මීගමුව බන්ධනාගාර ඛේදවාචකය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 28 දෙනකුට ජීවිත අහිමි විය. විශාල පිරිසකට තුවාල සිදුවිය. එම ඛේදවාචකයේ තවත් ආසන්න ප්‍රතිඵලයක් වන්නේ නව බන්ධනාගාර දෙකක් රටේ බන්ධනාගාර පද්ධතියට එකතුවීමය.
එසේම, සංස්කෘතික හා සංචාරක ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබූ ඓතිහාසික ඇහැලේපොළ වලව්ව ද ඇතුළත් වන 2014 වසරේ දී වසා දැමුණු බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය නැවත වරක් බන්ධනාගාරයක් බවට පත්වනු ඇත. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ක්‍රමයේ ඇතිවිය යුතු ප්‍රතිශෝධන පිළිබඳව ගැඹුරින් සලකා බැලීම සඳහා මීගමුව බන්ධනාගාර ඛේදවාචකයෙන් රටට අවස්ථාවක් සැලසී තිබේ.
විවිධ හේතු මත ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රැඳවියන් සහ නිලධාරීන් ඝාතනය වූ අවස්ථා රැසක් තිබේ. ඒවා අතර, 1983 ජූලි 25 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ දී රැඳවියන් 35 දෙනකු ඝාතනය කිරීම, ඉන් ටික දිනකට පසු ජූලි 27 වැනිදා තවත් රැඳවියන් 18 දෙනකු ඝාතනය කිරීම, 1997 කළුතර බන්ධනාගාරයේ දී රැඳවියන් තිදෙනකු ඝාතනය කිරීම, 2012 වැලිකඩ බන්ධනාගාරයේ දී රැඳවියන් 27 දෙනකු ඝාතනය කිරීම සහ 2020 මහර බන්ධනාගාරයේ දී රැඳවියන් 11 දෙනකු ඝාතනය කිරීම ආදිය වේ. මේ ආකාරයට බන්ධනාගාර තුළ රැඳවියන් හා නිලධාරීන් ඝාතනය වීම අවස්ථා ගණනාවකදීම සිදුව තිබුණ අතර මීගමුව බන්ධනාගාර ඛේදවාචකයෙන් පැහැදිලි වන්නේ ඒවා නවත්වා ගැනීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව සහ උපාය මාර්ග අනුගමනය කිරීම සම්බන්ධයෙන් අවුල් සහගත තත්වයක් පවතින බවයි.
බන්ධනාගාරවල විවිධ චෝදනාවලට වරදකරුවන් වී සිරගත කරන ලද පුද්ගලයන් මෙන්ම උසාවිවල විවිධ චෝදනාවලට ලක්වී රිමාන්ඩ් සිරභාරයේ තබා ඇති පුද්ගලයෝ ද වෙති. ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබුණ ද මෙවැනි ඝාතනවලින් පැහැදිලි වන්නේ සිරගතවීම හෝ රිමාන්ඩ් භාරයට පත්වීම ද මරණය ළඟා කර ගැනීමක් බවට පත්ව තිබෙන ආකාරයයි. මෙවැනි ඝාතන සිදු වූ අවස්ථාවල දී ඒ හා සම්බන්ධව සොයා බැලීම සඳහා සෑම අවස්ථාවකදීම පාහේ කමිටු පත්කර තිබේ. එසේ වුව ද එවැනි ඝාතන ඇතිවීම වළක්වා ගැනීම සඳහා වූ ක්‍රමවත් සහ විධිමත් වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පරිපාලනය විධිමත් කිරීම සඳහා නොයෙකුත් පියවර අනුගමනය කර ඇති බව වාර්තා වන නමුදු ඒවායේ සිදුවන අක්‍රමිකතා හා දූෂිත කටයුතු තවමත් වළක්වා ගැනීමට හැකියාවක් ලැබී නැත. දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ බන්ධනාගාර පැවැතුණ ද රැඳවියන්ට ජංගම දුරකතන භාවිත කිරීමට ඉඩ ලැබී ඇති ආකාරය කොතෙකුත් වාර්තා වේ. ඇතැම් අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිටම එම දුරකතන ආධාරයෙන් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බව රහසක් නොවේ. බන්ධනාගාර තුළ ද මත්ද්‍රව්‍ය සහ තහනම් කර ඇති දේවල් බොහොමයක් භාවිත කරන බව ද, අලෙවි කරන බව ද වාර්තා වී තිබේ.
මේ වනවිට බන්ධනාගාර පරිපාලනයට අවශ්‍ය තාක්ෂණ ක්‍රම සහ උපකරණ ඉතා දියුණු මට්ටමකට පත්ව තිබුණ ද ඉහත කී ක්‍රියා වැළැක්වීමට නොහැකි වී ඇත්තේ බන්ධනාගාර තුළින්ම එවැනි අනීතික ක්‍රියා සඳහා ආධාරය, අනුබලය සහ සැපයුම් මාර්ග ලැබෙන නිසා බව පැහැදිලිය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ක්‍රමය ප්‍රබල ගැටලු කිහිපයකට මුහුණ දී සිටී. ඉන් ප්‍රධාන වන්නේ බන්ධනාගාර තුළ පවතින ඉඩකඩ පිළිබඳ ගැටලුවයි. රටේ සියලුම බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ රැඳවියන් 11,000ක් පමණ පිරිසකටය. එසේ වුව ද මේ වනවිට ඒවා තුළ සිටින මුළු රැඳවියන්ගේ සංඛ්‍යාව 41,000ක් පමණ වේ. පවතින ඉඩකඩට වඩා තුන් ගුණයක පිරිසක් බන්ධනාගාර තුළ ගාල් කරනු ලැබ සිටිති. ඉන් පැහැදිලි වන මූලික කරුණ වන්නේ බන්ධනාගාර ගතවන පුද්ගලයකුට අවම වශයෙන් ඉඳගැනීමට හෝ ඉඩක් නොලැබෙන බවයි. සනීපාරක්ෂක පහසුකම් ආදී මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට නොහැකි තත්වයක බන්ධනාගාර ක්‍රියාත්මක වන බව පැහැදිලි වේ.
තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ නිලධාරි හිඟයයි. අනුමත තනතුරු සංඛ්‍යාවෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණ කර නැති තත්වයක් තුළ ප්‍රමාණය ඉක්මවා ගිය රැඳවියන් පිරිසකගේ වගකීම බාර ගැනීමට ප්‍රමාණවත් නොවන නිලධාරීන් පිරිසකට සිදුව ඇත. බන්ධනාගාර ඇමැතිවරයා මෑතක දී ප්‍රකාශ කළේ හොඳ පාසල්වලින් පිටවන අය බන්ධනාගාරවල සේවයට නොපැමිණෙන බවයි. එසේම එම තනතුරුවලට ඉල්ලුම් කරන්නන්ගේ අඩුවක් පවතින බව ද වාර්තා වී ඇත. කෙසේ වුව ද පවතින පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කරන්නේ නම් අයැදුම්කරුවන් බොහෝ දෙනකු ඒ සඳහා ඉදිරිපත් වනු ඇත. ආණ්ඩුව විසින් රැඳවියන් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ දමන විට ඊට අදාළ වන අයුරින් කාර්ය මණ්ඩලයේ තනතුරු සංඛ්‍යාව ද වැඩි කළ යුතුව ඇත.
මෙවැනි ගැටලුවලට විසඳුම් නොලැබෙන තාක් මීගමුව බන්ධනාගාර ඛේදවාචකය වැනි සිදුවීම් නැවත නැවත ඇතිවීම වළක්වාගත නොහැකි වනු ඇත. රැඳවියන්ගෙන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිවලට වරදකරුවන් වූ හෝ චෝදනා ලැබූවෝ වෙති. බන්ධනාගාර වෙනුවට විධිමත් පුනරුත්ථාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ නම් බොහෝ දුරට මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවියන්ගේ ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිවනු ඇත. එසේම සමහර රටවල ක්‍රියාත්මක වන සමාජ සුබසාධන කටයුතුවල නිරත කරවීම සහ නිරීක්ෂණ කාලයක් නියම කිරීම වැනි සාධනීය ක්‍රම අනුගමනය කිරීම ද වැදගත් වනු ඇත.
වරදකරුවකු වී හෝ චෝදනා ලැබුවකු වී බන්ධනාගාර ගත කිරීමකින් පසුව එම සියලු දෙනාගේම ජීවිත පිළිබඳ වගකීම ආණ්ඩුවට පැවැරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටියදී එම තත්වය පැහැදිලි කරමින් බන්ධනාගාර ගත රැඳවියන් ඝාතනය වීම ආණ්ඩුවේ වගකීම පැහැර හැරීමක් ලෙසත්, ආණ්ඩුවේ අසාර්ථකභාවය පෙන්නුම් කරන්නක් බවත් පෙන්වමින් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශ මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල ප්‍රදර්ශනය වේ. ඒ අතරම සමහරෙක් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බන්ධනාගාර සම්බන්ධයෙන් ඇති කරන බවට පොරොන්දු වූ වෙනස්කම් සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතු කරති. රැඳවියන් සම්බන්ධ ආණ්ඩුවේ එම වගකීම මෙම පාලන යුගයේදී ද ඉටුවී නැති බව මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් පැහැදිලි වේ. අනෙක් අතට බන්ධනාගාර සම්බන්ධයෙන් කිසිදු වෙනස්කමක් ගත වූ කාලය තුළ පොරොන්දු වූ ආකාරයට හඳුන්වා දී නැති බව ද පෙනී යයි.
ශ්‍රේෂ්ඨාධිකරණය 2025 ජූලි 03 වැනිදා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් දී තිබේ. අධිකරණයේ වගකීම විය යුතු වන්නේ රිමාන්ඩ් ගත කිරීමට ඇති හේතු නීතියේ විධිවිධානවලට අනුකූලව සිදුකිරීම බව එම තීන්දුවෙන් පැහැදිලි කර තිබේ. එවකට සිටි අග්‍රවිනිශ්චයකාර මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබ ඇති මෙම නඩු තීන්දුවේ සඳහන් වන ‘උසාවියකින් පුද්ගලයකුට ඇප ලබාදීම’ සම්බන්ධයෙන් සඳහන් වන කරුණු රටේ මහජනතාවට ඉතා වැදගත් වේ.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය විසින් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් විචක්ෂණශීලී තීරණ ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව පිළිබඳව සඳහන් කර ඇත. ‘ඇප පනත මගින් පිළිගෙන ඇති පරිදි පාලන මූලධර්මය වන්නේ ඇප ලබාදීම සම්මතය වන අතර ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය විය යුතු බව’ එම නඩු තීන්දුවේ සඳහන් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් මෙම සටහනින් ඇප ලබාදීම පිළිබඳව ඉතා වැදගත් කරුණක් පැහැදිලි වන්නේය. එයින් ප්‍රකාශ වන්නේ කිසියම් චෝදනාවක් මත උසාවියට ඉදිරිපත් කරන සෑම පුද්ගලයකුම රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ යුතු ද යන ප්‍රශ්නයයි. සම්මතය වන්නේ ඒ සැම දෙනාටම ඇප ලබා දිය යුතු බවයි. එයට ව්‍යතිරේකව සමහර පුද්ගලයන්ට ඇප ලබා නොදෙන තත්වයක් ද පැවැතිය හැකිය. ඇප පනතේ මූලික සිද්ධාන්තය වන්නේ එය බව මෙම ශ්‍රේෂ්‍ඨාධිකරණ නඩු තීන්දුව මගින් අවධාරණය කර ඇත. අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියමයන් ක්‍රියාත්මක වන්නේ නම් රිමාන්ඩ් භාරයට පත්වන රැඳවියන්ගේ ප්‍රමාණය අඩුවීමට ඉඩ තිබේ.
රජය විසින් අවධාරණයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතන රටේ බන්ධනාගාර ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විශාල සැලකිල්ලක් දක්වන බවයි. ශ්‍රී ලංකාව දිගින් දිගටම රැඳවියන් ඝාතනය වන බන්ධනාගාර ඇති රටක් ලෙස හැඳින්වෙන්නේ නම් රටේ මානව හිමිකම් යහපත් තත්වයකින් ආරක්ෂා නොවන බවට එය සාධකයක් කර ගනු ඇත.
බන්ධනාගාර ගත කිරීම් පිළිබඳව මෙන්ම බන්ධනාගාරවල පවතින තත්වය පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන විවිධ නිර්දේශ ඉදිරිපත් කර තිබේ. අවම මූලික පහසුකම් හෝ නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගැනීම දැඩිව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස එම නිර්දේශවල දැක්වේ. එවැනි තත්වයක් තුළ මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ලවීම සඳහා තවත් අවස්ථාවක් ආණ්ඩුව විසින්ම සලසා දෙනු ලැබ තිබේ. එබැවින් මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇති නොවීම පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඒවා ප්‍රායෝගිකත්වයට පත් කිරීම පිළිබඳවත් නිශ්චිත සැලසුමක් රටට මෙන්ම ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd