්‍රියාත්මක කෙරෙන සරල ඡන්ද ක්‍රමයකි. එය, ආසනයකට තරග කරන අපේක්ෂකයන් කිහිප දෙනා අතුරින් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගන්නා, ආසනයේ මන්ත්‍රී ලෙස තෝරා පත් කෙරෙන ක්‍රමයකි. ඉංග්‍රීසියෙන් එයට යොදාගෙන ඇති ජනප්‍රිය හැඳින්වීම වන්නේ “පළමුවෙන් දිනුම් කණුව පසු කරන්නා” යන්නය.

පළාත් පාලන මැතිවරණවලදී එහි ඇති වැදගත්කම අන් කවරදාවත් නොව, කවර පක්ෂයක මන්ත්‍රීවරයකු මන්ත්‍රීවරියක වුවත් ඔහු හෝ ඇය කොට්ඨාසයේ ඡන්දදායකයන් හොඳින් හඳුනන සහ එනිසාම ආසනයේ ඡන්දදායකයාට වගකියන්නට බැඳී සිටින්නකු වීමය. ඡන්දයෙන් තෝරා පත් කරන නියෝජිතයා සහ ඡන්දදායකයා අතර පැවැතිය යුතු බැඳීම හා මහජන නියෝජිතයා වෙත පැවැරෙන සමාජ වගකීම ඔහු හෝ ඇය ගෞරවයෙන් රැක ගැනීම, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ පරම ලක්ෂණයකි. එය වඩාත් ආසන්නයෙන් බැඳෙන්නේ පළාත් පාලන සභාවල සභිකයන් හා එහි ඡන්දදායකයා අතරය.

අප තේරුම් ගත යුතු වැදගත්ම කාරණාව නම්, 1977 මහ මැතිවරණයෙන් එ.ජා.ප.යට අසීමිත බලයක් ලබා ගනිමින් ආණ්ඩුව පිහිටුවූ අගමැති ජයවර්ධන, සියල්ලට පෙර ඒ බලය යොදා ගත්තේ 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග පූර්ණ බලැති විධායක ජනාධිපති ධුරයක් හදා ගනිමින් ජනතාවට තිබූ වගකීමෙන් නිදහස් වීමට බවය. ඒ වගේම ඔහුට, විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි නිදහස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඡන්දදායකයාට තිබූ වගකීමෙන් නිදහස් කරගැනීමට අවශ්‍ය විය.

ඔහු එතෙක් පැවැති මැතිවරණ ආසනය දිස්ත්‍රික්කයක් දක්වා විශාල කර, පක්ෂයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව මත මන්ත්‍රීවරුන් පත් කිරීමේ අනුපාත ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ ඒ සඳහාය. තවමත් ක්‍රියාත්මක ඔහුගේ අනුපාත ඡන්ද ක්‍රමයෙන් ඡන්දදායකයා පළමුව ඡන්දය දිය යුත්තේ පක්ෂයටය. දිස්ත්‍රික්කයට හිමි ආසන සංඛ්‍යාව පක්ෂයට ලැබුණු ඒ ඡන්ද අනුපාතය මත පක්ෂ අතර බෙදෙන්නේය. අපේක්ෂකයකුට ලබා දෙන “මනාපය” ඊට එකතු කරනු ලැබුවේ, අනුපාත ක්‍රමය සමාජ විරෝධයකට නතු වීමෙන් වළකා ගැනීමටය.

පක්ෂයට ලබා දෙන ඡන්ද අනුපාතය මත මන්ත්‍රීවරුන් පත් කිරීමේ ජයවර්ධනගේ මැතිවරණ ක්‍රමයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සතු “ජනතා පරමාධිපත්‍යය” අහෝසි කරනු ලැබේ. 1972 සම්මත කෙරුණු පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ වත්මන් දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් “අත්හළ නොහැකි” ලෙස ජනතා පරමාධිපත්‍යය තහවුරු කර ඇත්තේ පළමු පරිච්ඡේදයේ 03 වැනි අනුව්‍යවස්ථාව යටතේ “පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය” ජනතා පරමාධිපත්‍යයට අයත් යැයි කෙරෙන සඳහනකින්ය.

ඡන්ද බලය වූ කලී, ජනතාවගේ පරමාධිපත්‍යය තාවකාලිකව ජනතා නියෝජිතයන් මගින් නියෝජිත සභාවකට පැවැරීමේ ජනතා අයිතියකි. එබැවින් ජනතා පරමාධිපත්‍යය තම නියෝජිතයා ලෙස තෝරා පත් කරන මන්ත්‍රීවරයා ඡන්දදායකයන්ට ඇති වගවීමට බැඳී ඉන්නා තෙක් වලංගු වන්නකි. ජයවර්ධනගේ අනුපාත ඡන්ද ක්‍රමයෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන් ඒ වගවීමෙන් නිදහස් වූ විට, ජනතාවගේ පරමාධිපත්‍යය ද එතැන් සිට අවලංගු වන්නකි. එබැවින් 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ සිට පැවැත්වූ සියලු මැතිවරණ හුදෙක් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් අනුව පැවැත්වූ නෛතික පටිපාටියක් පමණි. ඡන්දය දීම ජනතාවගේ අයිතියක් වගකීමක් යැයි කියුවාට, මේ මැතිවරණවල එවැනි වටිනාකමක් නැත.

එනිසා, වගේ වගක් නැති අනුපාතය ද ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමය වහා අහෝසි කර පළාත් පාලන ආයතන ජනතා නියෝජනයක් සහිත සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදි ආයතන ලෙස තහවුරු කිරීම ආරම්භ කළ යුතුව ඇත.

ඒ වෙනුවෙන්,

පළාත් පාලන සභා සංයුතිය -

පළාත් පාලන සභා (ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා) සඳහා පළාත් පාලන සභාවෙහි කොට්ඨාස සඳහා පත් කෙරෙන මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ගෙන් හැර වෙනත් කිසිදු ආකාරයකින් පත් නොකළ යුතුය: නිදසුනක් ලෙස, ප්‍රාදේශීය, නගර, මහ නගර සභාවක කොට්ඨාස ඇත්තේ 25ක් නම්, එහි සිටිය හැක්කේ ඒ කොට්ඨාස සඳහා ඡන්දදායකයන් විසින් එක් මන්ත්‍රී සභිකයකු ලෙස තෝරා පත් කළ මන්ත්‍රී සභිකයන් 25ක් පමණි.

පළාත් පාලන සභා කොට්ඨාසයකට එක් මන්ත්‍රී සභිකයකු හෝ සභිකාවියක පත් කරගැනීමේ අයිතිය ඡන්දදායකයාට හිමි විය යුත්තකි.

තරග වදින අපේක්ෂක අපේක්ෂිකාවන්ට පළාත් පාලන ආයතන බලප්‍රදේශයේ අවම අවුරුදු 10ක ස්ථිර පදිංචියක් තිබීම - එය ගෘහ මූලික ලැයිස්තුවට සීමා නොවන, භෞතික පදිංචියක් නඩත්තු වන බවට සාධක ඉදිරිපත් කර සනාථ කළ යුත්තකි.

 

“ජන සහභාගි” පළාත් පාලන ආයතන -

පළාත් පාලන ආයතනවල නිල කාලය අවුරුදු 4ට වඩා වැඩි නොවිය යුතු අතර, මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ දින සිට සති 3ක් ඇතුළත පළාත් පාලන කොමසාරිස්ගේ අත්සනින් පළමු සභා රැස්වීම කැඳවිය යුතුය.

පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සියලු සභිකයන් දිවුරුම් දීමෙන් පසු, සහකාර පළාත් පාලන කොමසාරිස්ගේ මූලාසනයෙන් රැස්වන පළමු සභා රැස්වීමේ පළමු කාර්යය වශයෙන් නගරාධිපතිවරයකු, සභාපතිවරයකු සහ උප නගරාධිපතිවරයකු, උප සභාපතිවරයකු වැඩි ඡන්දයෙන් තෝරා පත් කරගත යුතුය. එම තනතුරු සියයට 50ට වැඩි ආසන ලබා ගත් පක්ෂයට හෝ කණ්ඩායමකට වෙන් කර තැබෙන්නක් නොවිය යුතුය.

පළමු සභා රැස්වීමෙන් සති 4ක් ඇතුළත නගරාධිපති/ සභාපති විසින් සිය සභාවේ සිව් වසරක කාර්ය සාධන සැලසුම ඒ සඳහා වන වැයවීම් සමග සභාගත කර, ප්‍රසිද්ධ කළ යුතුය.

වැයවීම් සමග සිව් වසරක කාර්ය සාධන සැලසුම සභාගත කළ දින සිට සති 4ක් ඇතුළත කාලයේ එය බලප්‍රදේශයේ ඡන්දදායකයන් හමුවේ ජනමතයකට තැබිය යුතුය. ඡන්දදායකයන්ට අවශ්‍ය නම්, ඒ සති 4 ඇතුළත බලප්‍රදේශයේ ඡන්දදායකයන් අවම 500කගේ අත්සනින් සංශෝධන ඉදිරිපත් කළ හැකිය.

සෑම අඩ වසරකම (කාර්තු 2ට පසු) සභාවේ කාර්ය සාධන වාර්තාව සභාවට ඉදිරිපත් කර, ඉන් දින 3ක් ඇතුළත ප්‍රසිද්ධ කළ යුතුය. එය ප්‍රසිද්ධ කිරීමෙන් පසු, සති 2ක් තුළ ඡන්දදායකයන්ට ඒ සම්බන්ධව පැහැදිලි කිරීම් ඉල්ලා සහ ප්‍රශ්න කිරීම්, සභාවේ කොමසාරිස්, ලේකම් මගින් නගරාධිපති, සභාපති වෙත ඉදිරිපත් කළ හැකි අතර, සභා රැස්වීමෙහි ඡන්දයට පෙර ඒ සියල්ලට ප්‍රතිචාර දැක්වීම නගරාධිපති/ සභාපති සතු වගවීමකි.

සෑම පළාත් පාලන සභාවක්ම තම තොරතුරු විස්තර හා දැන්වීම් නොපමාව පළ කෙරෙන නිල වෙබ් අඩවියක් පවත්වාගෙන යා යුතුය.

පළාත් පාලන සභා මැතිවරණ ක්‍රමය සහමුලින් වෙනස් කළ යුතු යැයි වන මූලික යෝජනාව පිළිගන්නේ නම් සහ මෙම අදහස් සමග යම් එකඟතාවක් තිබේ නම්, මෙම යෝජනාව තව දියුණු කළ යුතු යැයි සිතන්නේ නම්, ඔබේ අදහස් මා වෙත නොපමාව යොමු කරන්න.

(*** කුසල් පෙරේරා)



අදහස් (0)

පළාත් පාලන ඡන්ද ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 15 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 459 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 236 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site