අධ්‍යාපනය යනු පුද්ගල කායික, මානසික, බුද්ධිමය සහ ආධ්‍යාත්මික විභව ශක්තීන් වර්ධනය කරන්නාවූ ක්‍රියාවලියකි. රටක, සමාජයක අභිවෘද්ධිය තීරණය කිරීමෙහිලා, තීරණාත්මක සාධකය වන්නේ අධ්‍යාපන ක්‍රමෝපායන්ගේ ගුණාත්මක බවයි.
නූතන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයකට ප්‍රවේශ වන සියලු සංවර්ධන මූලෝපාය සාර්ථක කර ගැනීමෙහි ප්‍රධාන දොරටුවයි. කාලීන සමාජ, ආර්ථික සංවර්ධනයට උචිත පරිදි අධ්‍යාපනයෙහි වෙනස්කම් කිරීම අත්‍යවශ්‍යය. වත්මන් රජයේ එක් තේමා පාඨයක් වූයේ පුනරුද යුගයක් කරා රට ගමන් කරවීමයි. එසේ කිරීමේ දී සියලු ක්ෂේත්‍රවල පැවැති යල් පැන ගිය ලක්ෂණ වෙනස් කරමින් සාධනීය ලක්ෂණ උකහා ගනිමින් අවශ්‍ය වූ පරිවර්තන කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
සියල්ල කණපිට ගැසීම ‘පුනරුද යුගයක්’ නමැති තේමා පාඨයෙන් අදහස් කරන්නේ නැත. පුනරුදයක් කරා ගමන් කිරීමේ දී විවිධ ක්ෂේත්‍රවලට නව්‍ය ලක්ෂණ එක් කරමින් නව දිශානතියක් කරා ගමන් කිරීම කාලෝචිතය. ප්‍රඥාගෝචරය. එසේ කිරීමේ දී රටක පවත්නා සංස්කෘතික වටිනාකම් හා හර පද්ධති සැලකිල්ලට ගත යුතුය. අධ්‍යාපනයේ තවත් වැදගත් අරමුණක් වන්නේ ගුණ දහමින් පරිපූර්ණ සමාජයක් බිහි කිරීමයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමේ දී එම ක්ෂේත්‍රවල නිපුණ විද්වතුන් සහ සෙසු පුරවැසියන් සමග ඇති වන සංවාද, විසංවාද වැදගත් වනු ඇත. පසුගිය රාජ්‍ය පාලන අවධිවල විවිධ අවස්ථාවල දී නූතන ලෝකයට සමපාත වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදන සඳහා ප්‍රතිසංස්කරණ සකස් කළ අතර විවිධ සාකච්ඡා ද පැවැත්විණි, විවිධ කණ්ඩායම්, විවිධ දෘෂ්ටිකෝණවලින් ඒවා විවේචනය කිරීම නිසා ඒවා ඇණහිටි අවස්ථා ද තිබුණි. ඇතැම් අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පැන නැගුණු විවේචන හේතු කරගෙන ඒවා ක්‍රියාත්මක නොකළේ, යටපත් කළේ, දේශපාලන බලය රැක ගැනීමේ අවශ්‍යතාව නිසාය. වත්මන් රජය දේශපාලන බලලෝභීකම් පසෙකට ලා රටත් සමාජයත් දියුණු මාවතකට යොමු කිරීම සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටී.
ප්‍රතිසංස්කරණ යටතේ හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා විෂයයෙහි එක් මොඩියුලයක වරදක් මුල් කර ගෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව කෘත්‍රිම දේශපාලන සුළි කුණාටුවක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළහ. කෙසේ වෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කිසියම් අඩුපාඩුවක්, අවශ්‍ය මගහැරීමක් සහ වරදක් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් සහිත රජයක් එය නිවැරැදි කර ගත යුතුය. තමන්ට කැමැති ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට බලය ඇතැයි කියමින් අධ්‍යාපනය වැනි සංවේදී විෂය ක්ෂේත්‍රයක් අරභයා හිතුවක්කාර තීන්දු තීරණ ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී රජයකට නොහැකිය. එබැවින් 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා විෂයයෙහි මොඩියුලයකට අදාළව සහ වෙනත් වැරැදි ඇතොත් එය නිවැරැදි කර ගැනීම සඳහා 6 වැනි ශ්‍රේණිය සම්බන්ධ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, 2027 වසර දක්වා කල් තැබීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුළා ගැනීමක් නොවේ.
අධ්‍යාපනය වැනි සංවේදී, අතිශය වැදගත් ක්ෂේත්‍රයක් පිළිබඳ මතු වන ප්‍රශ්න නිරාකරණය කර ගනිමින් එය ක්‍රියාවට නැංවීම රජයේ අරමුණයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා විෂයයෙහි මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවියක නම සඳහන් වීම, රජය අපහසුතාවට පත් කිරීමට එම පාඨමාලාව සකස් කළ එක් පුද්ගලයකු හෝ කිහිපදෙනකු හෝ විසින් කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි බවයි. එසේම ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැතිකඩ තුනක් ඔස්සේ පරීක්ෂණ පවත්වමින් සිටින බවයි. එවැන්නක් කළ පුද්ගලයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙම වසරේ ජනවාරි මාසයෙහි පාසල් වාරය ආරම්භ කිරීමට පෙර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි අඩුපාඩු අනාවරණයවී, සංවාද - විසංවාද මතුවීම වැදගත්ය. ඒ අනුව රජය කළ යුතු වන්නේ එම අඩුපාඩු නිවැරැදි කිරීමයි. එය සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හකුළා ගැනීමක් නොවේ.
සමාන භෞතික හා මානව සම්පත් අවශ්‍යතාව
6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය තවත් වසරකින් කල් දැමීමට තවත් සාධක කිහිපයක්ම හේතු විය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය ගොඩනැගී ඇත්තේ කුලුනු පහක් මතය.
1. විෂය මාලා සංවර්ධනය
2. මානව සම්පත් සංවර්ධනය
3. යටිතල පහසුකම් සංවර්ධනය
4. තක්සේරු කිරීම හා ඇගැයීම
5. මහජනතාව දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය
මෙම කුලුනු පහ මත 2026 ජනවාරි මස සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මුලපුරන ලද්දේ අධ්‍යාපනයේ සම අවස්ථා සෑම දරුවකුටම දීම සඳහාය. අධ්‍යාපනයෙහි සමාජ අසමානතාව අවම කිරීමෙන් සහ වඩාත්ම ආන්තික සහ අඩු වරප්‍රසාද ලත් සමාජ කණ්ඩායම් ඉහළ සමාජයකට ඔසවා තැබීම සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීම රජයේ අරමුණයි. එබඳු අවස්ථාවක අනපේක්ෂිතව ඇති වූ සුළි කුණාටුව, ගංවතුර, නායයෑම් හේතු කරගෙන දිවයිනේ දිස්ත්‍රික්ක වැඩි ගණනක පාසල් ගොඩනැගිලි සහ බොහෝ දෙනකුගේ නිවාස විනාශ විය. පවුල් දහස් ගණනක් අවතැන් වූහ. එම ප්‍රදේශවල භෞතික හා මානව සම්පත් යළි යථා තත්වයට පත් කළ යුතුව ඇත. ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත වනු ඇත. එබැවින් සම අධ්‍යාපන අවස්ථා ලබා දීමට ක්‍රියාත්මක කිරීමට යෝජිත වූ නව ප්‍රතිසංස්කරණ කළ යුත්තේ එම ප්‍රදේශවල භෞතික හා මානව සම්පත් ප්‍රවර්ධනය කිරීමෙන් අනතුරුවය. ඒවා සංවර්ධනය කර දියුණු පාසල් පද්ධතියක් සහිත නාගරික පාසල්වලට හා ආපදාවට පත් ප්‍රදේශවල පාසල් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කාලෝචිත නොවන බව ද රජය සැලකිල්ලට ගෙන ඇති බවට සැක නැත.
පුළුල් කතිකාවක අවශ්‍යතාව
සංවේදී අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයකට අදාළ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ දී එම ක්ෂේත්‍රවල විද්වතුන්, විද්වත් සංවිධාන, ගුරු වෘත්තීය සමිති හා පුරවැසියන් සමග පුළුල් කතිකාවක් ආරම්භ කළ යුතු වුව ද කිසියම් හේතුවක් නිසා එය මගහැරී තිබුණි. එසේ එබඳු කතිකාවක් නොතිබුණු නිසා ප්‍රතිසංස්කරණ පිළිබඳ පැන නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට නොහැකිව බොහෝ විද්වත්හු නිරුත්තර වූහ.
පුළුල් කතිකාවතක් තිබුණේ නම්, වැරදි නිවැරැදි කර ගැනීමට හැකියාව පැවැතිණි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු පසුගිය දිනවල දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. එම සාකච්ඡාවලට, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ද හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය ද එක්වූහ. එයට සහභාගි වූ ආචාර්යවරු නව අධ්‍යාපන ක්‍රියාවලියේදී කළ යුතු සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළහ. ජනාධිපතිවරයා අතිශයින්ම නිහතමානීව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස්වලට දැක්වූයේ යහපත් ප්‍රතිචාරයකි. ඒ අනුව ජනාධිපතිවරයා නව ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් කිසි තීරණයක් ගනු ඇතැයි යන විශ්වාසය අප තුළ ඇති විය. ඒ හැරුණු විට ජනාධිපතිවරයා ගුරු සංගම් සහ විවිධ පාර්ශ්ව සමග ද අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගැනීමකින් තොරව වඩාත් නිවැරැදි ආකාරයකින් ක්‍රියාත්මක කිරීම සඳහා, සාකච්ඡාවට බඳුන්වී ඇති 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසර දක්වා කල් තැබීමට ගත් තීරණය ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන්නකි.
ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ලක්ෂණ
තමන්ට විධායක බලය ඇතැයි ද කැමැති ඕනෑම තීරණයක් ගැනීමට රජයට තුනෙන් දෙකක බලයක් ඇතැයි ද කියමින් හිතුවක්කාරී තීන්දු තීරණ ගනු නොලබන රාජ්‍ය නායකයෙකි ජනාධිපතිවරයා. ඒ අනුව කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසර දක්වා කල් තබමින් වඩාත් ගුණාත්මකභාවයකින් යුක්තව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. කවර ආකාරයක හෝ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාධනීය යෝජනා ඉදිරිපත් වන්නේ නම් එයට සවන්දීම, නිහතමානී ගති පැවතුම් ඇති ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ලක්ෂණයකි. බුදුන් වහන්සේ යනු සියල්ල දන්නා නුවණ ඇති ආගමික ශාස්තෘවරයෙකි. උන්වහන්සේ ද බොහෝ අවස්ථාවල බුද්ධ ශාසනයේ පැවැත්මට අදාළව අන් අය ඉදිරිපත් කළ යෝජනාවලට සවන් දුන්හ. බුදුන් වහන්සේ නන්ද කුමාරයා පැවිදි කරන කල්හි සුද්ධෝදන රජු බුදුන් වහන්සේට යෝජනා කළේ ළාබාල දරුවන් මවුපියන්ගේ අනුමැතියෙන් තොරව පැවිදි නොකළ යුතු බවයි. බුදුන් වහන්සේ එය අනුදැන වදාළහ. එය වෙනත් පාර්ශ්වවලින්ගේ අදහස්වලට සවන් දීමේ නිහතමානී පිළිවෙතයි.
සත්‍යග්‍රහ සහ උපවාස
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණ, සත්‍යග්‍රහ සහ මාරාන්තික උපවාස කළ ‘දේශමාමකයෝ’ පාසල් දූදරුවන්ගේ හා තරුණයන්ගේ ජීවිත විනාශ කරන ජාතික ව්‍යසනයක් වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව මුනිවත රකිමින් සිටියා මිස, සත්‍යග්‍රහ කළේ නැත. බලය ගිලිහී කුණු කූඩයට වැටී සිටින ඇතැම් දේශපාලනඥයෝ තමන් තවමත් ජීවතුන් අතර සිටින බව ජනතාවට ප්‍රදර්ශනය කිරීමට පැයකට දෙකකට සීමාවන සත්‍යග්‍රහවල යෙදෙති. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ තමන්ගේ දේශපාලන වුවමනා ඉටුකර ගැනීමට කුමන හෝ වැල් පොටක එල්ලී රජයට අභියෝග කිරීමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ සුබදායී විවේචන, යෝජනා දැක්වූ යම්කිසි පිරිසක් ඇතත් ඇතැම් ආගමික හා දේශපාලන චරිතවල අවශ්‍යතාව වූයේ රජය අපහසුතාවට පත් කිරීම මිස වෙන යමක් නොවේ. අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතා කිරීමට වඩා, හරිනි අමරසූරිය අගමැතිනියගේ පෞද්ගලික චරිතය ඝාතනය කරන අවලාද, පදනම් විරහිත චෝදනා ඉදිරිපත් වූයේ ඔවුන්ගෙනි. හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය අස්වෙනු යැයි කියමින්, අස්වෙන තුරු හෝ අස් කරන තුරු අඛණ්ඩ උපවාසයක් කරන බවට ඇතැමෙක් වහසි බස් දෙඩූහ.
එහෙත් අවසානයේ සිදු වූයේ සත්‍යග්‍රහ සහ උපවාස කළ අය පැය කිහිපයක් ගතවීමට පෙර පැදුරු කොට්ට හකුළාගෙන යාමයි. එහෙත් රජය ප්‍රතිසංස්කරණ හකුළා ගත්තේ නැත. ප්‍රතිසංස්කරණවලට එරෙහිව නැගුණු සාධනීය විවේචන සැලකිල්ලට ගෙන ඒවා මැනවින් සැලසුම් කර, සියලු දරුවන්ට සම අධ්‍යාපනික අවස්ථා සැලසීමට 2027 වසර දක්වා 6 වැනි ශ්‍රේණියේ පමණක් ප්‍රතිසංස්කරණ රජය විසින් කල් තබනු ලැබිණ. ඒ අනුව 2026 වසර සඳහා වූ විෂය මාලා රාමුව සහ සංකල්ප පත්‍රිකා පිළිබඳ පුළුල් මහජන සංවාදයක් ඇති කිරීමට බලාපොරොත්තු වේ. සුළි සුළඟ ගංවතුර සහ නාය යෑම්වලට ගොදුරු වූ දිස්ත්‍රික්කවල පාසල් ගොඩනැගිලි, නිවාස යනාදී භෞතික හා මානව සම්පත් සංවර්ධනය කර, 2027 වසරේ සිට 6 වැනි ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇත. මහජනතාවගේ එකම අභිලාෂය තම දූ දරුවන්ට දියුණු හා ඵලදායී අධ්‍යාපනයක් දීමයි. ජනතාවාදී පාලනය ජනතාවගේ එම අපේක්ෂාව ඉටු කරනු ඇති බවට සැක නැත.
(*** මහාචාර්ය - සුසිරිපාල මානවඩු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd