ශ්‍රී ලංකාව බලශක්ති පිරිවැය හා වෙළෙඳපොළ කළමනාකරණය කිරීමේ දී අවදානමට ලක්ව සිටියි. 2025 වර්ෂයේ දී ඉන්ධන, අපගේ ආනයන වියදමේ සියයට 18.8ක් හෙවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 4,042.5 ක්වූ අතර, එය අපගේ ආනයන ව්‍යුහයේ විශාලතම අයිතමය විය. මෑත වසරවල ලංකාවේ වාර්ෂික ඉන්ධන ආනයන බිල ගෝලීය මිල ගණන් අනුව ඩොලර් බිලියන 3.5 සිට ඩොලර් බිලියන 5 දක්වා පරාසයක් තුළ දෝලනය විය. ගෝලීය තෙල් සැපයුමේ මිල සුළු වශයෙන් ඉහළ ගියද, ලංකාවට ඒ බලපෑම දැඩි ලෙස දැනෙනු ඇත.

මැදපෙරදිග ගැටුම හේතුවෙන් ඛනිජ තෙල් ආනයන පිරිවැය සියයට 35කින් ඉහළ යන්නේ යැයි සිතා ගතහොත්, ලංකාවේ වාර්ෂික ආනයන බිල ඩොලර් බිලියන 1.5කින් ඉහළ යා හැකිය. එහෙත් වත්මන් ඉරාන අර්බුදය අපගේ සිතාගැනීමෙන් ඔබ්බට ඉතා බැරෑරුම්ව විහිදෙන බවට සංඥා නිකුත් වෙමින් පවතී. අර්බුදය දිගු කාලයක් පැවැතුණහොත්, ලංකාවේ වාර්ෂික ඉන්ධන ආනයන බිල ඩොලර් බිලියන 2කට වඩා ඉහළ යා හැකිය. ලංකා ආර්ථිකයේ දැනට පවතින මට්ටම අනුව අපට එය දරාගත නොහැකි මට්ටමකට ළඟාවනු ඇත.

බලශක්ති ආනයන පිරිවැය ඉහළ ගියහොත්, විදේශ සංචිත ගොඩනැංවීම දුර්වලවීමට සහ විනිමය අනුපාතිකය මත පීඩනයක් ඇතිවීමට ඉඩ කඩ ඇත. රජය සහ මහබැංකුව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7ක් ලෙස දළ විදේශ සංචිත වාර්තා කළද, භාවිත කළහැකි විදේශ සංචිත ප්‍රමාණය ඊට අඩු, ඩොලර් බිලියන 5.5ට ආසන්නව පවතී. බලශක්ති අර්බුදය හේතුවෙන් ආනයන බිල ඉහළ ගියවිට, මෙම විදේශ සංචිත ප්‍රමාණය අඩුවේ. ඉරාන යුද්ධය, විදේශ ප්‍රේෂණ, සංචාරක ඉපයුම් සහ භාණ්ඩ අපනයන ආදායම් පහළ යාම හරහා විදේශ සංචිත ප්‍රමාණය තවදුරටත් අඩු වුවහොත්, දේශීය මුදල් ඒකකයේ අගය ක්ෂය වීමට පීඩනයක් ඇති කරයි. ආනයන පිරිවැය තවදුරටත් ඉහළ ගොස්, විදේශ සංචිත පහළ ගොස් විනිමය අනුපාතිකය තවදුරටත් අවප්‍රමාණයවීමට / ක්ෂයවීමට ලක්වේ.

 

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යාම

වෝල්රසියානුපන්නයේ මිල ඉහළ යෑම් තුනක් මාර්තු මාසයේ පළමු සති 03 තුළ වෙළෙඳපොළේ යම් අසමතුලිතතාවක් ඇතිවූවිට මිල ගැළපීම් හරහා සමතුලිතතාවකට පත්කර ගැනීමේ උත්සාහ තුනක් මෙම මස තුළ සිදු කරන ලදී. පළමු සංශෝධනය 2026 මාර්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ අතර, එය සුළු ගැලපීමකි. පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 1කින් රුපියල් 293 දක්වා, ඔටෝ ඩීසල් රුපියල් 4කින් රුපියල් 281 දක්වා, සහ සුපර් ඩීසල් රුපියල් 6කින් රුපියල් 329 දක්වා ඉහළ ගිය අතර, පෙට්‍රල් 95 සහ භූමිතෙල් මිල නොවෙනස්ව පැවැතිණි.

දෙවැනි සහ සැලකිය යුතු මිල සංශෝධනය මාර්තු 9 වැනිදා සිට ක්‍රියාත්මක විය. පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 24කින් රුපියල් 317 දක්වා, පෙට්‍රල් 95 රුපියල් 25කින් රුපියල් 365 දක්වා, ඔටෝ ඩීසල් රුපියල් 22කින් රුපියල් 303 දක්වා, සුපර් ඩීසල් රුපියල් 24කින් රුපියල් 353 දක්වා, සහ භූමිතෙල් රුපියල් 13කින් රුපියල් 195 දක්වා ඉහළ ගියේය.

තෙවැනි සහ දැනට විශාලතම සංශෝධනය 2026 මාර්තු 22 වැනිදා සිට ක්‍රියාත්මක විය. පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 81කින් රුපියල් 398 දක්වා, පෙට්‍රල් 95 රුපියල් 90කින් රුපියල් 455 දක්වා, ඔටෝ ඩීසල් රුපියල් 79කින් රුපියල් 382 දක්වා, සහ සුපර් ඩීසල් රුපියල් 90කින් රුපියල් 443 දක්වා ඉහළ ගියේය.

සමස්තයක් ලෙස ගත් කල, මාර්තු මාසයේ දින 22ක් ඇතුළත පෙට්‍රල් 92 රුපියල් 105කින් සියයට 36ක වැඩිවීමකින්, ඔටෝ ඩීසල් රුපියල් 101කින් සියයට 36ක වැඩිවීමකින් සහ සුපර් ඩීසල් රුපියල් 114කින් සියයට 35ක වැඩිවීමකින් වාර්තා කරමින් මිල ඉහළ ගොස් ඇත.

 

මාෂලියානු ප්‍රවේශය සහ ලංකාවේ QR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීම-2026 මාර්තු

මිල නිදහසේ ගැළපීමට ඉඩදීම වෙනුවට ප්‍රමාණය පාලනය කිරීම මාෂලියානු ප්‍රවේශයේ ඇති වැදගත්කමයි. QR ක්‍රමය 2026 මාර්තු 15 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලද අතර, යතුරුපැදි සඳහා ලීටර් 5ක්, මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා ලීටර් 15ක්, වෑන් රථ සඳහා ලීටර් 40ක්, බස්රථ සඳහා ලීටර් 60ක් සහ ලොරි රථ සඳහා ලීටර් 200ක් ලෙසට QR කෝටා ක්‍රමය හඳුන්වා දෙන ලදී. එහෙත්, මෙම කෝටා ක්‍රමය හඳුන්වා දුන් සැණින් විවේචනයට ලක් විය. ත්‍රිරෝද රථ රියැදුරන් සතිපතා ලීටර් 15ක් තම ජීවනෝපාය සඳහා ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරමින් අවම වශයෙන් ලීටර් 35ක් ඉල්ලා සිටි අතර, බස් රථ හිමිකරුවෝ ලීටර් 60 සිට ලීටර් 100 දක්වා වැඩි කිරීමට ඉල්ලා සිටියහ.

මෙම පීඩනයට ප්‍රතිචාර වශයෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාර්තු 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් කෝටාව ඉහළ නංවා යතුරු පැදි සඳහා ලීටර් 8ක්, මෝටර් රථ සඳහා ලීටර් 25ක්, ත්‍රිරෝද රථ සඳහා ලීටර් 20ක්, වෑන් රථ සඳහා ලීටර් 50ක් සහ බස් රථ සඳහා ලීටර් 100ක් වන ලෙස QR ක්‍රමය සංශෝධනය කරන ලදී.

කෙසේ නමුත් ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ දැන් පැහැදිලි බෙදීමක් සිදුව ඇත. CPC සහ Lanka IOC, Petrol 95 රුපියල් 455 කටත් Super Diesel රුපියල් 443 කටත් මිල නියම කරන අතර, Sinopec ඒ සඳහා පිළිවෙළින් රුපියල් 487 සහ රුපියල් 572 ක් අය කරයි. එනම් ලීටරයකට රුපියල් 32 සහ රුපියල් 129 ක වෙනසකි. සාමාන්‍ය ජනතාව භාවිත කරන ප්‍රධාන ඉන්ධන සපයන්නන් තිදෙනා අතර මෙතෙක් ඉතිහාසයේ සමානව පැවැති මිල ගණන් දැන් වෙනස් වී ඇත. මෙම ද්විත්ව මිල ක්‍රමය සැබෑ තරගකාරිත්වයක් ඇති නොකරන අතර, ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඉන්දියන් තෙල් සමාගමේ පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම්, මිල පරතරය නිසා නීත්‍යනුකූල නොවන ආකාරයේ අලෙවි කිරීම්, සහ ප්‍රවාහන ගාස්තු ඉහළයාමේ අවදානම ද ඇති කරයි. ඛනිජ තෙල් සංස්ථාවට ප්‍රිමියම් ශ්‍රේණිවල පිරිවැය-ඉක්මවූ ඉන්ධන සැපයීම නිතර පාඩු ඇති කරන අතර, ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල සමග එකඟවී ඇති රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීමට ද මෙය බරපතළ තර්ජනයක් වනු ඇත. මිල වෙනස කුඩා අගයක් වුවත්, මෙමගින් සිදුවන්නේ ආර්ථික දේහයේ ප්‍රකෘතිමත් තත්වය විකෘති කිරීමකි. තුන් වැනි පාර්ශවයක් වෙළෙඳපොළට පැමිණීම නිසා ද්වීඅධිකාරයක් යටතේ පැවැති ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවල තරගකාරීත්වය වැඩිවීම මගින් මිල පහළ යාමක් බලාපොරොත්තු වුවද දැන් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයකි. මෙම තත්වය නියාමනය කිරීමට රජය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුය.

 

ශ්‍රී ලංකා ඉන්ධන අර්බුදය- වාසි ලබන්නේ කවුද? පාඩු ලබන්නේ කවුද?

මිල ගැලපීම (වෝල්රසියානු ප්‍රවේශය) සහ කෝටාක්‍රමය (QR/ මාෂලියානු ප්‍රවේශය) යටතේ විවිධ පාර්ශ්වකරුවන්ට සිදුවන බලපෑම් කෙටියෙන් අවබෝධ කර ගනිමු.

 

පවුල් හා ගෘහස්ථ ඒකක මත ඇති කරන බලපෑම:

අඩු ආදායම්ලාභී පවුල්වලට මිල ක්‍රමය යටතේ ඉන්ධන ලබා ගැනීම අසීරුවන අතර, කෝටා ක්‍රමය ඔවුන් වෙළෙඳපොළ මිල ඉහළයාමෙන් ආරක්ෂා කරයි.

ඉහළ ආදායම් පවුල්වලට මිල ක්‍රමය යටතේ සීමාවකින් තොරව ඉන්ධන ලබා ගත හැකි නමුත් කෝටා ක්‍රමය යටතේ ලැබෙන ප්‍රමාණය ඔවුනට ප්‍රමාණවත් නොවේ.

 

ව්‍යාපාර හා කර්මාන්ත මත කරන බලපෑම:

ඉන්ධන සැපයුම්කරුවන්ට මිල ක්‍රමය ලාබදායී වන නමුත් කෝටා ක්‍රමය සැපයුම්කරුවන්ගේ ආදායම සීමා කරයි.

කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාරවලට මිල ක්‍රමය අසාධාරණ ආර්ථික බරක් ඇති කරන අතර, කෝටා ක්‍රමය ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු පහසු කරයි.

අපනයන කර්මාන්ත මෙම ක්‍රම දෙකෙන්ම අර්බුදයට ගමන් ගනී. ඔවුනට ව්‍යාපාර කටයුතු සුමටව කර ගැනීමේ හැකියාව මෙම ක්‍රම දෙක නිසාම නැතිවෙයි.

ජෙනරේටර් හා උපස්ථ බලශක්ති පරිශීලනය කරන්නන්ට කෝටා ක්‍රමය යටතේ නිරන්තර විදුලිය උත්පාදනයට ඉන්ධන ලබා ගැනීම කළ නොහැකියි.

 

වැඩ කරන ශ්‍රමිකය පන්තිය හා රැකියා මත කරන බලපෑම:

ධීවරයන්, ගොවීන් සහ ප්‍රවාහන සේවා ආශ්‍රිතව ආදායම් උපයන්නන් මිල ක්‍රමය යටතේ සෘජු බලපෑමකට ලක්වන අතර, කෝටා ක්‍රමය ඔවුන්ට තම රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා වාසිදායක වෙයි.

අවිධිමත් හා දෛනික සේවා සපයන්නන්ට කෝටා ක්‍රමය රැකියාවල ස්ථාවරත්වයක් ලබා දෙන නමුත් මිල ක්‍රමය ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි කරයි.

පොදු ප්‍රවාහනය භාවිත කරන මගීන්ට කෝටා ක්‍රමයෙන් ගාස්තු ස්ථාවර ලෙස තබා ගත හැකි නමුත් මිල ක්‍රමය මගී ප්‍රවාහන සේවා ගාස්තු නිරන්තරයෙන්ම ඉහළ නංවයි.

රජය හා සමස්ත සමාජයට වන බලපෑම:

රජයට මිල ක්‍රමය මගින් විශාල බදු ආදායමක් හා විදේශ විනිමයේ ස්ථාවරත්වයක් ඇති කර ගත හැකි අතර, කෝටා ක්‍රමය ඉහළ පරිපාලන පිරිවැයකට මඟ පාදන අකාර්යක්ෂම ක්‍රමයකි. සාධාරණත්වය දෙස බලන කල, කෝටා ක්‍රමය ඉන්ධන සාධාරණව බෙදාහරින නමුත් මිල ක්‍රමය ආර්ථික අසමානතාව වර්ධනය කරයි.  කාර්යක්ෂමතාව දෙස බලන කල, ඉන්ධන නිවැරැදිව සලාකනය කරනුයේ මිල ක්‍රමය මගිනි. කෝටා ක්‍රමය කළුකඩ වෙළෙඳාමට සහ අකාර්යක්ෂම සම්පත් ව්‍යාප්තියකට මග පාදයි. කෝටා ක්‍රමය යටතේ ඩිජිටල් ප්‍රවේශය නොමැති පුරවැසියන් සම්පූර්ණයෙන්ම එම ක්‍රමයෙන් බැහැර කෙරේ.

2026 මාර්තු 22 දා සිදුවූ සුවිශේෂතම සිද්ධිය වන්නේ මිල මගින් මෙන්ම ප්‍රමාණය මගින් ද ඛනිජ තෙල් වෙළෙඳපොළ අසමතුලිතතා නිවැරැදි කිරීමට රජය ක්‍රියා කිරීමයි. එබැවින් ඉහත දක්වා ඇති වාසිදායක තත්ව ද අවාසිදායක තත්ව බවට පරිවර්තනය වේ. එහෙත් තෙල් ව්‍යාපාරයේ යෙදෙන්නන්ගේ ලාබ ඉහළ නංවන අතර, රජයේ බදු ආදායම ද වැඩි වේ. විශේෂයෙන්ම ජනතාවගේ ජීවන තත්වය අයහපත්වීමටත් මිල ගණන් ඉහළ ගොස් උද්ධමනීය ප්‍රවණතා ආර්ථිකය තුළ මතුවීමටත් මෙම අක්‍රමවත් මිල සහ ප්‍රමාණ සංශෝධන හේතු වනු ඇත. ජනතාවගේ එදිනෙදා ජීවිතය දුක්ඛිත තත්වයට පත් කරන අතර සමාජ අසහනය වර්ධනය කරයි. 2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට හේතු වූ සාධකවලට වෙනස් වුව ද, ඒ හා සමාන ස්වරූපයක් ගත් ආර්ථික කම්පනයක මූලික සලකුණු අප ඉදිරියේ නැවත වරක් ඉස්මතුවන බව පැහැදිලිව නිරීක්ෂණයවේ. තෙල් අර්බුදය ආශ්‍රිතව මතුවෙමින් එන අපගේ ආර්ථික අර්බුදය නිවැරැදිව කළමනාකරණය කරගත නොහැකි වුවහොත් දේශපාලන අවුල් වියවුල් සහගත තත්වයක් ද රට තුළම නිර්මාණයවීමේ ඉඩ කඩක් ඇත.

 

(***)