අද අපේ රටේ අධිකරණ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබේ. වසර ගණනක් ප්‍රමාද වූ නඩු ඉදිරියට පැමිණේ. ගොනු අතර සිරවූ විමර්ශන නැවත සක්‍රිය වේ. කලක් දේශපාලන බලය හෝ සම්බන්ධතා නිසා අත නොතැබිය හැකි යැයි සැලකුණු පුද්ගලයෝ අද අධිකරණ ක්‍රියාවලියට යටත් වෙති.
එවිට ප්‍රශ්නය මෙයයි: අදත් බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ පැරැණි නීති නම්, ඒවා ක්‍රියාත්මක කරන්නේත් බොහෝ විට කලින් සිටි විනිසුරුවරුන්, විමර්ශකයන් හා නීති නිලධාරීන් නම්, එදා සිදු නොවූ දේ අද සිදුවන්නේ ඇයි?
අපගේ මෙම ලිපියේ අරමුණ ඒ වෙනස පැහැදිලි කිරීමයි. අධිකරණ නිදහස නීතියෙන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට හිමි බලයකි. එහෙත් එම බලය තිබීමත්, එය නිදහසේ භාවිත කිරීමට හැකි වීමත් එකම දෙයක් නොවේ.
මෙහි මූලික අදහස සරලය. 2022 ජනතා අරගලයෙන් ගොඩනැඟුණු මහජන හා දේශපාලන මනෝභාවය 2024 බල මාරුවෙන් පසු නව දේශපාලන අධිකාරියක පදනම බවට පත්විය. ඉන්පසු අධිකරණයට අලුත් නීතිමය බලයක් ලැබුණේ නැත. වෙනස් වූයේ එම බලය භාවිත කරන දේශපාලන පරිසරයයි. පැරැණි දේශපාලන බලයේ සෙවණැල්ල යටතේ සීමා වී තිබූ යුක්තිය අද වඩාත් විවෘතව ක්‍රියාත්මක වන බව පෙනේ. ඒ නිසා අද පැරැණි විනිසුරුවරුන්, පැරැණි නීති සහ පැරැණි නඩු හරහා වෙනස් ප්‍රතිඵල දක්නට ලැබේ.
නීති පොතේ නිදහස සහ සැබෑ නිදහස
අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ පර්‌යේෂණ නීතියෙන් හිමි නිදහස සහ ප්‍රායෝගිකව භුක්ති විඳින නිදහස අතර වෙනසක් පෙන්වයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විනිසුරුවරුන්ගේ පත්වීම්, ධුර කාලය හා අධිකරණ බලතල ආරක්ෂා කළ හැකිය. එහෙත් සැබෑ නිදහස තීරණය වන්නේ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරයෙනි.
ආණ්ඩුවට අවාසිදායක තීන්දුවක් ලබා දුන් විට එය ක්‍රියාත්මක වේද? විනිසුරුවරුන්ට දේශපාලන බලපෑම් එල්ල වේද? විමර්ශන ආයතන සාක්ෂි අධිකරණයට ගෙන එයිද? අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා පරිපාලනය සූදානම්ද? මේ ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මත සැබෑ අධිකරණ නිදහස තීරණය වේ.
එබැවින් අද දක්නට ලැබෙන වෙනස නීති පොතේ වෙනසකට වඩා, පවතින නීතිය නිදහසේ ක්‍රියාත්මක කළ හැකි පරිසරයේ වෙනසකි.
අධිකරණය නඩු සොයාගෙන යන්නේ නැත
බලවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් විට හෝ පැරැණි නඩුවක් යළි විභාගයට ගත් විට “අධිකරණය දැන් ක්‍රියා කරනවා” යැයි අපි කියමු. එහෙත් අපරාධ නඩුවක් අධිකරණය දක්වා ගමන් කරන මාර්ගය දිගුය.
පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබිය යුතුය. පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අදාළ කොමිෂන් සභාව විමර්ශනය කළ යුතුය. සාක්ෂි, ලේඛන, ගිණුම් තොරතුරු සහ විද්‍යාත්මක වාර්තා ලබා ගත යුතුය. සාක්ෂිකරුවන් ආරක්ෂා කළ යුතුය. නීතිපති දෙපාර්තමේන්තුව හෝ අදාළ අභිචෝදක ආයතනය නඩු පැවැරීමට තීරණය කළ යුතුය. චෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. පසුව නඩුව කාලසටහනකට ඇතුළත් කර විභාග කර තීන්දුවක් ලබා දිය යුතුය.
යුක්ති දාමයක ශක්තිය තීරණය වන්නේ එහි දුර්වලම සම්බන්ධකය මත බැවින්, එක් පුරුකක් හෝ අක්‍රිය වුවහොත් ස්වාධීනම විනිසුරුවරයාටද කළ හැකි දෙයක් නැත. සාක්ෂි නොමැති නඩුවක් නිර්මාණය කිරීමට, අභිචෝදනයක් නැති අයකුට දඬුවම් කිරීමට හෝ අතුරුදන් වූ ගොනුවක් සොයා ගැනීමට අධිකරණයට තනිවම නොහැකිය.
එබැවින් අද දක්නට ලැබෙන වෙනස අධිකරණයේ පමණක් නොව, පොලිසිය, විමර්ශන ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පරිපාලනය ඇතුළත් සමස්ත යුක්ති දාමයේ සක්‍රියභාවයේ වෙනසකි. මෙම ආයතන එකට සක්‍රිය වූ විට පමණක් පැරැණි හෝ අලුත් නඩුවක් ඉදිරියට ගමන් කරයි.
2022 අරගලය කළ වෙනස
2022 ජනතා අරගලය ආර්ථික හිඟයට එරෙහි විරෝධයක් පමණක් නොවීය. දූෂණය, දේශපාලන වරප්‍රසාද, වගකීමෙන් තොර බලය සහ දණ්ඩමුක්තිය පිළිබඳ පුළුල් මහජන විරෝධයක් ද එයින් ප්‍රකාශ විය.
දේශපාලන හා ආයතනික විග්‍රහයේ දී එවැනි අවස්ථාවක් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැකිය. අරගලය, විනිසුරුවරුන් පත් කළේවත් නීති නැවත ලිව්වේවත් නැත. එහෙත් එය පැරැණි දේශපාලන සංස්කෘතිය පිළිබඳ මහජන ඉවසීම දුර්වල කළේය. 2024 බල මාරුවෙන් පසු එම මහජන අපේක්ෂාව නව දේශපාලන බලයක පදනම බවට පත්විය. එබැවින් 2022 අරගලයේ සැබෑ වැදගත්කම අධිකරණයට බලය දීම නොව, යුක්තිය නිදහසේ ක්‍රියාත්මක වීමට මග විවර කිරීමයි.
නව දේශපාලන අධිකාරියේ භූමිකාව
වත්මන් දේශපාලන බලය ගොඩනැඟුණේ දූෂණයට එරෙහිවීම, නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම සහ පැරැණි දේශපාලන වරප්‍රසාද අභියෝගයට ලක්කිරීම පිළිබඳ මහජන අපේක්ෂාවක් මතය. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අයුතු මැදිහත්වීම් නොකරන බවට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දෙන සංඥා වැදගත්ය.
වත්මන් දේශපාලන පරිසරය විමර්ශකයන්ට, නීති නිලධාරීන්ට සහ විනිසුරුවරුන්ට තම රාජකාරිය වඩාත් නිදහසේ ඉටු කිරීමට හිතකර අවකාශයක් සලසා ඇති බව පෙනේ. එහෙත් එය තවමත් ආපසු හැරවිය නොහැකි ආයතනික ජයග්‍රහණයක් නොවේ.
එබැවින් එම නිදහස ස්ථිර වන්නේ, තම රාජකාරිය ඉටු කිරීම නිසා පළිගැනීම් හෝ බාධාවලට හෝ මුහුණ දීමට සිදු නොවන පරිදි ආයතනික ව්‍යුහය ශක්තිමත් කර අවශ්‍ය ආරක්ෂාව තහවුරු කළ විටය. සැබෑ අධිකරණ නිදහස යනු හොඳ පාලකයකු මැදිහත් නොවීම පමණක් නොව, අයහපත් පාලකයකුට පවා මැදිහත්වීම දුෂ්කර හා දේශපාලනිකව අවාසිදායක කරන පද්ධතියක් තිබීමය.
නිදහස පමණක් ප්‍රමාණවත්ද?
දේශපාලන බලපෑම්වලින් තොර වීම අධිකරණ පද්ධතියකට අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් දේශපාලන නිදහස ලැබුණු පමණින්ම සැබෑ යුක්තිය ඉටු වේද? නිල සංඛ්‍යා අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ නොවිසඳුණු නඩු මිලියනයකට වඩා පවතී. දිසා අධිකරණවල පමණක් නඩු ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් පවතින බව ද වාර්තා වී ඇත.
නඩු ප්‍රමාදය ගොනු සංඛ්‍යාවක් පමණක් නොවේ. එය සංවර්ධනය කළ නොහැකි ඉඩමකි. ණයකට ඇපයක් ලෙස භාවිත කළ නොහැකි දේපළකි. නීතිඥ ගාස්තු ගෙවා බංකොලොත් වන ව්‍යාපාරයකි. අහිමි වන වැඩ දිනයකි. දිගුකාලීන රැඳවුමකි. නැවත ලබා ගත නොහැකි දරුවකුගේ ළමා කාලයකි.
වත්මන් ආණ්ඩුව සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පොදුවේ වසර දෙකකින් දිගු කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව ද මෙම පසුබිම තුළ තේරුම් ගත යුතුය.
විශ්‍රාම වයස පොදුවේ දිගු කිරීම සහ විධායකයට කැමැති විනිසුරුවරුන් තෝරා පෞද්ගලික සේවා දිගු ලබා දීම එකම දෙයක් නොවේ. සියලු විනිසුරුවරුන්ට නීතියෙන් ස්වයංක්‍රීයව අදාළ වන පොදු නීතියක් අධිකරණ ස්වාධීනත්වයට විරුද්ධ නොවේ. පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම විශාල නඩු තොගය අඩු කිරීමට දායක විය හැකිය. එහෙත් එය පොදු, විනිවිද පෙනෙන නීතියක් යටතේ ක්‍රියාත්මක විය යුතු අතර, පෞද්ගලික සේවා දිගු ලබා දීමේ ක්‍රමයක් බවට පත් නොවිය යුතුය. අදාළ දත්ත ප්‍රසිද්ධ කළ යුතුය; ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. සංක්‍රාන්ති විධිවිධාන සාධාරණ විය යුතු අතර, එහි ප්‍රතිඵල මැනිය හැකි විය යුතුය. එවැනි ක්‍රමයක් පමණක් යහපත් චේතනාව ආයතනික විශ්වාසයක් බවට පරිවර්තනය කරයි.
අද ඉදිරියට පැමිණෙන බොහෝ නඩුවල විමර්ශන, සාක්ෂි රැස් කිරීම් හෝ නඩු පැවැරීම් වසර ගණනකට පෙර ආරම්භ වූ ඒවාය. එබැවින් අද ලැබෙන සෑම ප්‍රතිඵලයක්ම වත්මන් ආණ්ඩුවේ නිර්මාණයක් ලෙස සැලකීම ද නිවැරැදි නොවේ. කලින් සිටි විමර්ශකයන්, නීති නිලධාරීන්, සාක්ෂිකරුවන් සහ විනිසුරුවරුන්ගේ දිගුකාලීන වැඩ එයට දායක වී තිබිය හැකිය. නව දේශපාලන පරිසරයේ වැදගත්කම වන්නේ එම පැරැණි ක්‍රියාවලීන් ඉදිරියට ගමන් කිරීමට තිබූ අවකාශය පුළුල් කරවා තිබීමයි.
නිගමනය
අද අධිකරණයට පැමිණෙන බොහෝ නඩු වසර ගණනක් විවිධ ප්‍රමාදය අතර රැඳී තිබූ ඒවාය. ඒවා ඉදිරියට පැමිණෙන්නේ විනිසුරුවරුන් හදිසියේ වෙනස් වූ නිසා හෝ නීති පොත් සම්පූර්ණයෙන් නැවත ලියා ඇති නිසා නොවේ. නව නීති හා ආයතනික ක්‍රම පැරැණි පද්ධතියට එකතු වී තිබුණ ද, වඩාත් මූලික වෙනස සමාජ දේශපාලන පරිසරය තුළය.
2022 ජනතා අරගලය දණ්ඩමුක්තිය, දේශපාලන වරප්‍රසාද සහ නීතියේ අසමාන ක්‍රියාත්මක වීම පිළිබඳ මහජන ඉවසීම බිඳ දැමීය. එම මහජන මනෝභාවය 2024 බල මාරුවෙන් පසු නව දේශපාලන අධිකාරියේ පදනමක් බවට පත්විය. ඒ යටතේ විමර්ශකයන්ට, නීති නිලධාරීන්ට සහ විනිසුරුවරුන්ට තම නීතිමය වගකීම් වඩාත් විවෘතව ඉටු කළ හැකි අවකාශයක් ඇති වී ඇති බව පෙනේ.
වෙනස් ප්‍රතිඵල ලබා ගැනීමට පවතින ආයතන මුළුමනින්ම ප්‍රතිෂ්ඨාපනය කිරීම අත්‍යවශ්‍ය නොවේ. සමාජ දේශපාලන පරිසරය යුක්තියට හිතකර ලෙස වෙනස් වන විට, ආයතනික නිලධාරීන් මුහුණ දෙන අවදානම්, දිරිගැන්වීම් සහ තම රාජකාරිය නිදහසේ ඉටු කිරීමට ඇති අවකාශය ද වෙනස් වේ. එවිට පැරැණි නීති සහ බොහෝ දුරට එකම විනිසුරුවරුන් හා නිලධාරීන් මගින් වුව ද යුක්තිය වඩාත් නිදහසේ ක්‍රියාත්මක කළ හැකිය.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
චන්දික ගුණසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd