සරසවිය බැලුමසෙක්නි වෙත්වා කිවි දෙනෝ
පෙදෙහි රස හව් විදුනා දෙනෙතා ඉතා දුලබෝ"
(කව් සිළුමිණ-2 පැදිය)
(සරසවියගේ මඳ බැල්මකින්ම දනෝ කිවිහු වෙත්වා. පදයෙහි රස භාව විඳිය හැකි දනෝ නම් ඉතා දුලබය.)
මෙය වූකලී දෙවැනි පැරැකුම්බා රජුගේ අසහාය සාහිත්‍ය නිර්මාණය වන 'කව් සිළුමිණ' මහා කාව්‍යයෙහි ප්‍රකාශිත පරම සත්‍යයකි.
සාහිත්‍යයෙහි රස භාව විඳිනට සමත් දනෝ දුලබමැයි. සැබෑ රසිකයෝ නම් ඔවුහුමැයි. අප සාහිත්‍ය රචනා නිපදවිය යුත්තේ පෙදෙහි රස හව් විඳිනට සමත් දුලබ රසික ජන ගණ සිත තබාගෙනද නැතහොත් රස විඳීමේ පරිචය නොලද බහුල අරසික ජන ගණ අරමුණු කොටගෙනද? කළ යුත්තේ බහුල වූ එවන් අරසිකයන් පිනවන දේ සුලබ කිරීමෙන් ඔවුන් පෙදෙහි රස හව් නොවිඳිය හැකිවුන්ගේ තැනම රඳවා තැබීමද නැතහොත් ඔවුන් එතැනින් ඔසවා ලීමද? සෝවියට් රාජ්‍යයේ නිර්මාතෘ ලෙනින්ගේ පරමෝත්කෘෂ්ට ප්‍රකාශයක් මා අසා ඇත. මෙහිදී එය මගේ සිහියට නැගෙන්නේ ඉබේය. වරක් කම්කරු නායක සහෝදර පිරිසක් ලෙනින් හමුව මේ යෝජනාව කළහ.
"සහෝදරයා, අපි ටොල්ස්ටෝයිගේ නවකතා සරල කොට සාහිත්‍යය නොදන්නා කම්කරු සහෝදරයන්ට දිරවා ගත හැකි වන තත්වයට පත් කරමු."
කට කොනකට සිනාවක් නගාගත් ලෙනින් ඔවුන්ට මෙසේ ප්‍රකාශ කළේය.
"සහෝදරයා, අපි කළ යුත්තේ කම්කරු සහෝදරයන් ටොල්ස්ටෝයි ඉන්නා තැනට ගෙන යෑම මිස ටොල්ස්ටෝයි කම්කරු සහෝදරයන් ඉන්නා තැනට ගෙන ඒම නෙවෙයි."
සාහිත්‍ය නිර්මාණකරණයෙහිදී අපගේ කවියන් කතාකරුවන් මෙකල
සුලබ ලෙස භාවිත කරන භාෂාවේ තතු විමසා බැලීම අත්‍යවශ්‍ය කාර්යක් යැයි සිතමි. සියලු සාහිත්‍ය චින්තාවන්ගේ ප්‍රකාශනයට භාෂාවම ප්‍රධාන වන බැවිනි. තත් භාෂා විමර්ශනයට ලෙනින්ගේ පූර්වෝක්ත ප්‍රකාශය දීපාලෝකයක් වනු නියති. සාහිත්‍ය නිර්මාණකරණයේදී අප භාවිත කළ යුත්තේ අපේ චිරන්තන සාහිත්‍ය වහර හා පොදු ජන වහර යන දෙකම ඇසුරින් තනා ගත් නව සාහිත්‍ය භාෂාවක්ද නැතහොත් හුදු පොදු ජන වහරමද යන්න මෙකල අපගේ වෙසෙස් විමසිල්ලට ලක්විය යුත්තක් යැයි සිතමි. ඒ ඇයි? මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය හා මාධ්‍ය ක්ෂේත්‍රය යන දෙකම එක සේ භාෂා අසංවේදිත්වය නමැති ව්‍යාධියට උග්‍ර ලෙස ගොදුරුව සිටින හෙයිනි.
භාෂා අසංවේදිත්වය යනු භාෂාවේ ව්‍යංජනා ශක්තිය කෙරෙහි කෙනෙකු තුළ පවත්නා අඥත්වයයි. ව්‍යංජනා ශක්තිය යනු ප්‍රබල ලෙස හැඟීම් දැනවීමේ ගුණයයි. අපේ බොහෝ කවි, කෙටිකතා, නවකතා ආදි සාහිත්‍ය රචනා තුළ ප්‍රකටව දක්නට ඇත්තේ එකී අඥත්වයේ දුර්විපාකයි. භාෂාවේ ව්‍යංජනා ශක්තිය පිළිබඳ අවබෝධය භාෂා අධ්‍යයනයෙන්ම ලබාගත යුත්තක් මිස ඉබේ පහළ වන්නක් නොවේ. අපේ වත්මන් ලේඛකයන් බොහෝ දෙනෙකු සාහිත්‍යකරණයේ යෙදෙන්නේ තමාට ඉබේ හුරුව ඇති භාෂාවෙන් තෘප්තව මිස ළැදිව හදාළ භාෂාවකින් නොවන බවට ඔවුන්ගේ කෘතීහුම සාක්ෂි දරති. නොහදාළ භාෂාවකින් ප්‍රබල ලෙස හැඟීම් දනවන සාහිත්‍ය නිර්මාණ පහළ කළ හැක්කේ කවර අරුමයකින්ද?
"A speaker can be clear and
appropriate and still be boring. The listener needs to be involved. Invoke as many of the senses as possible with vivid words or as an Arabian proverb says, he is the best orator who can turn men's ears into eyes."
මවිසින් යථෝක්ත ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩය උද්ධරණය කොට ගන්නා ලද්දේ 'Speech Communication in Society' නමැති මහාර්ඝ ග්‍රන්ථයෙනි. ඉංග්‍රීසි ග්‍රන්ථ නාමය සිංහලෙන් 'සමාජ වාක් සන්නිවේදනය' යන අර්ථය දෙයි. එම ඉංග්‍රීසි පාඨයෙහි ගැබ් වුණු සිංහල අර්ථය මෙසේය.
"පැහැදිලිකම උචිතකම ඇතත් කථිකයෙකුගේ කතාව නීරස විය හැකිය. අසන්නා කතාවට ග්‍රහණය කරගත යුතු වෙයි. විචිත්‍ර වචන මගින් හැකි තරම් හැඟීම් ප්‍රබෝධ කළ යුතුය. අරාබි පිරුළකින් පැවසෙන්නා සේ මිනිසුන්ගේ කන් දෙක ඇස් දෙක බවට හැරවීමට සමත් තැනැත්තාම හොඳම කථිකයා වෙයි."
මේ පාඨය මගින් ප්‍රතීයමාන වන්නේ වක්තෘවරයෙකුගේ හෙවත් කථිකයෙකුගේ වශ්‍යවචෝභාවයේ මහිමයයි. 'ව්‍යාසකාරය' ග්‍රන්ථ
කර්තෘහු ඒ බව මෙසේ සමර්ථනය කරති.
ශතේෂු ජායතේ ශූරඃ
සහස්‍රේෂුච පණ්ඩිතඃ
වක්තා ශත සහස්‍රේෂු
දාතා ජගති දුර්ලභඃ
(ශූරයෙකු උපදින්නේ සියයකට එකෙකි.පණ්ඩිතයෙකු උපදින්නේ දහසකට එකෙකි. කීමෙහි බිණීමෙහි සමතෙකු උපදින්නේ ලක්ෂයකට එකෙකි. ත්‍යාගශීලියෙක් ලොවේ ඉතා දුලබය.)
අරාබි පිරුළෙන් පැවසෙන පරිදි හොඳම කථිකයා වූකලී ශ්‍රාවක කන් ඇස්වලට පෙරළන්නෙකි. එසේ නම් සාහිත්‍යකරුවාද නිසැක ලෙසම භාෂාවෙන් එවැනිම විස්කම් පාන්නෙකු නොවිය යුතුද? සැබැවින්ම විය යුත්තේ මැයි. ඔහු පෑ යුත්තේ කවර පෙළහරක්ද? ඒ අන් කිසිවක් නොව පාඨක මසැස මනැසට හැරවීමය. ඒ පෙරළිය වඩාත් විශද ලෙස දක්වම්හ. නිර්මාණ පරිකල්පන ශක්තියෙන් පරිපූර්ණ ලේඛකයා විසින් කළ යුත්තේ තම වේදයිතය (අත්දැකීම ) හුදු වාච්‍යාර්ථයෙන් ප්‍රකාශ කිරීම නොව එය ව්‍යංග්‍යාර්ථ දනවන විවිධ වාක් ප්‍රයෝග සංකලනයෙන් හෘදයංගම මනෝ ජවනිකා බවට හැරැවීමය. එමගින් එය පාඨක රසිකයාගේද අධ්‍යාත්ම අනුභූතියක් බවට පත්කිරීමය. මෙකල අපට බහුල වශයෙන් කියවන්නට ලැබෙන ප්‍රවීණ නවීන යන දෙගණයටම අයත් වූ එසේම රාජ්‍ය සම්මාන, ස්වර්ණ - රජත සම්මාන හා වෙනත් සම්මාන ආදියෙන් පිදුම් ලද හෝ නොලද ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිඅතර ඉහත මා සඳහන් කළ පරිදි වාක් ලාවණ්‍යය හා නිර්මාණ පරිකල්පනය දැකිය හැක්කේ කීයෙන් කීයකද? එහෙත් ලෝකඩ හෝ බෙලෙක් සම්මානයක් වත් නොලද ඇතැම් අප්‍රකට කෘතියක් තුළ එකී ගුණ වෙසෙස් දක්නට ලැබෙන අවස්ථා ඇත්තේ එකක් දෙකක් නොවේමැයි.
මසැසට ලිවීම හා මනැසට ලිවීම අතර පවත්නා වෙනස ප්‍රත්‍යක්ෂ ලෙස පහදා ලන කදිම නිදසුනක් අපගේ චිරන්තන සාහිත්‍යය ඇසුරෙන් ඉදිරිපත් කරම්හ. මනෝ රූප චිත්‍රණයෙහිලා භාෂා ප්‍රාවිණ්‍යය නිර්මාණශීලී ලේඛකයෙකුට අනිවාර්ය සාධකයක් වන බව මෙමගින් ඉඳුරා සනාථ වෙයි. අති සම්භාවනීය සමකාලීන (පොළොන්නරු සමය) පැරණි සිංහල ලේඛක රත්න ද්විත්වයක් වන ගුරුළු ගෝමි පඬිඳුන් හා විද්‍යා චක්‍රවර්ති වියතුන් එකම නාලාගිරි දමන ජවනිකාව වර්ණනා කොට ඇති ආකාරය දැන් විමසත්වා!
මේ 'අමාවතුර' ගත් රුවන කළ ගුරුළු ගෝමි පඬිඳු නාලාගිරි දමන ජවනිකාව දුටු සැටිය.
"ඇතුදු බුදුන් එන්නන් දැකැ, මිනිසුන් උත්ත්‍රාස කරවමින්, ගෙ විදහමින්, ගැල් සුන් කෙරෙමින්, සොඬ ඔසොවා ගෙනැ කන්වැල් හුවා ගෙනැ පර්වතයක් සෙයින් මඬිමින් බුදුන් කරා දිවී"
( ගෙ විදහමින් = ගෙවල් වනසමින්; කන් වැල් හුවාගෙන = එල්ලෙන කන් උස්සාගෙන.)
'බුත්සරණ' ග්‍රන්ථ කර්තෘ විද්‍යා චක්‍රවර්තීහු නාලාගිරි දමන ජවනිකාව මවති.
"ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ. මෑත සවණක් ඝන බුදුරැසින් සැදී ගිය බුදු රජාණෝයැ. ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණායෙන් තෙත්වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝයැ. ඈත එබු එබූ පයින් මහ පොළොව පළා පියන්නාක් සේ දිවන ඇත් රජයැ. මෑත එබු එබූ පයින් මිහිකත සනහ සනහා වඩනා බුදු රජාණෝයැ. ඈත බැලු බැලූවන් 'අනේ! අනේ!'යි කියවන ඇත් රජයැ. මෑත බැලු බැලූවන් 'සාධු! 'සාධු!'යි කියවන බුදුරජාණෝයැ. එවේලෙහි
එඇතු ළං වත් ළං වත් සැදැහැත්තෝ ළෙහි අත් ගසන්නට වන්හැ. මුහුණැ අත් දෙන්නට වන්හැ. 'බලා සිටියැ නොහෙම්හ' යි මුහුණින් හෙන්නට වන්හැ."
'අමාවතුර' , 'බුත්සරණ' උභය ග්‍රන්ථ රත්නයන්හි එන තත් නාලාගිරි දමන වර්ණන යුගලය තුලනය කරන කල්හි ප්‍රකටව පෙනෙනුයේ කවර වෙනසෙක්ද? කවර වෙසෙසෙක්ද?
'අමාවතුර' කළ ගුරුළු ගෝමි පඬිඳු නාලාගිරි දමන ජවනිකාව අපගේ මසැසට හසු කරන්නේ තම අතැඟිලි අතර රඳනා පන්හිඳෙනි.
'බුත්සරණ' ගත් කතු විද්‍යා චක්‍රවර්තීහු තම දෑත රැඳි භාෂා කැමරාවෙන් එකම නාලාගිරි දමන ජවනිකාව අපේ මනැසේ සප්‍රාණ කරති. සචේතන කරති. සජීව කරති.
ඒ අනුව මෙය ලෝකයේ මුල්ම තිර නාටක පිටපතද වෙයි. විද්‍යා චක්‍රවර්තීහු විසුවේ පොළොන්නරු යුගයේය. එනම් එකොළොස් වැනි සියවසේ පමණය. එකල කවර සිනමාවක්ද? කවර කැමරාවක්ද? එසේ නම් විද්‍යා චක්‍රවර්තීහු අතින් මනැස් ජවනිකාවක් පිළිබිඹු කරන තිර නාටක පිටපතක් ( Scenario) ලියැවුණේ කෙසේද?
පරිකල්පන මහිමය නම්
එයමැයි.
නිර්මාණ කෞශල්‍යය නම්
එයමැයි.
භාෂා නෛපුණ්‍යය නම්
එයමැයි.
ලේඛන ප්‍රාවිණ්‍යය නම් එයමැයි.
පශ්චාත් නූතනවාදී උන්මාද මදයෙන් මත්ත, සියල්ලෝ වියතුන්ට සිළුමිණි මම්ම වේදැයි යන ගර්හිත ගර්වයෙන් දර්පිත, අසංවේදී නිකෘෂ්ට භාෂා භ්‍රෂ්ටයෙකු අතින් මතු දිනෙක මේ වාක්ලාවණ්‍යයෙන් අලංකෘත, නිර්මාණ පරිකල්පනයෙන් විභූෂිත, අතිශය ශ්‍රවණ රමණීය නාලාගිරි දමන ක්ෂුද්‍ර කාව්‍යය පහත දැක්වෙන අයුරින් උගේ ඩිජිටල් මව් බසට නගා යාවත්කාලීන කරතොත් කවර අරුමයක්ද ?
" ඈත ඩස්ට්වලින් කවර් වෙච්ච එලිෆන්ට් කිංය. මෑත සික්ස් කලර්ස් ෂයින් වෙන ලෝඩ් බුද්ධය. ඈත හොට් අයන් බෝල් අයිස් තියෙන එලිෆන්ට් කිංය. මෑත වෙට් බ්ලූ ලෝටස් අයිස් තියෙන ලෝඩ් බුද්ධය. ඈත ග්‍රවුන්ඩ් එක බ්ලාස්ට් කරන් රන් කරන එලිෆන්ට් කිංය. මෑත ග්‍රවුන්ඩ් එකේ කූල් පිට වෝක් කරන ලෝඩ් බුද්ධය."
ඉංග්‍රීසි ජාතික Thomas Hardy (1840-1928) ලෝ පතළ උසස් නවකතා කරුවෙකි. කවියෙකි. අසූ විය පිරී සිටි ඔහු දිනක් තම ලියන මේස ලාච්චුවක් අස් කරමින් සිටියේය.
[Not by politics alone - The other Lenin නම් මාහැඟි කෘතිය 1973 දී ඉංග්‍රීසියෙන් ලියා පළ කරන ලද්දේ Tamara Deutscher නම් කීර්තිමත් ලේඛිකාව විසිනි.
මැක්සිම් ගෝර්කිගේ අභාවය සිදුවූ අවස්ථාවේ ලියොන් ට්‍රොට්ස්කි විසින් 1936 ජූලි 09 වැනි දින සහිතව නෝර්වේහිදී ලියන ලද සමරු සටහනේ මෙම ඉංග්‍රීසි පරිවර්තනය, 1936 සැ
මිනිසාගේ ජීවන දසා පිළිබඳ සනාතන සත්‍ය විවරණයක් විලියම් ෂේක්ස්පියර් කිවිඳුන්ගේ සුඛාන්ත නාට්‍යයන්ගෙන් (comedies) එකක් වන ’As you like it’ නාට්‍යයෙහි හමුවෙයි. මේ ලිපි
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි
ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෝඩ් බුද්ධ සහ කිං එලිෆන්ට්