මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ තරමක් සංකීර්ණ දේශපාලන තත්වයක් යටතේය. මා එසේ කියන්නේ මේ වනවිට ආණ්ඩුව ඉදිරියේ මතුවී තිබෙන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ප්‍රශ්නය ගමන් කර තිබෙන දුර ගැන සිතමින්ය. මෙය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කරනවාද? නැද්ද? යන සරල පරිපාලන ප්‍රශ්නයක් ලෙස තවදුරටත් සැලකිය නොහැකිය. එය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුවේ බලය, ව්‍යවස්ථානුකූල පාලනය සහ අවසානයේ ආණ්ඩුවේ දේශපාලන ගමන් මග පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වී ඇත.
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇති විය හැකි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයකට යාමෙන් අනවශ්‍ය දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති විය හැකි බව ජවිපෙ නොවන බොහෝ දෙනකුට පෙනෙන කාරණයකි. නීති ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතනවලින් ද ඒ පිළිබඳ බරපතළ විරෝධයක් මතුවී තිබේ. එහෙත් ජවිපෙ සහ ආණ්ඩුව සිටින්නේ ඒ සියල්ලටම වඩා වෙනස් තැනක බවක් පෙනේ.
එයට එක් හේතුවක් විය හැක්කේ තමන්ට පසුගිය මහ මැතිවරණයෙන් ලැබුණු විශාල ජනවරම තවමත් ඒ ආකාරයෙන්ම තිබෙනවා යැයි සිතීමය. පැලවත්තේ දේශපාලන ගණන් හැදීම තුළ මේ අදහස ඉතා ප්‍රබලව තිබෙන බවක් පෙනේ.
සමාජ මාධ්‍යයේ ආණ්ඩුව සහ බිමේ ආණ්ඩුව
මේ “ලොකුකම” තවත් වැඩි වන්නේ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් සහ ඔවුන් වටා සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හැසිරීම දෙස බැලූ විටය. සමාජ මාධ්‍යවල පෙනෙන ආකාරයට නම් මේ රටේ ජවිපෙ හැර වෙනත් දේශපාලන මතයක් නැත. ආණ්ඩුව විවේචනය කරන කෙනා දූෂිතයෙකි. ප්‍රශ්නයක් අසන කෙනා පරණ ක්‍රමයේ කෙනෙකි. ආණ්ඩුවේ තීරණයක් පිළිබඳ සැකයක් මතු කරන කෙනා දේශපාලන සතුරෙකි.
එහෙත් සමාජ මාධ්‍යයේ දේශපාලනය සහ බිමේ දේශපාලනය එකම දෙයක් නොවේ. ෆේස් බුකියේ “like” ගණන ඡන්ද ගණන නොවේ. ප්‍රතිචාරයක් (Comment එකක්) ඡන්ද පත්‍රිකාවක් නොවේ. Share කිරීමක් ජනවරමක් නොවේ. මේ දෙක අතර පරතරය දැනටමත් බිම් මට්ටමේ විවිධ ජන්ද සහ දේශපාලන ක්‍රියාකාරකම්වල දී පෙනෙන්නට පටන් ගෙන තිබේ. කුඩා සමුපකාර ඡන්දයක දී පවා ආණ්ඩු පක්ෂයට බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රතිඵල ලබා ගැනීම පහසු නැති තැන් පෙනේ. එසේ නම් අප ඉදිරියේ තිබෙන්නේ අපූරු පරස්පරයකි. සමාජ මාධ්‍යයේ ජවිපෙ පමණි. බිමේ ජවිපෙ වියැකෙමින් යමින් තිබේ.
මේ පරස්පරය අවසන් වන්නේ තවත් ජාතික මැතිවරණයකදීය. එදාට ෆෙස්බුක් හි ක්‍රියාකාරී ක්‍රමවේදයට (Facebook algorithm) ඡන්දය දෙන්නට බැරිය. Comment කරන ව්‍යාජ ගිණුම්වලට (fake account) ඡන්ද මධ්‍යස්ථානයට යන්නටත් බැරිය. එදාට ගණන් කරන්නේ සැබෑ මිනිසුන්ගේ සැබෑ ඡන්දයයි.
විනිසුරුවරුන්ගේ වයස දික් කිරීම
දැන් අපි මූලික ප්‍රශ්නයට එමු. ආණ්ඩුවේ යෝජනාව වන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමය. ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන තර්කයක් තිබේ. රටේ නඩු බොහෝ ප්‍රමාණයක් ගොඩ ගැසී ඇත. විනිසුරුවරුන්ගේ හිඟයක් තිබේ. පළපුරුදු විනිසුරුවන් තවත් කාලයක් සේවයේ තබා ගැනීමෙන් එම ගැටලුවට යම් විසඳුමක් ලබාගත හැකි බව ආණ්ඩුව කියයි. මේ තර්කය සම්පූර්ණයෙන්ම ඉවත දැමිය යුතු එකක් නොවේ. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ වෙනත් තැනකය.
නඩු ගොඩ ගැසීමේ ගැටලුව විසඳීමට අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යය. නව විනිසුරුවරුන් බඳවා ගැනීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, නඩු කළමනාකරණය ඩිජිටල්කරණය කිරීම, රජයේ රස පරීක්ෂක වැනි ආයතනවල ප්‍රමාදය අඩු කිරීම, විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රම වැඩි කිරීම වැනි බොහෝ දේ කළ යුතුය.
එවැනි විශාල ප්‍රතිසංස්කරණයක් වෙනුවට ව්‍යවස්ථාව සංශෝධනය කර දැනට ධුරයේ සිටින ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලයට බලපාන වෙනසක් කිරීමේදී ප්‍රශ්න මතුවීම සාධාරණය. අධිකරණය ස්වාධීන වීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය ස්වාධීන බව පෙනෙන්නටත් අවශ්‍යය.
නීති ක්ෂේත්‍රය කියන දේ අහන්නේ නැද්ද?
මේ ප්‍රශ්නයේ දී ආණ්ඩුවට විරුද්ධ වන්නෝ විපක්ෂයේ දේශපාලනඥයෝ පමණක් නොවෙති. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම යෝජනාව පිළිබඳ බරපතළ කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. විනිශ්චයකාරවරුන්ගේ සංවිධානයේ විශේෂ මහා සභාවක දී සහභාගි වූ සාමාජිකයන් යෝජනාවට එකඟ නොවන බව රහස් ඡන්දයකින් ප්‍රකාශ කර තිබීම ද නොසලකා හැරිය හැකි කාරණයක් නොවේ.
පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමය (Commonwealth Lawyers Association) සහ LAWASIA වැනි ජාත්‍යන්තර නීති සංවිධාන ද මේ පිළිබඳ අවධානය යොමු කර ඇත. ඒ සියලු දෙනාම ජවිපෙට විරුද්ධ කුමන්ත්‍රණයක සිටිනවා යැයි කියන්නට බැරිය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක වැදගත් ලක්ෂණය වන්නේ තමන්ට කැමැති දේ කියන අයගේ හඬ පමණක් ඇසීම නොවේ. තමන්ට අකැමැති දේ කියන අය කියන්නේ කුමක්දැයි ඇසීමය.
මහ නා හිමිවරුන්ගේ අනුශාසනය
මේ ප්‍රශ්නය නීතිඥයන්ගේ සහ දේශපාලනඥයන්ගේ කවය තුළ පමණක් තබාගත හැකි තත්වයක් ද දැන් නැත. රටේ ප්‍රධාන ආගමික නායකත්වය වෙතින් ද මේ පිළිබඳ කරුණු ඉදිරිපත් වී තිබේ. මහනාහිමිවරුන්ගේ අවවාද සහ අනුශාසනා දේශපාලන තීරණ ගැනීමේ දී නීතිමය නියෝග නොවන බව ඇත්තය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ඉතිහාසය තුළ ඒවාට විශාල සදාචාරාත්මක බරක් තිබේ.
විශේෂයෙන්ම ආණ්ඩුවක් ව්‍යවස්ථාමය වශයෙන් සංවේදී කාරණයකට අත තබන අවස්ථාවක නීති ක්ෂේත්‍රයෙන්, සිවිල් සමාජයෙන් සහ ආගමික නායකත්වයෙන් එකවර කනස්සල්ල මතුවන්නේ නම්, බුද්ධිමත් ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සියල්ල “විරෝධය” ලෙස නම් කිරීම නොවේ. ඒවාට සවන් දීමය.
බලවත් ආණ්ඩුවක් යනු කිසිවකුට ඇහුම්කන් නොදී තමන්ට අවශ්‍ය දේ කරන ආණ්ඩුවක් නොවේ. බලවත් ආණ්ඩුවක් යනු තමන්ට බලය තිබියදීත් අවශ්‍ය තැන දී තමන්වම සීමා කරගත හැකි ආණ්ඩුවකි.
සුක්කානම අතහැර පැදවීම
මේ සියල්ල දෙස බලන විට මට සිහිවන්නේ තරුණ කාලයේ සමහර කොල්ලන් බයිසිකලයේ හැඬලය අතහැර පැදවූ ආකාරයයි. හැඬලය අතහැර මීටර් සියයක් බයිසිකලය පැදවිය හැකිය. සමහරුන්ට කිලෝමීටරයක් වුව ද යා හැකිය. ඒ මොහොතේ එය දක්ෂකමක් ලෙස පෙනෙයි. එහෙත් පාරේ එක ගලක් හමු වූ විට කතාව වෙනස් වේ. ආණ්ඩුව දැන් කරන්නේත් එවැනි දෙයක් බව මට පෙනේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න විශාල බලයක් තිබේ. ඒ නිසා “අපට පුළුවන්” යන හැඟීම ඇතිවීම ස්වාභාවිකය. එහෙත් කළ හැකි සෑම දෙයක්ම කළ යුතු දෙයක් නොවේ. ව්‍යවස්ථාමය බලය තිබීම සහ දේශපාලන ප්‍රඥාව තිබීම එකම දෙයක් නොවේ.
ශිරාණි බණ්ඩාරනායක සිද්ධියෙන් ඉගෙන ගත්තේ නැද්ද?
අපේම ඉතිහාසයේ මේ සඳහා හොඳ උදාහරණ තිබේ. 2013දී එවකට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුව හරහා ගෙන යාමට එවකට ආණ්ඩුවට හැකි විය.
පාර්ලිමේන්තුවේ සංඛ්‍යාත්මක බලය ඔවුන්ට තිබුණි. ඒ ආණ්ඩුවේ අපිත් සිටියෙමු. ඒ දවසේ පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ආණ්ඩුව දිනුවේය. එහෙත් දේශපාලනිකව සිදු වූයේ වෙනත් දෙයකි. අධිකරණය සහ රාජ්‍ය ආයතන තම බලයට යටත් කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරනවා යන මතය සමාජය තුළ වර්ධනය විය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසනීයත්වයට එය විශාල හානියක් කළේය. 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල එහි තාර්කික අවසානය විය. පාර්ලිමේන්තුවේ ඡන්දය ජය ගැනීම සහ ජනතාවගේ විශ්වාසය ජය ගැනීම දෙකක් බව එදා පැහැදිලි විය.
තුනෙන් දෙක යනු හිස් චෙක්පතක් නොවේ
වත්මන් ආණ්ඩුව තේරුම් ගත යුතු වැදගත්ම කාරණය මෙයයි. මැතිවරණයකින් ලැබෙන තුනෙන් දෙකක බලය යනු ජනතාව ලබා දුන් හිස් චෙක්පතක් නොවේ. ජනවරමකට කාලයක් තිබේ. පදනමක් තිබේ. දේශපාලන විශ්වාසයට ජීවිත කාලීන වගකීමක් නැත. අද ලබා දුන් ජනවරම හෙට වෙනස් විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ සුන්දරත්වයත් එයයි.
2024දී ජනතාව පරණ දේශපාලන ක්‍රමයට විරුද්ධව විශාල තීන්දුවක් ගත්හ. ඒ තීන්දුවෙන් NPP ආණ්ඩුවට ඉතා විශාල බලයක් ලැබුණි. එහෙත් ඒ බලය ලැබුණේ පරණ ආණ්ඩු කළ දේම වෙනත් නමකින් කිරීමට නොවේ. ඒ බලය ලැබුණේ වෙනස් දේශපාලන සංස්කෘතියක් හදන්නටය.
“අපි වෙනස්” කියූ අයගේ පරීක්ෂණය
ජවිපෙ සහ NPP දේශපාලනයේ ප්‍රධානම වෙළෙඳ ලකුණ වූයේ “අපි අනෙක් අය වගේ නොවේ” යන ප්‍රකාශයයි. දැන් ඒ ප්‍රකාශය පරීක්ෂාවට ලක්වී තිබේ. රාජපක්ෂලාට තුනෙන් දෙක තිබුණු විට ඔවුහු තම බලය පුළුල් කරගත්හ. ඒ ගැන ජවිපෙ දැඩිව විවේචනය කළේය. එසේ නම් අද තමන්ට තුනෙන් දෙකක් තිබෙන විට කළ යුත්තේ කුමක්ද? ඒ බලය පාවිච්චි කර අධිකරණය සම්බන්ධයෙන් විශාල මතභේදයක් ඇති කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමද? නැතිනම් තමන්ට එය කළ හැකි වුවත්, රටේ ආයතනික විශ්වාසය වෙනුවෙන් නොකර සිටීම ද? දෙවැන්න වඩා අමාරුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය මැනෙන්නේ එතැනදීය.
පාරේ ඉදිරියෙන් වංගුවක් ඇත
අවසානයේ මට නැවතත් සුක්කානම අතහැර පැදවීම පිළිබඳ රූපකයට පැමිණෙන්නට සිදුවේ. වාහනය වේගයෙන් යන විට සුක්කානම අතහැරීම වීරකමක් ලෙස පෙනෙන්නට පුළුවන. පාර කෙළින් තිබෙන තුරු කිසිම ප්‍රශ්නයක් නැති බවක් ද පෙනේ. එහෙත් දේශපාලනයේ පාර හැමදාම කෙළින් නැත. වංගු තිබේ. වළවල් තිබේ. අනපේක්ෂිත බාධක තිබේ.
ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගය ගෙන ආ ආණ්ඩුවටත් ඒ වෙලාවේ තමන් ඉතා බලවත් බව පෙනුණි. 20 වැනි සංශෝධනය ගෙන ආ ආණ්ඩුවටත් එසේම පෙනුණි. දෙකම පාර්ලිමේන්තුවේ ජය ගත්තේය. එහෙත් පාර්ලිමේන්තුවේ ජයගත් සෑම සටනක්ම දේශපාලනයේ ජයග්‍රහණයක් නොවන බව ඉතිහාසය පෙන්වා දී ඇත.
වත්මන් ආණ්ඩුවටත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකි විය හැකිය. ප්‍රශ්නය එය නොවේ. ප්‍රශ්නය වන්නේ එය සම්මත කළ පසු සිදුවන්නේ කුමක්ද යන්නයි. ජනවරමක් ලැබීම යනු සුක්කානම අතහැරීමට ලැබුණු අවසරයක් නොවේ. එය සුක්කානම වඩාත් වගකීමෙන් අල්ලාගෙන රට පදවාගෙන යාමට ලැබුණු වගකීමකි. ආණ්ඩුව අද ඒ වෙනස තේරුම් ගත යුතුය. මන්ද පාරේ ඉදිරියෙන් වංගුවක් තිබෙන බව දැන්ම පෙනෙන්නට පටන්ගෙන ඇති නිසාය.
---


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd