(ගීත ගෝවින්ද කාව්‍යයෙන්)
සංස්කෘත භාෂාව හැදෑරීමේ ආශා බීජය මගේ ළය ආලවාලයෙහි නමෝ විත්තියෙන් රෝපණය වූයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් තම 'කෝමල රේඛා' කව් - ගී සංග්‍රහයට ප්‍රස්තාවනා වශයෙන් ලියූ
'පෙර තලය' නම් ක්ෂුද්‍ර කාව්‍යයේ ආනුභාවයෙනි. එය හුදු ප්‍රස්තාවනාවක් නොව මධුර, මනෝහර, ස්නිග්ධ, කෝමල පදාවලියෙන් ලීලෝපේත එකම වාග් ආශ්චර්යකි. එකම වාක් ප්‍රාතිහාර්යකි. එකම වාගාභිමානයකි.
එම 'පෙර තලයෙහි' ලා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසිතුරු ලෙස මගේ මනසේ ඇඳි ඒ වංග සිරිමතියගේ රුසිරු රුව එදා පළමු වරට මා තුළ බිහි කළ අසිරි හැඟුම් දහර දැනුදු මගේ රිහිරි දිගේ දිව යන්නේ සියොලඟම මිහිරි කරමිනි.
"කුඩා කතරගම නමින් දන්නා එහෙත් ගමක් හෝ ගෙයක් නැති වන පෙතෙහි ගල් තලා උඩින් සෙමින් දිවෙන දිය රැල්ලෙන් දැකුම්කලු වූ ගං තෙරෙහි උස් බිම මත එකල කුඩා අසපුවෙක් විය. සිවුමැලි ඇඟිලි සිතාරයේ තත් උඩ දුවවමින් විරාම ලීලා සහිතව ගීත ගෝවින්දයේ සකූ ගී ගයමින් සිටි වංග සිරිමතිය මට දක්නට ලැබුණේ මෙහිදීය.
"පැරණි මිහිරි සකු ගීවල රසය සිත් පුරා විඳින්නට අවස්ථාව සැලසුණේය. ඉන් පසු බොහෝ දිනයන්හි ඉර මුදුන් සමයේ කුඹුක් තුරු යට හීල් හෙවණේ සිහින් වැලි තලාවේ පළිඟු පැහැති දිය වැල අයිනේ හිඳගෙන සිතාරය වාදනය කරමින් කියන ඇගේ සකු
ගීවලට කන් දී සිටි මගේ නෙත් සුව දායක ලෙස හෙමින් පියවී ගියේය. 'ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වන මාලී' යන ගීතයත් 'වදසි යදි කිංචිදපි දන්ත රුචි කෞමුදී' යන ගීතයත් 'කේලිකලා කුතු' ගීයත් 'පශ්‍යති දිශි දිශි රහසි භවන්තම්' යන ගීයත් 'කනක ගිරි ලංඝිතේ' යනුවෙන් ගැයෙන ගංගා ගීතයත් සකු ගී අතරින් මා සිත් ගත් ගී වෙයි..."
('කෝමල රේඛා'; 'පෙර තලය;' නව මුද්‍රණය;1981 මාර්තු; පිටුව 05)
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සංස්කෘත කාව්‍යයන්හි රසවත් ජවනිකාවලට පිවිසවූයේ සෙල්ලකතරගම මැණික් ගං ඉවුරේ වූ කුඩා අසපුවේදී ඔහුට මුණ ගැසුණු වංග සිරිමතියයි. සංස්කෘත කාව්‍ය රසය මගේ හදවතේ මිහිරි උරුමයක් කර ලූයේ මානවසිංහයන්ගේ 'කෝමල රේඛා' පෙර තලයෙන් පළමුවරට මා හඳුනා ගත් ශෘංගාර සාගරායමාන, ශ්‍රවණ රමණීය, සංගීතාත්මක, අනුප්‍රාස එළිසම ආදි ශබ්දාලංකාරයෙන් ප්‍රතිමණ්ඩිත, අප්‍රතිම 'ගීත ගෝවින්ද' නාම ධේය ශෘංගාර කාව්‍ය මාණික්‍යයයි. මා ඉන් පෙර 'ගීත ගෝවින්ද' කාව්‍යය ගැන අසා නොතිබුණි. එහි පිරී ඉතිරී ගිය සිරිඟර රස මිහිර හද පුරා විඳ ගැනීමේ නෑඹුල් අවස්ථාව මට උදා කර ලූයේ ඒ රමණීය කාව්‍යය විෂයෙහි මානවසිංහයන් තම 'කෝමල රේඛා' 'පෙර තලය' දිගේ මගේ රස නහර ගත කළ විස්මයාවහ රසාවේශයයි. රසාභාසයයි. රසානුභූතියයි. රසානුභාවයයි.
සෞන්දර්ය සාගරෝපම මානවසිංහයෝද දිවි හිම් තෙක්ම රස කාමයෙන් ප්‍රමත්තව සිටියෙකි. ඔහු ලියූ ගැදි ,පැදි, ගී ආදියෙහි යෙදුණු සිනිඳු, සියුමැලි, සිලිටි වදන් මුදු මොළොක් මල් පෙති මෙන් හිතින් පමණක් නොව අතින්ද පිරිමැද බලන්නට සිතෙයි. මේ පශ්චාත් නූතන සාහිත්‍ය කාන්තාරයේ අද එසේ භාෂා ප්‍රාතිහාර්ය පාන්නෝ කොහි වෙත්ද? මානවසිංහයෝ
'ගීත ගෝවින්ද' මාධූර්යයෙන් රසාවිෂ්ට මා සංස්කෘත සාහිත්‍ය සාගරයේ පිහිනීමට පුරුදු කළේ භාරත කාව්‍ය කුරවීක ශ්‍රී ජයදේවයන්ගේ වාගාමෘත කල්ලෝල මාලා ආලෝලිත 'ගීත ගෝවින්ද' කාව්‍ය රසෝඝයේ නිදැල්ලේ පා කර හරිමිනි.
ඇසුරෙන් නිබඳ මානවසිහ
අරවින්ද
මහදෙහි පිරුණි සකු සාහිත
මකරන්ද
ඔබමය රහස සකුවට මා පෙම්
බැන්ද
කවියකි ඔබ නමද කිවිඳුනි
මනනන්ද
වරක් මා මේ ප්‍රණාම පාඨය සකු බසින්ම ලියුවේ මානවසිංහයන් තුළ පැවති සංස්කෘත භාෂා නෛපුණ්‍යයට කෘතවේදී සම්භාවනාවක් වශයෙනි.
.
"මානවසිංහායමානස්‍ය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවීන්ද්‍රස්‍ය අප්‍රතිම උදාර ගුණගණමහං අතීව සාදරං සර්වදා මනසාස්මරාමි!"
(මිනිස් සිංහයෙකු වැනි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කිවිඳුන්ගේ අසමාන උසස් ගුණ සමූහය මම ඉතා ආදරයෙන් හැම දා සිතින් සිහිකරමි.)
ශ්‍රී ජයදේව කවිරාජ ප්‍රණීත, ශ්‍රැති රම්‍ය සංගීතාත්මක භාෂාවෙන් විභූෂිත, අමෘත ප්‍රවාහෝපම ගීත ගෝවින්ද කාව්‍යාස්වාදයෙන් ප්‍රමත්ත වූ උද්දීප්ත වූ මා එයින් උකහාගත් රස බිංදු මාත්‍රයක් මෙසේ මගේ දයාලූ සහෘද ඔබටත් ඉඳුල් ගැන්වීම මගේ සුන්දර යුතුකමක් කොට සලකම්හ. නිර්මාණකරණයේ යෙදෙන වත්මන් සාහිත්‍ය ලෝලී සන්තතියේ නවීන ප්‍රවීණ නිර්මාතෘ පක්ෂයට මෙන්ම ආස්වාදනයෙහි යෙදෙන රසික පක්ෂයටද ගීත ගෝවින්ද කාව්‍යය ආවේශ නිධානයක්මැයි. ආස්වාද කදම්බයක්මැයි.
ගීත ගෝවින්ද කාව්‍යය වූකලී එහි ආත්මය වූ සංගීතාත්මක භාෂා මාධූර්යය අතුරුදහන් නොවන සේ කවර බසකට හෝ පෙරළීමට යෑම පරම නිෂ්ඵල තැතක් බවට මෙතෙක් ප්‍රකාශිත සකල ලෝක ගීත ගෝවින්ද පරිවර්තනයෝම සාක්ෂි දරති. ඇතැම් පරිවර්තනයෝ ලේශ මාත්‍ර වශයෙන් මුත් අර්ථ රස සහිතයෝ වුවද සාකල්‍යයෙන්ම ශබ්ද රස රහිතයෝමැයි. එය කවර අරුමයක්ද? ගීත ගෝවින්ද කාව්‍යයේ ආත්මය වන් ශබ්ද රස ප්‍රාතිහාර්ය පෑ හැක්කේ
ශ්‍රී ජයදේවයන්ට පමණමැයි! කාව්‍ය කුරවීක ශ්‍රී ජයදේවයෙනි, ඔබගේ අනනුකරණීය අනන්‍යසාධාරණ පරම දුර්ලභ කවිත්වය කෙරෙහි මහත් සේ භක්තිභාරාවනතව මවිසින් දරන ලද මේ දිළිඳු පරිවර්තන ප්‍රයත්නය දැක යුෂ්මත්හු නොකිපෙත්වා!
වසන්තේ පිපෙන වාසන්තී කුසුම සුකුමාර රාධා ප්‍රණයිනිය නොමඳ වූ විරහ ගින්නෙන් දැවෙමින් තම හෘදයේශ්වර කෘෂ්ණයන් කොහි දැයි විපිළිසරව හිඳිති. ඇගේ ප්‍රාණ ප්‍රිය යෙහෙළිය රහස හෙළි කරයි. යමුනා ගංගා කූලය අසබඩ සුන්දර වෘන්දා විපිනයේ මධුකර නිකර ගුංජිත මත්ත කෝකිල කූජිත කුංජ කුටීරයේ අභිරමණ අභිලාෂයෙන් වෙසෙන කෘෂ්ණයන් වෙත වහා යන්නැයි ඕ රාධාට ආරාධනා කරයි. මේ ඒ අභිරමණීය අභිරමණ ආරාධනයයි.
රති සුඛ සාරේ ගතමභිසාරේ
මදන මනෝහර වේශම්
නකුරු නිතම්බිනි ගමන විලම්බන මනුසර තං හෘදයේශම්
(ධ්‍රුවය)
ධීර සමීරේ යමුනා තීරේ වසති
වනේ වනමාලී
ගෝපී පීන පයෝධර මර්දන චංචල
කර යුග ශාලී
(රාගය - ගුර්ජරී : තාලය - ඒකතාලිය)
රති සුව පිරි තැන දිළෙනා රූ සිරි මනහර මල්සර වෙසිනා
හද ඉසුරා වෙත පුළුලුකුලැත්තියෙ යනු යනු නොපමා වෙමිනා
[ 'පුන ගැයිය' යන මැය යටතේ පහත එන පද්‍යය අන් සෑම පද්‍යයකින්ම අනතුරුව දිගටම ගැයේ. එනිසා එය 'පුන ගැයිය' නමින් හැඳින්වෙයි. සංස්කෘත භාෂාවේ 'ධ්‍රුවම්' (ධ්‍රුවය) යනු ඊට නමි. මෙහි සෑම සංස්කෘත පද්‍යයකින් අනතුරුවම
ධීර සමීරේ...... යන පද්‍යය එන්නේද ඒ අනුවය.]
(පුන ගැයිය)
යමුනා ඉවුරේ හමනා පවනේ වෙසෙයි අරණ මැද ක්‍රිස්නා
ගොපලු ලියන් පුන් තන පිරිමදිනට සැලෙනා දෑතින දිස්නා
නාම සමේතං කෘත සඞ්කේතං
වාදයතේ මෘදු වේණුම්
බහු මනුතේ තනුතේ තනු සංගත පමණ චලිතමපි රේණුම්
(ධ්‍රුවය)
ධීර සමීරේ...........
ඔබ යා යුතු තැන හිඳ ඔහු ඔබෙ නම මුදු වෙණ තතින් වයන්නේ
පවනින් ගෙනැ එන ඔබෙ ඇඟෙ දූලිද අපමණ බැතින් පුදන්නේ
(පුන ගැයිය)
යමුනා ඉවුරේ............
පතති පතත්‍රේ විචලති පත්‍රේ
ශඞ්කිත භවදුපයානම්
රචයති ශයනං සචකිත නයනං පශ්‍යති තව පත්ථානම්
(ධ්‍රුවය)
ධීර සමීරේ...........
කුරුලන් වැසු කල කොළ සැලෙනා කල ඔහු දලු යහන සදන්නේ
ඔබ ඒ දැයි යන සැක ඇති දෑසින
ඔබ එන මගම බලන්නේ
(පුන ගැයිය)
යමුනා ඉවුරේ..........
මුඛරමධීරං ත්‍යජමඤ්ජීරං
රිපුමිව කේලිෂු ලෝලම්
චල සකි කුඤ්ජං සතිමිර පුඤ්ජං ශීලය නීල නිචෝලම්
(ධ්‍රුවය)
ධීර සමීරේ.......
මුදනු සලඹ එය සතුරෙකි හඬ දෙන රති රැඟුමන් දෙන වේලේ
අඳුරු පිඬක් වැනි ලිය ගොමුවට යනු අඳිනු දුහුල් නිල් සේලේ
(පුන ගැයිය)
යමුනා ඉවුරේ...........
උරසි මුරාරේරුපහිතහාරේ ඝන ඉව තරල බලාකේ
තඩිදිව පීතේ රතිවිපරීතේ රාජසි සුකෘත විපාකේ
(ධ්‍රුවය)
ධීර සමීරේ.......
රන්වන් පිනැතිය කළු වන් ඔහු
මත රති රැඟුමන් දෙන වේලේ
ඔහු ළැම මේ කුළ මත දිළි කොක් පෙළ වැනි වෙයි ඔබෙ මුතු මාලේ
(පුන ගැයිය)
යමුනා ඉවුරේ......
විගලිත වසනං පරිහෘත රසනං
ඝටය ජඝනමපිධානම්
කිසලය ශයනේ පඞ්කජ නයනේ
නිධිමිව හර්ෂ නිදානම්
(ධ්‍රුවය)
ධීර සමීරේ......
(හරිණී වෘත්තයයි.)
ගිලිහුණු දුහුලැති ගැලැවුණු මෙවුලැති මනරම් නිතඹ නිධානේ හොවා ලන්නැ ගොස් පියුමැසියේ
ඔහු සදා තිබෙන දලු යහනේ
(පුන ගැයිය)
යමුනා ඉවුරේ හමනා පවනේ වෙසෙයි අරණ මැද ක්‍රිස්නා
ගොපලු ලියන් පුන් තන පිරිමදිනට
සැලෙනා දෑතින දිස්නා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අභිරමණීය අභිරමණ ආරාධනය!