දශක ගණනාවක් පුරා අපරාධ ජාල, දේශපාලන අනුග්‍රහය, තෝරාගත් ලෙස නීතිය ක්‍රියාත්මක වීම සහ ආයතනික දුර්වලතා එකිනෙක පෝෂණය කළ පරිසරයක් මේ රටේ වර්ධනය වී තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම ජාවාරම් පවත්වාගෙන ගියේ නීතිය තම අවශ්‍යතාවට අනුව වක්‍ර කළ හැකි, ප්‍රමාද කළ හැකි හෝ මගහැරිය හැකි දෙයක් ලෙස විශ්වාස කරමිනි. මත්ද්‍රව්‍ය ටොන් ගණනින් රටට ඇතුළු වී, නගරවලින් පමණක් නොව ගම් නියම්ගම් දක්වා පාලනය කරගත නොහැකි මට්ටමකින් පැතිර ගියේය.

කප්පම් ජාල විසින් ව්‍යාපාරිකයෝ බිය ගන්වනු ලැබූහ. සැකකරුවෝ නීතියෙන් ගැලවීමට උත්සාහ කළහ. ඇතැම් බරපතළ අපරාධ පරීක්ෂණ වසර ගණනාවක් පුරා ඉදිරියට නොගිය බවට ජනතාව තුළ සැකයක් හා අවිශ්වාසයක් වර්ධනය වී පැවතුණි. මේවා පොලිසිය, දේශපාලන අධිකාරිය, අධිකරණය හෝ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ එකිනෙකින් වෙන් වූ ගැටලු‍ ලෙස බැලීම පහසුය. එහෙත් අපගේ අත්දැකීම් පෙන්වන්නේ ඒවා හුදකලා සිදුවීම් නොවූ බවයි. එහිදී අපරාධකරුවාගේ බලය අවිවලින් හෝ මුදල්වලින් පමණක් ගොඩනැගුණේ නැත. තොරතුරු කාන්දු විය හැකි බවට, පරීක්ෂණ ප්‍රමාද කළ හැකි බවට, නීතිය මෘදු කළ හැකි බවට, බලපත්‍රයක් හෝ ව්‍යාපාරික ප්‍රවේශයක් ලබාගත හැකි බවට සහ අවශ්‍ය විට බලවත් අනුග්‍රහයක් සොයාගත හැකි බවට තිබූ විශ්වාසයෙන් එය ගොඩනැගී තිබුණි. එවැනි විශ්වාසයම අපරාධ ජාල රාජ්‍යයේ තෝරාගත් දොරටු භාවිත කළ හැකි බලවේග බවට පත් කළේය.

දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අපරාධයෙන් උපයාගත් මුදල්, දේපළ, සමාගම්, වෙළෙඳාම, ආනයන - අපනයන ගනුදෙනු සහ නීත්‍යනුකූල පෙනුමක් ඇති ව්‍යාපාර බවට පරිවර්තනය වීමට ඉඩ ලැබෙන්නේ ද එවැනි පරිසරයකය. එබැවින් අප රටේ සැබෑ සටන අපරාධකරුවා සමග පමණක් නොවේ. එය අපරාධ ජාලවලට රාජ්‍යයේ ඇතුළතින් වැඩ කිරීමට ඉඩ දුන් දේශපාලන - ආයතනික සංස්කෘතිය සමගය. මෙහිදී වත්මන් ආණ්ඩුවේ මැදිහත්වීමේ වැදගත්කම වටහාගත යුතුය. එය අපරාධ ජාලවලට දශක ගණනාවක් පුරා ශක්තිය ලබාදුන් දේශපාලන ආරක්ෂාව, බලවත් සම්බන්ධතා සහ දණ්ඩමුක්තියේ අපේක්ෂාව බිඳ දැමීමේ තීරණාත්මක උත්සාහයක් ගනිමින් සිටී. විශාල මත්ද්‍රව්‍ය වැටලීම්, විදේශගත සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ගන්නා පියවර, කලක් පසුබැස තිබූ බරපතළ අපරාධ විමර්ශන නැවත සක්‍රීය වීම සහ ඉහළ බලපෑම් ඇති පාර්ශ්ව පවා නීතිමය පරීක්ෂාවට ලක්වීම එම වෙනසෙහි වැදගත් සංඥා වේ. එහි සැබෑ වැදගත්කම මත්ද්‍රව්‍ය තොගවල බරින් හෝ අත්අඩංගුවට ගැනීම් ගණනින් පමණක් මැනිය නොහැකිය. එය මැනිය යුත්තේ අපරාධ ජාලයකට කලක් තිබූ “අපට කවුරුත් අත නොතබයි” යන දණ්ඩමුක්තියේ විශ්වාසය බිඳ වැටෙන්නට පටන් ගෙන ඇති ප්‍රමාණයෙනි. මෙවැනි දණ්ඩමුක්තියේ සංස්කෘතිය අවසන් කිරීම, 2024 දී මාලිමාවට ලැබුණු ජනවරම තුළ ප්‍රබලව ප්‍රකාශ වූ බලාපොරොත්තුවකි. අපරාධගත ආණ්ඩුකරණය මෙම තත්වය තේරුම් ගැනීමට “අපරාධගත ආණ්ඩුකරණය” සහ “රාජ්‍ය අල්ලාගැනීම” යන සංකල්ප වැදගත්ය.

සාමාන්‍ය දූෂණයකදී පුද්ගලයෙක් නීතියක් කඩමින් තම පෞද්ගලික වාසිය සඳහා අල්ලසක් හෝ අනීතික වරප්‍රසාදයක් ලබාගනී. එහෙත් රාජ්‍ය අල්ලාගැනීමේ දී බලවත් ජාල නීති, රෙගුලාසි, බලපත්‍ර, ප්‍රසම්පාදන පටිපාටි, බදු සහන, පත්කිරීම්, පරීක්ෂණ ප්‍රමුඛතා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අනුපිළිවෙළ පවා තම වාසියට හැඩගැන්වීමට උත්සාහ කරයි. එය කවුන්ටරයකදී ගෙවන අල්ලසකට වඩා ගැඹුරුය. නීතිය ක්‍රියාත්මක වන්නේ කාටද, පරීක්ෂණයක් ඉදිරියට යන්නේ කෙතරම් වේගයෙන්ද, දඬුවමක් ලැබෙන්නේ කාටද යන්නට බලපෑම් කිරීමකි. එහිදී නීතිය පොදු පුරවැසියාට එක ආකාරයකින්ද, බලවත් සම්බන්ධතා ඇති පිරිසකට වෙනත් ආකාරයකින්ද ක්‍රියා කරන බවට භයානක හැඟීමක් සමාජය තුළ පැතිරෙයි.

සංවිධානාත්මක අපරාධ ජාල නීතිවිරෝධී භාණ්ඩ පමණක් නොව, නිල නොවන “ආරක්ෂාව” ද විකුණයි. නීතියෙන් ආරක්ෂාව ලැබිය යුතු තැන, “අපි ඔබව ආරක්ෂා කරමු” යන නොනිල සේවාව ඉදිරිපත් වේ. එහෙත් එහි සැඟවුණු අර්ථය බොහෝවිට මෙයයි: අපට ගෙවන්නේ නැත්නම්, ඔබටම අනාරක්ෂිත බවක් ඇති විය හැකිය. එබැවින් කප්පම් හෝ නොනිල ආරක්ෂණ මුදල හෝ අපරාධකරුවකුගේ අමතර ආදායමක් පමණක් නොවේ. එය නීතියේ සාධාරණ ආරක්ෂාව අසාර්ථක වූ තැන පුරවැසියන් සහ ව්‍යාපාරිකයන් මත පනවන සැඟවුණු බද්දකි. අපරාධ ජාලයකට තම මුදල් සඳහා නීත්‍යනුකූල පෙනුමක් ලබාදීම ද අවශ්‍යය. දේපළ, නාමික සමාගම්, වෙළෙඳ ගනුදෙනු, ආනයන - අපනයන බිල්පත් සහ වෙනත් මූල්‍ය ක්‍රම මගින් එම මුදල් සාමාන්‍ය ප්‍රාග්ධනයක් ලෙස පෙනෙන්නට සැලැස්වීමට උත්සාහ කළ හැකිය. වෘත්තීය නීතිමය, ගිණුම්කරණ, බැංකුකරණ සහ ව්‍යාපාරික සේවා සපයන සියලු‍ම පාර්ශ්ව සැකයට ලක් කිරීම වැරැදිය. ගැටලු‍ව වන්නේ ඒවා අතර සිටින කවරකු හෝ දැනුවත්ව අපරාධ මුදල් සැඟවීමට, හිමිකාරීත්වය වසන් කිරීමට හෝ නීතිය මගහැරීමට සහාය වන විටය.

ආර්ථිකය විනාශ කරන අපරාධ මුදල් අපරාධ ජාලයකට දේශපාලන ආරක්ෂාව, ආයතනික දුර්වලතා සහ නීතියෙන් ගැලවිය හැකි බවට විශ්වාසයක් ලැබුණු විට, එය ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ද විකෘති කරයි. මත්ද්‍රව්‍ය, කප්පම්, වංචා සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් උපයන මුදල් දේපළ, සමාගම්, වෙළෙඳාම, ප්‍රවාහනය, ඉදිකිරීම් සහ ආනයන - අපනයන ක්ෂේත්‍ර වෙත ගලා එයි. එවිට නීතියට අනුව බදු ගෙවන, බැංකු ණය මත ව්‍යාපාර ගොඩනගන, සේවකයන්ට වැටුප් ගෙවන සහ ගුණාත්මකභාවය මත තරග කරන ව්‍යාපාරිකයාට අසාධාරණ තරගයක් ඇතිවේ. අපරාධ මුදලින් පෝෂණය වන ව්‍යාපාරයකට සාමාන්‍ය ලාභ, නීති, බදු විනය හෝ වෙළෙඳපොළ අවදානම එකම ආකාරයෙන් බලපාන්නේ නැත. එයට ඉක්මන් මුදල්, බලපෑම් ජාල සහ අලාභයක් දරාගෙන තරගකරුවකු ඉවත් කිරීමට පවා හැකියාව තිබිය හැකිය. එහි ප්‍රතිඵලය කාර්යක්ෂමතාව, නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය නොව, මුදල් බලය සහ සම්බන්ධතා මත තරගය තීරණය වන වෙළෙඳපොළකි. මේ නිසා අපරාධ ජාල රටේ ආයෝජන පරිසරයට ද පහර දෙයි. දේශීය හෝ විදේශීය ආයෝජකයකුට වැදගත් වන්නේ බදු අනුපාතය හෝ පොලී අනුපාතය පමණක් නොවේ. නීතිය ස්ථාවරද, ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකිද, බලවත් පාර්ශ්වයකට අසාධාරණ වාසියක් මිලදී ගත හැකිද යන්න ද ඔහු සලකා බලයි. නීතියේ සාධාරණත්වය පිළිබඳ සැකයක් ඇති රටක දිගුකාලීන ආයෝජකයෝ පසුබසිති. එවැනි රටකට ආයෝජන අවදානම් වාරිකයක් එක්වන අතර, රටට අවශ්‍ය නිෂ්පාදනශීලී ආයෝජන, නව තාක්ෂණය සහ ගුණාත්මක රැකියා අවස්ථා ප්‍රමාද වීමට ඉඩ ඇත. අපරාධ ජාලය ශක්තිමත් වන විට රාජ්‍ය ආදායම ද කාන්දු වේ. රේගු වටිනාකම් සහ වර්ගීකරණය විකෘති කිරීම, වෙළෙඳ ගනුදෙනු සැඟවීම, බදු මගහැරීම, ව්‍යාජ සමාගම් භාවිතය සහ මුදල් විශුද්ධිකරණය වැනි මාර්ග මගින් රටට ලැබිය යුතු ආදායම අඩුවේ. එවිට අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය, සමාජ ආරක්ෂණය සහ තරුණ සංවර්ධනය සඳහා වැය කළ යුතු මහජන මුදල් අඩුවේ. අපරාධ මුදලින් ලාභ ලබන්නේ කිහිපදෙනකු වුවද, එහි පිරිවැය ගෙවන්නේ මුළු මහත් සමාජයමය. සොරකම් කෙරෙන තරුණ අනාගතය අපරාධ ජාල සහ දණ්ඩමුක්තියේ සංස්කෘතිය රටකට කරන විශාලම හානිය මුදලින් පමණක් මැනිය නොහැකිය. එය තරුණ පරපුරක අනාගතයෙන් කාලය, ආරක්ෂාව, අවස්ථාව සහ බලාපොරොත්තුව සොරකම් කරයි. රටක තරුණයකුගේ සැබෑ ප්‍රාග්ධනය අධ්‍යාපන සුදුසුකම් පමණක් නොවේ. දැනුම, වෘත්තීය කුසලතා, සෞඛ්‍යය, නිර්මාණශීලීත්වය, විනය, කණ්ඩායම් හැකියාව, විශ්වාසය, සංවේදීභාවය සහ සමාජ වගකීම ද එහි කොටස් වේ. මේවා ගොඩනැගෙන්නේ සාමකාමී පවුලක් තුළ, ආරක්ෂිත ප්‍රජාවක් තුළ සහ අනාගතය ගැන ස්ථාවර විශ්වාසයක් ඇති සමාජයක් තුළය. එහෙත් මත්ද්‍රව්‍ය, කප්පම්, වෙඩි තැබීම්, බිය සහ බලවත් සම්බන්ධතා මත නීතිය වෙනස් වන බවට ඇති හැඟීම සාමාන්‍යකරණය වන විට, තරුණයාගේ ජීවන තේරීම් ද වෙනස් වෙයි.

දැනුම හා කුසලතා වර්ධනයට කරන ආයෝජනය වෙනුවට ඉක්මන් මුදල, බලපෑම සහ අනීතික ජාලවල ප්‍රවේශය සාර්ථකත්වයේ මාර්ගයක් ලෙස පෙනෙන්නට පටන් ගත හැකිය. එය මානව ප්‍රාග්ධන ගොඩනැගීම දුර්වල කරන භයානක සංස්කෘතික පණිවිඩයකි. බියෙන් සහ අවිනිශ්චිතතාවයෙන් පිරුණු පරිසරයක පවුල්වල සාමය ද බිඳ වැටේ. මව්පියන්ගේ අවධානය දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ හැකියාවන් වර්ධනය කිරීමෙන් ඉවතට ගොස්, ආරක්ෂාව, ණය, ප්‍රතිකාර, පවුල් ගැටුම් හෝ දෛනික අනාරක්ෂිතභාවය කළමනාකරණයට යොමු වෙයි. එහි බර අඩු හා මධ්‍යම ආදායම් පවුල් මත වඩාත් දැඩිව වැටේ. තරුණයන්ට ක්‍රීඩාව, සංගීතය, කලාව, කියවීම, විද්‍යාත්මක ගවේෂණය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ප්‍රජා සේවාව සඳහා අවකාශයක් ලැබෙන්නේ ඔවුන්ගේ ජීවිතය බියෙන් පාලනය නොවන විටය. එම අත්දැකීම් සංවේදීභාවය, විනය, ඉවසීම, කණ්ඩායම් හැකියාව සහ අන් අයගේ වේදනාව තේරුම් ගැනීමේ මානුෂීය බුද්ධිය ගොඩනගයි. ඒවා නොමැතිව සමාජයක් ආර්ථික වශයෙන් පමණක් නොව මානුෂීය වශයෙන් ද හිස් වීමට පටන් ගනී.

අපරාධ ජාලයක් වර්ධනය වන සමාජයක බිඳ වැටෙන්නේ නීතිය පමණක් නොවේ. එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය ද බිඳ වැටෙයි. පාසල, ක්‍රීඩා පිටිය, සංස්කෘතික අවකාශය සහ ප්‍රජා ජීවිතය තුළ පවා බිය හා අවිශ්වාසය පැතිරෙයි. එවිට සංවේදීභාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමූහික වගකීම මත ගොඩනැගිය යුතු සමාජ වියමන ඉරී යාමට පටන් ගනී. දරුවන් සිටින පවුලක ප්‍රධාන ජීවනෝපාය සපයන්නා, කම්කරුවකු හෝ ත්‍රිරෝද රථ රියැදුරකු වැනි පුද්ගලයකු, මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ විට උදාවන තත්වය අතිශය බරපතළය. එවැනි පවුලක සාමය සහ සමගිය බිඳ වැටෙන අතර, ඇතැම් අවස්ථාවල පවුල් සංස්ථාවම දෙදරා යයි. අවසානයේ දරුවන්ට ආහාර මෙන්ම මූලික අධ්‍යාපනය ද අහිමි විය හැකි අතර, පවුලක ඛේදවාචකය මුළු සමාජයේම ඛේදවාචකයක් බවට පත්වේ. එබැවින් වත්මන් ආණ්ඩුව අපරාධ ජාලවලට දේශපාලන ආරක්ෂාව අහිමි කරමින් ගෙන යන මෙම මැදිහත්වීම, අපරාධ ජාලයන්ගෙන් රාජ්‍යය මුදාගැනීමේ තීරණාත්මක සටනකි. එය මෑත ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් අවංකව භාරගෙන ඉටු නොකළ වගකීමක් ඉදිරියට ගෙන යාමකි. තරුණ පරපුරට දැනුම, කුසලතා, ක්‍රීඩා, කලාව, නිර්මාණශීලීත්වය සහ මානුෂීය වටිනාකම් මත ගෞරවනීය අනාගතයක් ගොඩනඟා ගැනීමටත්, පවුලකට සාමයෙන් ජීවත් විය හැකි රටක් නැවත ගොඩනැගීමටත් එය අත්‍යවශ්‍යය. අපරාධ ජාලයට රාජ්‍යය තුළින් වාසි උපදවා දෙන පද්ධති බිඳ දමමින්, බදු ගෙවන ජනතාවගේ මුදල් මහජන අරමුණට යොමු කළ හැකි සහ නීතියට ගරු කරන ව්‍යාපාරිකයාට සාධාරණ තරගයක් ලබාදිය හැකි ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළද එය වේ. එබැවින් මෙය අනාගත පරපුර ආරක්ෂා කර අප දේශය රැකගැනීමේ අතිශය තීරණාත්මක ජාතික කාර්යයකි. මීගමුව බන්ධනාගාර සිද්ධිය ද පෙන්වන්නේ, එය වත්මන් අධිකරණ ඇමැතිවරයාගේ පෞද්ගලික අසමත්කමක් ලෙස නොව, මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාල පාලනයේ දීර්ඝකාලීන රාජ්‍ය අසමත්කමේ ප්‍රතිඵලයක් ලෙස කියවිය යුතු බවයි.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව

පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චන්දික ගුණසිංහ