මෑත ඉතිහාසයේ අප රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදී යළිත් ස්ථාවර ආර්ථික වර්ධනයක් සමගින් අනෙකුත් සියලුම ආර්ථික දර්ශකවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගනිමින් පවතී. රාජ්‍යයක පැවැත්ම, පොදු මහජන සුබසාධනය මෙන්ම තිරසර සංවර්ධනයකින් පුරවැසියන්ගේ ජීවන තත්වය ඉහළ තලයකට ඔසවා තැබීම තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය පදනමයි. මෙය ස්ථාපිත කිරීමේ දී ප්‍රමුඛ වන “රාජ්‍ය බදු ආදායම” ස්ථාවර මෙන්ම ශක්තිමත්ව වර්ධනය වන තත්වයක පවත්වාගත යුතුය.
මේ සඳහා දරන උත්සාහයේ කැපී පෙනෙන ලෙස බදු ප්‍රතිපත්තියේ ධනාත්මක වෙනස්කම් සිදු කර තිබේ. එයට සමගාමීව බදු අනුකූලතාව ද ප්‍රවර්ධනය කළ යුතු බවට විවාදයක් නැත. මේ සඳහා නිරන්තරව මහජනතාව දැනුවත් කිරීම, ආකල්ප වෙනස් කිරීම, උපකාරක සේවා සැපයීම මෙන්ම ඔවුන් සමග යහපත් සංවාදයක් පවත්වා ගැනීම කළ යුතුය. මේ සඳහා සිදු කරන සාමාන්‍ය ක්‍රමවේදවලින් බැහැරව සුවිශේෂ මැදිහත්වීමක් කිරීමට “බදු ශක්ති” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය බදු ආදායම 1978 වසරේ දී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 24 ක් පමණ විය. පසුව එය අනුක්‍රමයෙන් අඩුවී 2022 වසරේ දී සියයට 7.3 ක් දක්වා අවම අගයකට පත් විය. වසර කීපයක් හැරුණ විට ආර්ථික වෘද්ධිය සමගින් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්වීම් පැවැති ඉහත සඳහන් කළ කාලපරිච්ඡේදයේ දී සැබැවින්ම අය කළ හැකි බදු ආදායමෙන් (විභව බදු ආදායම) විශාල කොටසක් අහිමි කරගැනීමට පැවැති සෑම ආණ්ඩුවකටම සිදුවිය. මෙහි තර්කානුකුල අවසානය ලෙස අයවැය හිඟයේ පීඩනය දරාගත නොහැකි වීම, දෙස් විදෙස් රාජ්‍ය ණය ප්‍රසාරණය, අධික උද්ධමන පීඩනය සමගින් අවසාන වශයෙන් “බංකොලොත් රාජ්‍යයක්” බවට ද පත් විය. එම දුෂ්කර අවස්ථාවේ සහායට පැමිණි අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) ඇතුළු දැනුම් තේරුම් සහිත සියලු දෙනා පෙන්වා දුන්නේ, විභව බදු ආදායම රැස්කළ යුතු බවය. මේ සඳහා ප්‍රමුඛ බාධකයක් වන බදු ප්‍රතිපත්තියේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ කළ යුතු විය. විශේෂයෙන්ම අතාර්කික බදු නිදහස් කිරීම්, විශේෂ සහන බදු අනුපාත මෙන්ම අඩුකිරීම් සහ සුදුසුකම් ලබන ගෙවීම් යළි සමාලෝචනය කරනු ලැබීය. අවසානයේ ඒවා සංශෝධිත බදු පනත් මගින් රටේ සාමාන්‍ය නීති බවට ද පත් කර අවසන්ය. ඉතිරිව තිබෙන්නේ බදු පදනම තවදුරටත් පුළුල් කරමින් බදු අනුකූලතාව ප්‍රවර්ධනයයි.
ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් කල්පසු වී හෝ විභව බදු ආදායම භාණ්ඩාගාරය වෙත රැස් කළ යුතුය යන ස්ථාවරයට පැමිණ තිබීම යහපත් ප්‍රවණතාවකි. එයට සමගාමීව බදු පරිපාලනය සිදු කරන ආයතන ද පෙරට වඩා උනන්දුවකින් හා කාර්යක්ෂමව කටයුතු කිරීම හේතු කරගෙන රජයේ බදු ආදායම අඛණ්ඩව වර්ධනය වන බව අදාළ දත්ත පරීක්ෂාවෙන් වටහා ගත හැකිය. ඒ අනුව මෙරට රාජ්‍ය බදු ආදායමෙන් අඩකට වැඩි කොටසකට දායකත්වය සපයන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පමණක් 2025 වර්ෂය සඳහා රුපියල් ට්‍රිලියන 2.2 ක් ඉක්මවන බදු ආදායමක් රැස්කර තිබේ. එම ඉලක්කය සපුරා ගැනීමේ දී දක්වන ලද කාර්යක්ෂම බව නිසාම 2026 සඳහා ලබාදුන් ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ දැවැන්ත ඉලක්කය ද වසර අවසන් වන විට සපුරාගත හැකි බවට විශ්වාසය වර්ධනය කරමින් මෙම වසරේ ජුනි මාසය අවසන්වීමට ද පෙර රුපියල් ට්‍රිලියනය ඉක්මවන බදු ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කළේය.
කෙසේ වෙතත් බදු අනුකූලතාවේ ගැටලු බොහොමයක් තවමත් පවතින අතර ඒවා විසඳාගැනීමට බදු පරිපාලනය විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබමින් පවතී. ඒ අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් වෙතය. මෙහි ප්‍රමුඛ වැඩසටහනක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන රාජ්‍ය බදු රැස්කරන්නන් තිදෙනාගෙන් සමන්විත වැඩසටහනක් ලෙස බදු ශක්ති ආරම්භකර තිබේ. ඒ හා අත්වැල් බැඳගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදු කරන බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ කාලය තුළ තව තවත් පුළුල් කර තිබේ.
මෙමගින් මහජනතාවට බදු පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා දී මෙරට ආර්ථික ස්ථාවරත්වයට බදු දායක වන ආකාරය පැහැදිලි කරමින් බදු සාක්ෂරතාව ප්‍රවර්ධනයට කටයුතු කරනු ලැබේ. එමගින් මහජනතාවගේ බදු ක්‍රියාවලිය කෙරෙහි පවතින බිය සහ අකැමැත්ත අවම කර සුහදශීලී පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අතර මේ වන විටත් ආරම්භ කර ක්‍රියාත්මක කරන සහ අනාගතයේ දී තවත් වර්ධනය වන “ඩිජිටල් බදුකරණය”ට අදාළ දැනුවත් කිරීම් වැඩි වශයෙන් සිදු කිරීමට අපේක්ෂා කරනු ලැබේ. එසේම ඩිජිටල්කරණය බදු අනුකුලතාව ප්‍රවර්ධනයට යොදාගන්නා ආකාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS හරහා තවදුරටත් පැහැදිලි කරන අතර එහි ප්‍රායෝගික භාවිතය පිළිබද බදු ගෙවන්නන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.
විශේෂයෙන්ම තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ආකල්ප වර්ධනය කරමින් අධ්‍යාපන පද්ධතිය හරහා අනුකූලතාව වර්ධනය කිරීමට නිරතුරුවම උත්සාහය කරනු ලැබේ. ඒ අනුව පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමේ බදු අධ්‍යාපනය පුළුල් කිරීමට කටයුතු කරන අතර එම කණ්ඩායම ඉලක්ක කරගත් විශේෂ දැනුවත් කිරීම් වැඩසටහන් සංවිධානය වේ. පවතින අත්දැකීම් අනුව තරුණ පරපුර නව තාක්ෂණික මෙවලම් සමගින් සමීපව කටයුතු කිරීම හේතු කරගෙන මාර්ගගත වේදිකා හරහා ඉතා පහසුවෙන් සම්බන්ධ වේ. එසේම තරුණ පරම්පරාව ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාව වෙත තාක්ෂණික මෙවලම් හැසිරවීමේ දී උපකාර කරමින් බදු අනුකූලතාව වර්ධනයට සහායවන බව නිරීක්ෂණය වේ. මෙය ඉතා ධනාත්මක ප්‍රවණතාවක් ලෙස ද හඳුනාගත හැකිය.
එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) සතුව පවතින බදු දැනුමේ අඩු බව නිසාම ඔවුන්ගේ අනුකූලතාව අඩුවන බව නිරික්ෂණය වී තිබේ. මෙයට විසඳුමක් ලෙස එම කණ්ඩායම් ඉලක්ක කර බදු ගණනය කරගැනීම හා වාර්තා ඉදිරිපත් කිරීම පිළිබද ප්‍රායෝගික දැනුවත් කිරීම් දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් දිවයින පුරා සංවිධානය කර තිබේ. බදු පිළිබඳ පවතින අනියත බියත් තම ව්‍යවසායන්ගේ ආදායම් වියදම් ආදි බදුකරණයට අදාළ දත්ත පවත්වා නොගැනීමත් පරිගණක සාක්ෂරතාවේ පවතින දුර්වලතාත් මේ කණ්ඩායමේ අනුකුලතාව අඩුවීමට හේතුවන බව හඳුනාගත හැකිය. එම අඩුපාඩු නිවැරැදි කිරීමට උපකාර කරමින් ඔවුන් යහපත් බදු ගෙවන්නන් බවට පත් කිරීම වෙනුවෙන් නිරන්තර දැනුවත් කිරීම් කරනු ලැබේ.
සියලුම පුරවැසියන් සෘජු බදු සහ වක්‍ර බදු ගෙවමින් රාජ්‍ය ආදායමට දායක වන අතර ඔවුන් ආදායම් බදු ගෙවමින් සෘජු බදු සඳහා දායක වන බවත් එකතු කළ අගය මත බදු (VAT) ගෙවමින් වක්‍ර බදු සඳහා දායක වන බවත් ජනතාවට සරලව තෙරුම් කර දීම අවශ්‍ය වේ. එලෙස රැස් කරන බදු මුදල් භාවිත කර රජය විසින් පොදු සේවා පවත්වා ගනිමින් ද යටිතල පහසුකම් ආදිය වෙනුවෙන් ආයෝජනය කරමින් ද මහජන ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව සපයමින් ද ගෙවන බදු වෙනුවෙන් නැවත සියලු දෙනාටම ප්‍රතිලාභ හිමිකර දෙන බව මහජනතාවට තේරුම් කර දීම අත්‍යවශ්‍ය වේ. එමගින් බදු මගහැරීමේ ප්‍රවණතාව අවම කළ හැකි අතර රජය බදු මුදල් විනිවිදභාවයෙන් භාවිත කරන බැවින් ජනතා විශ්වාසය අඛණ්ඩව වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතී. මෙය අනුකූලතා වර්ධනයට ප්‍රබල අත්වැලක් සපයන අතර ඒ බව තහවුරු කරමින් දිනෙන් දින රැස්වන බදු ආදායම ද වර්ධනය වෙමින් තිබේ.
බදු ප්‍රතිපත්ති නිවැරැදිව තේරුම් කර දෙමින් මහජනතාව බදු පිළිබදව දැනුවත් කිරීමටත් ඔවුන්ගේ අනුකුලතාව වර්ධනයටත් උපකාර කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය සේවා පුළුල් කරමින් ඩිජිටල්කරණය වෙමින් පවතී. ඒ අනුව බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගැනීමේ සිට බදු ගෙවන්නන්ගේ තොරතුරු යාවත්කාලින කිරීම, බදු ගෙවීම, බදු වාර්තා ඉදිරිපත් කිරීම, බදු අභියාචනා, ආපසු ගෙවීම් ලබා ගැනීම ආදී කාර්යයන් RAMIS මගින් ලොව ඕනෑම ස්ථානයක සිට පැය 24 තුළම ඉටු කරගත හැකි පරිදි බදු පරිපාලනය තුළට තාක්ෂණය එක් කර ඇත.
මේ සියල්ල කළත් තම කැමැත්තෙන් බදු සඳහා ලියාපදිචිය ලබා නොගන්නා, ගෙවිය යුතු බදු නොගෙවන, අදාළ බදු වාර්තා නිසි වේලාවට භාර නොදෙන සහ බදු පරිපාලනයේ කැඳවීම්වලට සහාය නොදෙන පිරිසක් ද සිටිති. එසේ අනුකූල නොවන පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන අතර ඒ කිසිවකට ද අනුගත නොවන්නන්ට අදාළ නීතිමය පියවර ද අනුගමනය කිරීමට සිදුවේ. මේ සඳහා දේශීය ආදායම් පනතට සංශෝධන ගෙන එමින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැනටමත් සම්පාදනය කර තිබේ. එමගින් දඩ පැනවීම මෙන්ම අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමටත් බලය ලබා දී ඇත. ඒ අනුව අදාළ වැරැදි සඳහා අධිකරණයකින් වරදකරු වන තැනැත්තකුට දඩ හෝ සිරදඬුවම් හෝ මේ දෙකම පැනවිය හැකිය. එම නිසා අනිවාර්යයෙන්ම බදු සඳහා අනුකූලතාව දැක්වීම සියලුම පුරවැසියන්ගෙන් හා ආයතනවල වගකීමකි.
වර්තමානයේ දී තාක්ෂණය උපරිමයෙන් භාවිත කරමින් බදු ගෙවන්නන්ගේ තොරතුරු එක්රැස්වන ක්‍රමවේද හඳුන්වා දී ඇත. ඒ අනුව බැංකු ගනුදෙනු, මෝටර් රථ ලියාපදිංචිය, සියලුම රේගු ගනුදෙනු, ඉඩම් ගොඩනැගිලි මිලදී ගැනීම්, විවිධ සේවා සැපයීම් සහ බදු අයකිරීමට අදාළ කරගත හැකි තවත් බොහෝ තොරතුරු නිරතුරුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබේ. ඒ සියල්ල මගින් අදාළ තැනැත්තන්ගේ බදු බැඳියාව පිළිබඳ නිගමනවලට එළැඹීම පහසු කරන අතරම බදු බැඳියාව සම්බන්ධ ඉතා ප්‍රබල සාක්ෂි සම්පාදනය කරනු ලැබේ. එබැවින් පෙර පරිදි තවදුරටත් බදු මගහැරීම හෝ තොරතුරු සඟවා තැබීම පහසු නැත.
ගෙවිය යුතු නියමිත බද්ද නීතියට අනුකූලව අය කිරීම බදු පරිපාලකයන්ගේ වගකීම වේ. මෙලෙස බදු අයකිරීම යනු රටක පුරවැසියන් හා ආයතන පීඩාවට පත් කරන්නක් ද නොවේ. එය රටේ සංවර්ධනයට හා අනාගත පරපුරේ සුරක්ෂිභාවයට කරන ආයෝජනයකි. එම නිසා නිවැරැදි බදු ප්‍රතිපත්ති අනුගමනය කර බදු අනුකූලතාව ආරක්ෂා කර ගනිමින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලුම පාර්ශ්වවල වගකීමකි. එලෙසම අයකරන බදු එලදායීව හා අරපිරිමැස්මෙන් භාවිත කර අප රට ඉහළට ඔසවා තැබීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇතැයි මහජනතාව නිරතුරුවම බලාපොරොත්තු වේ. එම නිසා බදු පරිපාලන ආයතන ද මහජනතාව දැනුවත් කරමින් කාර්යක්ෂම හා සුහදශීලී සේවා සපයමින් උපකාර කිරීමට සෑදී පැහැදී සිටිය යුතුය. මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිබඳව සූදානමින් සිටී. එබැවින් මේ සියල්ලේ සංකලනයකින් පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ කාලය පැමිණ තිබේ.
(***)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd