ලංකා ආර්ථිකය පසුගිය දරුණු ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් මිදෙමින් අවුත්, මේ වසරේ මුල් කාර්තුව වනවිට යම් සාධනීය මට්ටමකට ළඟා වෙමින් පැවැතියේය. කෙසේ වුව ද, එය ස්ථාවර මට්ටමක් නොවීය. සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව සෘණ මට්ටමක පැවැති උද්ධමනය ධන අගයක් දක්වා පැමිණ තිබූ අතර, අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
එමෙන්ම, මුල් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක් දක්වා ඉහළ ගිය බව ද නිල දත්ත මගින් අනාවරණය කෙරිණි. එහෙත් මේ සාධනීය තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, පළමු කාර්තුවේ අගභාගයේ දී දේශීය ආර්ථිකය තුළ නැවතත් අර්බුදකාරී වාතාවරණයක් මතුවිය. ඉරානය කේන්ද්‍ර කරගනිමින් ඇති වූ යුදමය තත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයේ බලපෑම් රැසක් නිර්මාණය වූයේය. විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ඇති වූ අර්බුදයත්, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුවීමත් හේතුවෙන් ගෝලීය ඉන්ධන සහ ගෑස් ප්‍රවාහන කටයුතුවලට දැඩි බාධා එල්ල විය. මේ තත්වය යටතේ නාවික රක්ෂණ වියදම් ඉහළ යාම නිසා ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක් විය.
මෙම ගෝලීය බලශක්ති අර්බුදය, ලාංකේය ආර්ථිකයේ පැවැති දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අපේ රටට ඉතාමත් අහිතකර ලෙස බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල, විදුලි ගාස්තු සහ ප්‍රවාහන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිය අතර, මෙම සමස්ත ක්‍රියාවලිය දේශීය ආර්ථිකයට මෙන්ම පොදු ජනතාවගේ ජීවන තත්වයට ද දැඩි ලෙස බලපෑවේය.
පවතින යථාර්ථය සහ නවතම සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රටේ දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. ලෝක බැංකු වාර්තාවලට අනුව මෙරට දරිද්‍රතාව සියයට 20ත් 22ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2019 වසරට පෙර පැවැති තත්වයට වඩා දෙගුණයක ඉහළ යාමකි. මේ අනුව රට නැවතත් 2022 වසරේ පැවැති දරුණු ආර්ථික අර්බුදකාරී මට්ටමටම ඇද වැටී ඇත. මෙලෙස අලුතින් දරිද්‍රතාවට පත් වූයේ මීට පෙර දරිද්‍රතා සීමාවට ආසන්නයේම ජීවත් වූ පිරිසයි. පසුගිය අප්‍රේල් මාසයේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දරිද්‍රතා රේඛාව නැවත සංශෝධනය කරනු ලැබීය. ජනවාරි මාසයේ දී පුද්ගලයකුට ජීවත් වීම සඳහා මසකට අවශ්‍ය අවම ආදායම රුපියල් 16,730ක් ලෙස සටහන් වුව ද, අප්‍රේල් මාසය වනවිට එය රුපියල් 17,117ක් දක්වා ඉහළ දමනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දරිද්‍රතා රේඛාවට ඉහළින් සිටි විශාල පිරිසක් නැවතත් දරිද්‍රතාවෙන් පෙළෙන්නන් බවට පත් වූහ. මෙසේ අලුතින් දරිද්‍රතාවට ඇද වැටුණේ මීට පෙර දුප්පත් නොවන මට්ටමක පසු වූ, ස්ථාවර මාසික වැටුපක් ලැබූ මෙරට මධ්‍යම පාන්තික ජනතාවයි. බඩු මිල ඉහළ යාම සහ උද්ධමනය හේතුවෙන් ස්ථාවර ආදායම් ලබන්නන්ගේ මූර්ත ආදායම හෙවත් වැය කළ හැකි සැබෑ ආදායම සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, මෙම අලුත් ආර්ථික කඩාවැටීමේ සෘජු ගොදුර බවට පත් වී ඇත්තේ මෙරට මධ්‍යම පන්තිය බව පැහැදිලිවම හඳුනාගත හැකිය.
දේශීය ආර්ථිකය තුළ උද්ධමනය, බදු ප්‍රතිපත්තිය සහ රුපියලේ අගය අවප්‍රමාණය වීම යන කරුණු සැලකූ විට වත්මන් තත්වය වඩාත් බරපතළ වී තිබේ. නවතම ගණන් බැලීම්වලට අනුව, පසුගිය මැයි මාසයේ දී සියයට 5.5ක් ලෙස සටහන් වූ උද්ධමන අනුපාතය, ජුනි මාසය වන විට සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් ඇත. මැයි මාසයේ දී උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාමයි. එහෙත් ජුනි මාසයේ දී උද්ධමනය තවදුරටත් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වූයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාමයි. දේශීය වෙළෙඳපොළේ මෙලෙස භාණ්ඩ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම උද්ධමනය වැඩිවීමට සෘජුවම බලපෑවේය. ඉන්ධන මිල, විදුලි බිල සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමට සමගාමීව, පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20ක පමණ ප්‍රමාණයකින් අවප්‍රමාණය වීම ද මීට හේතු විය. විශේෂයෙන්ම, පසුගිය ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 313ක් ලෙස පැවැතුණ ද, මේ වනවිට එය රුපියල් 341ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත. මේ අයුරින් රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වීම, දේශීය වෙළෙඳපොළේ ආනයනික මෙන්ම අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළ යාමට ප්‍රබලම හේතුවක් වී ඇත.
අපේ රටේ දේශීය පරිභෝජන රටාවක් පවතින බව පැවැසුව ද, පරිභෝජනය කරනු ලබන භාණ්ඩවලින් බහුතරයක් ආනයනික භාණ්ඩ වෙයි. රුපියලේ අගය අවප්‍රමාණයවීම හේතුවෙන් මෙම ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිය අතර, එය ජනතාවගේ ජීවන වියදම අධික වීමට සෘජුවම බලපෑවේය. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා ප්‍රකාරව, රජය සැමවිටම උත්සාහ කරන්නේ සිය ඉලක්කගත බදු ආදායම් සපුරා ගැනීමටය. ඒ වෙනුවෙන් රජය බදු අනුපාත සංශෝධනය කළ අතර, මීට පෙර බදු නොගෙවූ විශාල පිරිසක් බදු දැලට හසු වන සේ දේශීය ආදායම් බදු පනත ද සංශෝධනය කළේය. මේ අයුරින් බදු ක්ෂේත්‍රයේ ජනතාවගේ ජීවන මට්ටමට සෘජුවම බලපෑම් එල්ල කරන සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු කරනු ලැබීය. බදු ගෙවන ජනතාවට රජයෙන් සාපේක්ෂ ප්‍රතිලාභයක් හෝ සහනයක් හෝ නොලැබෙන්නේ නම් සිදු වන්නේ ඔවුන්ගේ ජීවන තත්වය තවදුරටත් පහත වැටීමයි. එයින් ජනතාවගේ මූර්ත ආදායම පහත වැටේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මීට පෙර ස්ථාවර මට්ටමක සිටි මධ්‍යම පාන්තික ජනතාව අලුතින් දුප්පතුන්ගේ ගොඩට එකතුවන අතර, දැනටමත් දුප්පත්කමින් පීඩා විඳිමින් සිටි ජනතාව තවදුරටත් දැඩි පීඩනයකට ලක්වෙමින් අන්ත දරිද්‍රතාවට ඇද වැටෙති.
අනෙක් අතට, ඉන්ධන ආනයනය සඳහා ද අධික පිරිවැයක් දැරීමට රජයට සිදු විය. රට තුළ ඉන්ධන පරිභෝජනය අඩු වී නොමැති අතර, QR ටා ක්‍රමවේද තිබුණ ද දේශීය ඉන්ධන භාවිතයේ අඩුවීමක් දක්නට ලැබුණේ නැත. බාල ගල්අඟුරු භාවිතය නිසා ජනනය කරගත නොහැකි වූ විදුලි ඒකක පියවා ගැනීම සඳහා අධික ලෙස ඩීසල් බලාගාර භාවිත කිරීම මීට ප්‍රධාන හේතුවකි. ඒ අනුව ඉන්ධන සඳහා වන ඩොලර් ඉල්ලුම තවදුරටත් ඉහළ ගියේය. දේශීය මුදලේ අගය මෙලෙස බිඳ වැටීමට ප්‍රධානතම හේතුව රජය සහ බලධාරීන් විදේශ විනිමය නිසිලෙස කළමනාකරණය නොකිරීම බව හොදින්ම පෙනීයයි.
විවෘත ආර්ථිකය යනු ඕනෑම භාණ්ඩයක් සීමාවකින් තොරව ආනයනය කිරීම නොවේ. රටේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට සහ ජනතාවගේ ජීවන මට්ටමට අහිතකර බලපෑමක් නොවන අයුරින් ආනයන සීමා කිරීමට රජය මැදිහත් විය යුතුය. රටක අපනයන ආදායම සියයට 15ක් වෙද්දී, ආනයන වියදම සියයට 30ක් දක්වා ඉහළ යන්නේ නම් එම රටේ දේශීය මුදල පිරිහීම වැළැක්විය නොහැකිය.
මෙරට දරිද්‍රතාව අවම කිරීමට යොදාගත් උපක්‍රමයක් ලෙස සහනාධාර වැඩසටහන් අනුමත කළ නොහැකිය. මන්දයත්, මෙමගින් සිදු වන්නේ දුප්පත් ජනතාව තවදුරටත් දුප්පත්භාවයටම ඇද වැටීමයි. 1980 ගණන්වල දී ‘ජනසවිය‘ ආරම්භ කළ අතර 1995 වසරේ දී ‘සමෘද්ධි‘ ව්‍යාපාරය ආරම්භ කෙරිණි. වර්තමානය වන විට ‘අස්වැසුම’ සුබසාධක වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙම සමස්ත ක්‍රියාවලි දෙස බැලීමේ දී පෙනී යන්නේ දවසින් දවස දුප්පතුන්ගේ සංඛ්‍යාව ඉහළ ගියා මිස එහි අඩුවීමක් සිදු නොවූ බවයි. මෙම ක්‍රමවේද සාර්ථක වී නම් මේ වනවිට රටේ නිරපේක්ෂ දරිද්‍රතාව සැලකිය යුතු ලෙස අඩුවිය යුතුව තිබුණි. මෙවැනි වැඩසටහන් ආරම්භ කරනු ලබන්නේ ‘සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළවල්‘ වශයෙනි. සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් යනු තරගකාරී ආර්ථික ක්ෂේත්‍රයේ ඊට මුහුණ දීමට නොහැකි වන පිරිස් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කරනු ලබන උපකාරයකි. කෙසේ වුව ද, සැබෑ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් රටකට අත්‍යවශ්‍ය වෙයි. එය ක්‍රියාත්මක විය යුත්තේ සමාජයේ අන්ත දරිද්‍ර කණ්ඩායම්වලට අත්වැලක් වන පරිදිය. ආබාධිත පුද්ගලයන්, නිදන්ගත රෝගීන්, වයස්ගත වූවන් මෙන්ම ආදායම් ඉපයීමට නොහැකි කායික හෝ මානසික දුර්වලතාවලින් පෙළෙන පිරිස් වෙනුවෙන් රජයේ රැකවරණය සැලසීම මෙහි සැබෑ අරමුණ විය යුතුය.
වත්මන් ‘අස්වැසුම‘ වැඩසටහන යටතේ මුලින් පවුල් මිලියන 1.6කට ප්‍රතිලාභ ලබා දුන් අතර, අද වන විට එය පවුල් මිලියන 1.3ක් දක්වා අඩු කර තිබේ. ඒ අනුව අන්ත දිළිඳු පවුල් ලක්ෂ 9ක් සහ දිළිඳු පවුල් ලක්ෂ 4ක් ලෙස එය වර්ගීකරණය කර ඇත. එසේ වුව ද, ප්‍රතිලාභ ලැබිය යුතු නියමිත පුද්ගලයන් හඳුනාගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණය තවමත් ශක්තිමත් නැත. එහි ප්‍රතිඵලයක් ලෙස සැබෑ ලෙසම දුප්පත් නොවන, සුදුසුකම් රහිත විශාල පිරිසක් තවදුරටත් මෙම සහනාධාරලාභීන්ගේ ලැයිස්තුවේ රැඳී සිටිති.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සැලකිය යුතු දායකත්වයක් සපයනු ලබන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසිනි. සමස්තයක් ලෙස ලංකාවේ සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් සියයට 75ක්ම අයත් වන්නේ මෙම සුළු හා මධ්‍ය පරිමාණ ගණයටය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යනු වෙළෙඳපොළේ ඇති වන සුළු තිගැස්මකින් පවා ක්ෂණිකව අර්බුදයට ලක්විය හැකි සංවේදී අංශයකි. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලින් විශාල දායකත්වයක් ලැබෙන බැවින්, රජය මෙම අංශයේ ගැටලුවලට විසඳුම් ලබා දීමට විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
ඕනෑම රටක ආර්ථිකයක් දියුණුවීමට නම් පෞද්ගලික අංශය ප්‍රමුඛ කරගත් ආර්ථික ක්‍රියාවලියකට ප්‍රමුඛත්වය දිය යුතුය. එහිදී රජයේ ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ ව්‍යාපාර සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ අවශ්‍ය ශ්‍රම බළකාය ගුණාත්මකව ශක්තිමත් කිරීමයි.
විශේෂයෙන්ම, රට තුළ ආකර්ෂණීය ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට රජය වහාම අවධානය යොමු කළ යුතුය. ආයෝජකයන්ට ඉතා පහසුවෙන් ආයෝජනය කළ හැකි අවස්ථා සලසා දිය යුතු අතර, ව්‍යාපාර කිරීම පහසු කිරීමේ දර්ශකය ඉහළ නැංවීම සඳහා සුදුසු වටපිටාවක් සකස් කළ යුතුය.
එමෙන්ම, රාජ්‍ය අංශයේ පවතින අකාර්යක්ෂමතාව, වංචාව සහ දූෂණය තුරන් කිරීම සඳහා වන ප්‍රධානතම පිළියමක් ලෙස රාජ්‍ය ව්‍යුහය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතුය. මීට අමතරව, අපට ඉක්මනින් විදේශ විනිමය ඉපයිය හැකි ප්‍රධානතම මාර්ගයක් වන සංචාරක කර්මාන්තය මීට වඩා දියුණු කිරීමට රජයේ වැඩි අවධානයක් යොමු විය යුතුය. අවසාන වශයෙන්, ඕනෑම රටක ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වන කෘෂිකාර්මික අංශය නවීන තාක්ෂණය මුසු කරමින් වඩාත් ඉහළ මට්ටමකට නැංවීම සඳහා රජය මීට වඩා සක්‍රිය ලෙස මැදිහත් විය යුතුව ඇත.
(*** සටහන - ශෂිකා අබේරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd