විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය හා සබැඳි යුද ගැටුම්, සේවක භාරකාර අරමුදල සහ සේවක අර්ථ සාධක අරමුදල (EPF/ETF) ප්‍රතිසංස්කරණ ආදී ප්‍රශ්නවල අපි මේ වන විට ගිලෙමින් සිටිමු. ජනමාධ්‍යයේ පවා වැදගත්කම අඩුවෙමින් පවතින, ශ්‍රී ලාංකික ජනතාවගේ දෛනික ආර්ථික අර්බුද පිළිබඳ යම් කතිකාවක් ගොඩනැගීමට මෙම ලිපියෙන් අදහස් කෙරේ.

 

රජය කියන ලෙස ‘පිරිවැය අඩු කරන්න’ ගොවියාට පුළුවන් ද?

2026 යල කන්නයේ ගොවීන්ට ලබා දෙන රජයේ සහතික මිල ගණන් වන්නේ නාඩු කිලෝ 1 කට රු. 120, සම්බා කිලෝ 1 කට රු. 130, කීරි සම්බා කිලෝ 1 කට රු. 140කි. කෘෂිකාර්මික, ගොවිජන සංවර්ධන සහ ආහාර මිලට ගැනීම් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ඒකාබද්ධ වාර්තාවකට අනුව, නාඩු කිලෝවක නිෂ්පාදන පිරිවැය රු. 76-87 කි. එමෙන්ම සම්බා සඳහා රු. 97 ක් ද, කීරි සම්බා සඳහා රු. 119 ක් ද වෙයි. රජය සියයට 30 ක ලාබ මායිමක් ද ගොවියාට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි.

එහෙත් ජාතික ගොවිජන ඒකාබද්ධ සංවිධානය සහ ගොවිජන ඒකාබද්ධ ව්‍යාපාරය ඇතුළු ගොවිජන සංවිධාන රු. 140-150 ක මිලක් ඉල්ලා සිටියි. ගොවීන්ගේ ගණනය කිරීම්වලට අනුව නිෂ්පාදන පිරිවැය රු. 106 ක් ද ඉක්මවන අතර, පෞද්ගලික වෙළෙඳුන් කිලෝවකට ගෙවන්නේ රු. 90 ක් පමණි. මේ නිසා ගොවිතැනේ සෑම වී කිලෝවකින්ම රුපියල් 20 ක පමණ පාඩුවක් ගොවීන්ට දැරීමට සිදුවේ.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ ගොවියාගේ වියදම හෙවත් පිරිවැය අඩු කළ යුතු බවයි. ආර්ථික විද්‍යාත්මක න්‍යායන්ට අනුව සාමාන්‍ය පිරිවැය (Average Cost) යනු මුළු පිරිවැය අස්වැන්න ප්‍රමාණයෙන් බෙදූ විට ලැබෙන අගයයි. රජය මෙහිදී උපකල්පනය කරන්නේ නිෂ්පාදන ධාරිතාව හෙවත් අස්වැන්න ඉහළ නැංවීමෙන් සාමාන්‍ය පිරිවැය අඩු කළ හැකි බවයි. එහෙත් යථාර්ථය නම් වර්තමාන වෙළෙඳපොළ තත්වය යටතේ ගොවියාගේ මුළු පිරිවැය යනු පොහොර, ඉන්ධන ආදී වෙළෙඳපොළ සාධක මත තීරණය වූ දෙන ලද අගයන් වීමයි. මේ නිසා හුදෙක් අස්වැන්න වැඩිවීමෙන් පමණක් ගොවියාට සහනයක් නොලැබේ.

එබැවින් ගොවීන් රජයෙන් දැඩිව ඉල්ලා සිටින්නේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ උපකරණ සඳහා පනවා ඇති ඉහළ බදු අඩු කරන ලෙසයි. දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවීමේ වගකීම බාරගත යුතු රජය, මෙවැනි අධික බදු ප්‍රතිශත කළමනාකරණය කරමින් ගොවියාගේ පිරිවැය සැබෑ ලෙසම අඩු කිරීමට මැදිහත් විය යුතුය.

ඒ හා සමගාමීව, රජය ගොවීන්ට වී වගාවෙන් ඉවත්ව බඩඉරිඟු‍ වගාවට ප්‍රවේශවීමට යෝජනා කළ ද ගොවියාට එය පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. එයට හේතුව වන්නේ සෑම කුඹුරු ඉඩමක්ම බඩඉරිඟු‍ වගාවට යොදාගත නොහැකි වන සරල සිද්ධාන්තයයි.

 

ජනසවිය හා ප්‍රේමදාස ආකෘතිය - ඉතිහාසය ඉගැන්වූ දෙය

1989 දශකයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගෙන ආ ජනසවිය වැඩසටහන, ගොවි ජනතාවගේ ගැටලු‍ ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය කළේය. ගම් මට්ටමේ සමිති ආශ්‍රිතව, ගොවීන් භාවිත කරන යන්ත්‍රෝපකරණ, ගබඩා පහසුකම්, ජල පොම්ප සහ ට්‍රැක්ටර් ආදිය ඒකාබද්ධ යටිතල පහසුකම් ලෙස සාමූහිකව භාවිත කිරීමට සැලැස්වීමෙන් ගොවීන්ගේ ඒකක නිෂ්පාදන පිරිවැය පහත දමන ලදී. ග්‍රාමීය සංවිධානවලට ග්‍රාමීය යටිතල පහසුකම් ගොඩනැගීමට ජනසවිය භාරකාර අරමුදලින් මුදල් සැපයිණි.

ශ්‍රී ලංකාවේ බහුතරයක් ගොවීන් සිය අස්වැන්න අලෙවි කරන්නේ තම ගොවිපොළේදීම හෝ ලියැද්දේදීම වන බැවින් ඔවුහු පහසුවෙන්ම අතරමැදියන්ගේ සූරාකෑමට ලක් වෙති. එහෙත් අසල්වැසි ඉන්දියාවේ තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. ඉන්දියාව ද ගොවි ජනතාව සඳහා ‘මන්ඩි’ (Mandi) ලෙස හැඳින්වෙන ග්‍රාමීය ගොවිජන නිෂ්පාදන වෙළෙඳ සංකීර්ණ ක්‍රමයක් ප්‍රචලිත කර ඇත. විශේෂයෙන්ම, ඉන්දියාවේ ක්‍රියාත්මක වන සාමූහික ගොවිතැන් (community farming) සංකල්පය යටතේ ගොවීන් ඒකරාශී වී සිය නිෂ්පාදන මෙම මන්ඩි වෙත රැගෙන යාමෙන් ඔවුනට ඉහළ කේවල් කිරීමේ හැකියාවක් සහ ආර්ථික වාසි අත් වේ.

මෙම ක්‍රමය යටතේ ගොවි ජනතාවට, අසාධාරණ වෙළෙඳ ජාල හරහා නොව, රජය විසින් නියාමනය කරන ලද වෙළෙඳපොළක් ඔස්සේ සිය නිෂ්පාදිත සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගන්නා මිලකට විකිණීමේ පහසුකම ලැබෙයි. ඊටත් ඔබ්බට, මන්ඩිය ළඟ ඇති ගබඩා පහසුකම් ඔස්සේ, හොඳ මිලක් ලැබෙන දිනය දක්වා ගොවියාට සිය නිෂ්පාදිතය සුරක්ෂිතව තබා යා හැකිය. එසේ ගබඩා කළ නිෂ්පාදිතය ඇපකරයක් ලෙස භාවිත කරමින්, ගබඩා රිසිට්පතක් ඉදිරිපත් කිරීමෙන් ගොවියාට සිය නිෂ්පාදිතය විකිණෙන තෙක් බැංකු ණය ද ලබා ගත හැකිය.

ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ ගැටලු‍ නිරාකරණය සඳහා ද, ජනාධිපති ප්‍රේමදාසගේ ජනසවිය ආකෘතිය හා ඒකාබද්ධව ඒ ආකාරයේ ‘මන්ඩි’ රටාවේ සාධාරණ මිල යාන්ත්‍රණයක් (Mandi-style fair price mechanism) ස්ථාපිත කිරීම ගොවි ජනතාවගේ ජීවිකාව සුරැකීමේ ජාතික වගකීමකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ජලය, විදුලිය ආදි සේවා සඳහා ‘පිරිවැය-නිරූපිත’ මිල ගණන් යෝජනා කරන නමුත්, වී කිලෝවක මිල තීරණය කිරීම සඳහා එම ක්‍රමය යොදා නොගන්නේ මන්ද යන්න ගොවි මහතුන් නගන ප්‍රශ්නයකි. ගොවීන්ගේ ඉල්ලීම වන්නේ, ‘පිරිවැය + සියයට 33’ ක තීරුවක් ලබා දෙන ලෙසයි.

 

විනිමය අනුපාතය, අයවැය අතිරික්තය සමග දැවෙන ලාංකේය ජීවිත

ගොවිතැනේ ප්‍රශ්නයෙන් ඔබ්බට, ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය ද 2026 වසරේ දී කිහිප අතකින්ම පීඩනයකට ලක්ව ඇත. ඩොලරයට රු. 330 ඉක්මවා ගිය රුපියල, සාමාන්‍ය ජනතාවගේ ගෙදර දොර වියදම ඉහළ ගෙන ගොස් ඇත. එපමණක් නොව, ඉරාන – ඊශ්‍රායල - ඇමෙරිකා ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගොස්, ශ්‍රී ලංකාවේ ආනයන වියදම ඉහළ ගොස්, විදේශ විනිමය ඉල්ලු‍ම ද ඉහළ ගියේය.

අයි.එම්.එෆ්. වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක් ළඟා කරගැනීම, ජාත්‍යන්තර ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය විය. එහෙත් මේ වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් ඇසෙන්නේ අයවැය අතිරික්තයක් පිළිබඳව දක්වන අදහස් ය. ආර්ථික විද්‍යාඥයන් වශයෙන් අප ආණ්ඩුවට මතක් කර දෙන්නේ අයවැය අතිරික්තයකින් ආර්ථිකය මත සංකෝචනාත්මක බලපෑම් ඇති කරන බවයි. එනම් ඉන් ආර්ථිකය හැකිළෙන බවයි.

 

EPF/ETF ගැටලු‍ව - කම්කරු ජනතාවගේ අනාගතය

2026 දී සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යන අරමුදල් දෙක එකතු කර, නව ත්‍රිපාර්ශ්වීය මණ්ඩලයකට පැවරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටී. මෙහිදී අප වටහා ගත යුතු වැදගත් කරුණක් නම්, 1958 අංක 15 දරන පනතින් ඇරැඹි EPF අරමුදලේ භාරකරු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කළ ද, 1980 අංක 46 දරන පනතින් පිහිටු වූ ETF අරමුදල පාලනය වන්නේ මහ බැංකුවෙන් ස්වාධීන වූ, මුදල් අමාත්‍යාංශය යටතේ පවතින වෙනමම භාරකාර මණ්ඩලයක් (ETF Board) මගින් බවයි. එනම්, ETF අරමුදල දැනටමත් පවතින්නේ මහ බැංකුවෙන් බැහැරවය. එබැවින්, මෙම අරමුදල් ද්විත්වයම එකතු කර මහ බැංකුවෙන් ඉවත් කරන බව පැවසීම පදනම් විරහිත වන අතර, මේවා නව ව්‍යුහයකට පැවරීමේදී පෞද්ගලික අංශයේ අහිතකර සහ අයුතු බලපෑම්වලින් තොරව කම්කරු අරමුදල් සුරක්ෂිතව ආයෝජනය විය හැකිදැයි යන බරපතළ ගැටලු‍ව අප හමුවේ ඇත.

මෙම අරමුදල් විවාදයේදී ආචාර්ය එන්.එම්. පෙරේරා විසින් 1958 දී සඳහන් කරනු ලැබූ කාරණයක් පිළිබඳව නැවත මතක් කර දීමට කැමැත්තෙමි. එනම්, ලාබදායී ලෙස මෙම ඉතුරුම් ආයෝජනය කිරීම පිළිබඳ දැනුමක් අපගේ වැඩ කරන පන්තියට පවතී ද යන්නයි. එහෙත් තවදුරටත් අපගේ වැඩ කරන පන්තියට එවැනි ආයෝජන පිළිබඳ සාක්ෂරතාව ප්‍රමාණවත් නොවන්නේ නම්, මෙවැනි මණ්ඩලයක් හරහා පෞද්ගලික ආයෝජකයන් මිලියන 2.5 කට අධික සාමාජිකයන්ගේ මෙම සුරක්ෂිත අරමුදල් නිසි ලෙස කළමනාකරණය කරයි ද යන ගැටලු‍ව අප කා හමුවේත් පවතී. මේ පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු නොවන තරම් ය.

 

විදේශ සංචිත ගොඩනැගීම

ඉහත ගැටලු‍ අතරේ, 2026 දෙවැනි භාගයේ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තවත් ආර්ථික අභියෝගයක් වන්නේ ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩනැගීමයි. ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත 2026 මාර්තු මාසයේ දී ඩොලර් බිලියන 7 ක් ළඟා කරගත් නමුත්, ජූනි 2026 වන විට ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 ක පමණ මට්ටමක පවතී.

ශ්‍රී ලංකාව 2026 වසර අවසන් වෙද්දී ඩොලර් බිලියන 8.9 ක ඉලක්කයක් ද, 2027 වන විට ඩොලර් බිලියන 13.4 ක ඉලක්කයක් ද ළඟා කළ යුතු බවට IMF සංවිධානය නියම කර ඇත. එහෙත් ශ්‍රී ලංකාව ජූනි 2026 සඳහා වූ IMF ශුද්ධ ජාත්‍යන්තර සංචිත (NIR) ඉලක්කය ළඟා කිරීමට අපොහොසත්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ද, ආර්ථික විශ්ලේෂකයෝ ද පෙන්වා දෙති. ඩොලර් බිලියන 6.4 ක ශේෂයේ සිට ඩොලර් බිලියන 8.9 ක IMF ඉලක්කය ළඟා කිරීම සඳහා, ඉතිරි මාස හය ඇතුළත ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 කට ආසන්න මුදලක් රැස් කර ගැනීමේ අභියෝගයට නිසැකවම මුහුණ දීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාව 2027 සිට ප්‍රතිව්‍යුහගත විදේශ ණය සඳහා මූලික ණය සහ පොලී වාරික යන කොටස් දෙකම ගෙවිය යුතුව ඇත. ඉන්ධන, ඖෂධ, ආහාර, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය ආනයන ආවරණය කිරීමට ද, ණය සහ පොලී වාරික ගෙවීම් කිරීමට ද, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 9 කට ආසන්න විදේශ සංචිත ප්‍රමාණයක් රැස් කිරීම බරපතළ අභියෝගයකි.

මෙවැනි වැදගත් ආර්ථික හා සමාජීය ගැටලු‍ ගණනාවක් අපගේ අවධානයෙන් ගිලිහී ගොස්, විනිසුරු විශ්‍රාම වයස, හෝමූස් අර්බුදය වැනි ගැටලු‍ වැඩි වශයෙන් මාධ්‍යයන්ගේ කතාබහට ලක්වේ. අප ජනතාවගේ සැබෑ ගැටලු‍ වන, ගොවිතැනට සාධාරණ මිලක් නොලැබීම, රුපියල අවප්‍රමාණය වීම, ඉහළ බදු බර, EPF/ETF ශ්‍රමිකයන්ගේ ඉතුරුම් සුරක්ෂිත කිරීමට සහ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම මෙන්ම, විදේශ ණය වාරික සහ පොලී ගෙවීමටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කර ගැනීම සඳහාත් ප්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් ගොඩනගා ගැනීමේ ගැටලු‍ව ආදිය ප්‍රමුඛ වැදගත් කරුණු ලෙස සලකා අප සාකච්ඡා කළ යුතු වේ. ප්‍රමුඛතාව දිය යුතු ආර්ථික ගැටලු‍ පසෙකලා, රජය ජනමාධ්‍ය ඔස්සේ වෙනත් මාතෘකා ඉදිරියට රැගෙන එමින් ඒවාට වැඩි වැදගත්කමක් ලබාදීමෙන් සැබෑ ආර්ථික ගැටලු‍ යටපත් කිරීමේ උත්සාහයක නිරත වනවා ද යන කුකුසක් මට ඇතිවෙයි.

 

(***)