
[ Federico Fellini (1920 1993) විශ්ව කීර්තිධර සම්භාවනීය ඉතාලි චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකි. ඔහු පළමු වරට අන්තර්ජාතික කීර්තියට පත්වූයේ La Strada (1954) චිත්‍රපටියට විශිෂ්ට විදේශීය චිත්‍රපටියට හිමි වන Oscar සම්මානය ලැබීමෙනි. ප්‍රංශයේ Cannes සිනමා උලෙළෙහිදී Grand Prix ජයග්‍රහණය කළ La Dolce Vita චිත්‍රපටිය (මෙය ලංකාවේද ප්‍රදර්ශනය කරන ලද්දකි.) ඔහුගේ ප්‍රධාන පෙළේ සිනමා නිර්මාණ අතරට අයත් වෙයි. එය වූකලී රෝමයේ ඉහළ සමාජය පිළිබිඹු කරන ප්‍රහසනාත්මක කෘතියකි.
මෙම සම්මුඛ සාකච්ඡාව වනාහි , ජීඩියන් බැච්මන් නමැති මාධ්‍යවේදියා විසින් Federico Fellini සමග පවත්වන ලද්දකි. ඔහු Cinemages සඟරාවේ සංස්කාරකවරයාය. ඔහුගේ සම්මුඛ සාකච්ඡා එකල නිව්යෝර්ක් , කැනඩා සහ එංගලන්ත ගුවන්විදුලි සේවා ඔස්සේ නිතර ප්‍රචාරය විය. මෙම සම්මුඛ සාකච්ඡාව පළ වූයේ Robert Hughes විසින් සංස්කරණය කරන ලද Film: Book 1 සංග්‍රහයෙහිය. එහි මාතෘකාව The Process of Film making නම් විය. මෙම ඉංග්‍රීසි සම්මුඛ සාකච්ඡාව , මවිසින් 1963 අවුරුද්දේ කළ සිංහල පරිවර්තනයේ ප්‍රතිසංස්කරණයකි.]
බැච්මන්:
මට ඔබ සමග කතා කරන්න වුවමනා විශේෂ චිත්‍රපටියක් නැත්නම් වෙන එවැන්නක් ගැන නෙමෙයි. මගේ බලාපොරොත්තුව පොදු වශයෙන් චිත්‍රපටි නිර්මාණය ගැන ඔබ තුළ ඇති ආකල්ප , චිත්‍රපටි ගණනක් තැනීම සඳහා ඔබට හේතු වූ කරුණු , චිත්‍රපටියට වස්තු වශයෙන් ඔබ යොදන දේ ආදිය සම්බන්ධයෙන් ඔබගේ දාර්ශනික හා සාමාජික ප්‍රවේශය ගැන කතා කිරීමටයි. උදාහරණයක් කියනවා නම් , ඔබගේ කෘතිවල ගැඹුරු සංකේත භාවිතයක් , ඔබගේ සෑම චිත්‍රපටියකම වගේ පුන පුනා පෙන්වන ප්‍රධාන අංග වගයක් ඇතැයි බොහෝ විචාරකයන් කියා තිබෙනවා. පියාසාව රාත්‍රී කාලයට පෙනෙන හැටි වතුර මලකුත් එක්ක දක්වන දර්ශනය , මුහුදු වෙරළේ දර්ශනය වැනි දේවල්.
ෆෙලිනි:
මම ඒක අභිප්‍රායක් ඇතිව කරන දෙයක් නෙමෙයි. භුමියක් තෝරා ගැනීමෙදි මම එතන තියෙන වස්තුවලින් දෙන්න පුළුවන් සංකේත අර්ථ සලකලා ඒක තෝරා ගන්නෙ නෑ. යම් යම් දේවල් සිද්ධ වෙනවා. ඒවා හොඳට සිද්ධ වුණොත් ඒවා මගේ අර්ථය ප්‍රකාශ කරනවා ඔබ සඳහන් කළ විශේෂ උදාහරණ ගැන මම යමක් කියන්න කැමතියි. මගේ හැම චිත්‍රපටියක්ම ඇසුරු කරන්නෙ තම තමන් ගැන හෙවිල්ලෙන් ඉන්න මිනිස්සු. ඔබ සඳහන් කළ පියාසාව පිළිබඳ සිනමා රූපවල පෙන්වන විදියෙ රාත්‍රිය , පාළු වීදිවල පවතින හුදෙකලා බව , සමහර විට මම මේ මිනිස්සු දකින ඉතාම හොඳ පරිසරය වෙන්න පුළුවන්. ඒ වගේම මගේ චිත්‍රපටිවල ගැබ්වුණු වස්තුවලින් මට වෙන්වෙලා ඉන්න නොපුළුවන් නිසා මේ තැන් තෝරා ගැනීමට මට හිත් දෙන සම්බන්ධකම් මගේම ජීවිතයෙ අත්දැකීම් උඩ පිහිටපු දේවල් වෙන්න පුළුවන්. මං පදිංචි වෙලා හිටිය රිමිනි නගරය අත ඇරලා තනියම ඉන්න කාලේ රෝමය ගැන ඇතිවුණු මුල් හැඟීම පිළිබඳ මතකය වෙන්න පුළුවන් මේ දර්ශන ඡායාරූපයට ගැනීමෙදි මගේ හිතේ තියෙන්න ඇත්තෙ. මට එතකොට වයස අවුරුදු දහසයයි. මට රස්සාවක් තිබුණෙ නැහැ. මං කරන්න ඕනෑ මොකක්ද කියන එක ගැන වුණත් කිසිම අදහසක් තිබුණෙ නෑ. මං බොහෝ විට හිටියෙ වැඩක් නැතිවයි. හරියට කන්න බොන්නවත් හෝටලේක නවතින්නවත් නිතරම සල්ලි තිබුණෙ නෑ. නොයෙක් විට මං වැඩ කළේ රෑ. කොහොම වුණත් රෑට පාළුව හුදෙකලාව පෙනුණු නගරය පිළිබඳ දර්ශනය ඒ කාලේ ඉඳලම මගේ හිත ඇතුළෙ නොමැකී තියෙන්න ඇති.
බැච්මන්:
ඔබ මුලින්ම රෝමයට ආවම චිත්‍රපටිවල වැඩට සම්බන්ධ වෙන්න හිතුවෙ නැද්ද?
ෆෙලිනි:
නෑ. ඇත්ත වශයෙන් මම දැනගෙන හිටියෙ නෑ මට කරන්න වුවමනා කළේ මොකක්ද කියන එක. ඒත් මම රෝමයට ඒම චිත්‍රපටි සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් වුණා. පත්තරකාරයන් සාටෝප පුද්ගල රූප වුණු ඇමෙරිකානු චිත්‍රපටි බොහොමයක් මම දැකලා තියෙනවා. මට ඒවායේ නම් හරියට මතක නෑ. ඒ මීට අවුරුදු විසිපහකට ඉස්සර. පත්තරකාරයන්ගේ ජීවිතය කොයි තරම් මගේ හිත ගත්තද කියනවා නම් මමත් පත්තරකාරයෙක් වෙන්න ඕනැයි තීරණය කෙරුවා. ඒ අය ඇන්ද කෝට්වලට , ඔළුවල පස්සට වෙන්න ඒ අය තොප්පි දාගෙන ඉන්න විදියට , මං ආශා කළා. අවාසනාවට වගේ මට ලැබුණු මගේ රස්සාව මගේ සිහිනයට වඩා බොහොම වෙනස් එකක්. මම , ප්‍රසිද්ධ ආරංචි ලබාගන්න , කර්තෘවරයා විසින් ඉස්පිරිතාලවලට පොලිසියට යැව්ව උප වාර්තාකාරයෙක් වුණා. පස්සෙ මම ගුවන්විදුලියට ලියන්න පටන් ගත්තා. වැඩි වශයෙන් ලුහුඬු සටහන්. ඊට පස්සෙ වේදිකාවට මගේ හිත ගියා. ඊළඟට මම කුඩා සංචාරක සංගීත ප්‍රදර්ශනයක් ඇතුව ඉතාලියට ගියා. ඒක මගේ ජීවිතේ ඉතාමත් රසවත් කාලවලින් එකක්. මම තවමත් මගේ අත්දැකීම්වලින් බොහොමයක් ඇදගන්නෙ ඒ දවස්වලින්.
බැච්මන්:
ඇත්ත වශයෙන් සංචාරක සංගීත ප්‍රදර්ශන ඔබේ චිත්‍රපටිවල පුන පුනා පෙන්වන ප්‍රධාන අංගවලින් එකක්. ඉතින් ඔබ කොහොමද අන්තිමට චිත්‍රපටිවල වැඩ කිරීම පටන් ගත්තෙ?
ෆෙලිනි:
මුලින්ම මම පිටපත් දෙවන වර ලියන්නෙක් වුණා. මෝඩ විහිළු නාට්‍ය පිටපත්වලට අමුතු කෑලි එකතු කරමින් සිටියා. මං මුලින්ම නිර්මාණය කරපු චිත්‍රපටි කතාවෙ නම Avantic'e posto. ඒක බස්කොන්දොස්තර කෙනෙක් ගැන ලියපු කතාවක්. හරියට පෙරළුවොත් ඒ නමේ තේරුම 'කරුණාකරලා පස්සට යන්න.' ඒක මෙහෙයෙව්වේ Bonnard. දේවත්වයෙන් සලකපු චිත්‍රපටි නළුවෙකු වශයෙන් Bonnard ගේ ප්‍රසිද්ධිය මැකී ගිහින් තිබුණු ඒ කාලයෙ එයා චිත්‍රපටි මෙහෙයවන්න කැමති වෙලා හිටියා. ඒ 1940 අවුරුද්දෙ. ඊට පස්සෙ මම පිටපත් ගණනාවක් ලිව්වා. බොහෝ ගණනාවක් ලිව්වා. ඒවා ඔක්කොම නිෂ්පාදනය කළා. ඒවා වැඩි හරියක් ප්‍රහසන. ඒවායේ අනුකම්පාව උපදවන ස්වභාවයක් තිබුණා. යුද්ධයෙන් පස්සෙ මට Rossellini මුණගැසුණා. Open City සහ Paisa නිෂ්පාදනවලදි එයා වෙනුවෙන් වැඩ කළා. ඒ කාලෙ තමයි මම තේරුම් ගන්න වුණේ , එහෙම නැත්නම් අඩු ගානේ සැක කරන්න වුණේ , කෙනෙකුට චිත්‍රපටිය තුළින් ගැඹුරු දේ ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඊට පස්සෙ මම අවුරුදු තුනක් යන කල්ම දිගටම පිටපත් ලිව්වා , යුද්ධයෙන් පසු කාලෙ ඉතාලියානු අධ්‍යක්ෂකවරුන්ට. ඊට පස්සෙ මම කියන්නෙ නෑ මගේ බලාපොරොත්තු සුන් වුණා කියලා. එහෙම වුණත් කෙනෙක් ඇත්ත වශයෙන් චිත්‍රපටියට ආදරය කරන කොට ඒ තැනැත්තට ලිවීමෙන් පමණක් නතර වෙන්න බෑ. මම ඊට පස්සෙ තීරණය කළා චිත්‍රපටි මෙහෙයවන්න. මගේ මුල් චිත්‍රපටිය හැඳින්වුණේ Luci del variet'a (Foot Lights) යන නමින්.
බැච්මන්:
ඒක ඔබමයි මෙහෙයෙව්වෙ?
ෆෙලිනි:
ඔව්. ඒක මංම ලියලා මමමයි මෙහෙයෙව්වෙ. ඒක , අවුරුද්දක් විතර මහ පාරෙ මාත් එක්ක කල දවස ගෙවපු පුංචි නාට්‍ය කණ්ඩායම ගැන කතාවක්.
බැච්මන්:
The Miracle ලිව්වෙ , ඒකෙ පෙනී සිටියෙ කවදාද?
ෆෙලිනි:
Rosselini වෙනුවෙන් වැඩ කරපු කාලෙ. මම චිත්‍රපටි මෙහෙයවන්න පටන් ගන්න ඉස්සෙල්ලා.
බැච්මන්:
එතකොට ඔබේ ගැඹුරු චිත්‍රපටි වෘත්තිය පටන්ගත්තෙ ඉතාලියානු නව යථාර්ථවාදය පීදීගෙන එන කාලෙ. ඔබේ චිත්‍රපටි හා සම්භාවිත නවයථාර්ථවාදය අතර තියෙන සම්බන්ධය ගැන විචාරකයන් හුඟක් වාද කරලා තියෙනවා. ඔබ හිතනවද , ඔබේ කෘති ඔබ සම්බන්ධ වෙලා වැඩ කරපු De Sica , Rossellini , Lattuada ආදි නවයථාර්ථවාදී අධ්‍යක්ෂකවරුන්ගෙන් භින්න වුණා , එහෙම නැත්නම් ඒ අයගෙ බලපෑමට අසුවුණා කියලා.
ෆෙලිනි:
නවයථාර්ථවාදී චිත්‍රපටිවලට මුලින්ම පිටපත් ලිව්ව අයගෙන් එක්කෙනෙක් මමත්. මම හිතනවා මගේ කෘති සියල්ලෙම පැහැදිලිවම ඇත්තෙ නවයථාර්ථවාදී රීතියක් කියලා. ඉතාලියෙත් සමහරු ඒක එහෙමයි කියලා හිතන්නෙ නෑ. නමුත් මේක දිග කතාවක්. මගේ මතයේ හැටියට නවයථාර්ථවාදය කියන්නෙ අගතියෙන් තොරව , ලෝක සම්මතයන්ගේ බැඳීමෙන් තොරව , යථාර්ථය දකින විධියක්. කලින් නියම කරගත් අදහස් කිසිවකින් තොරව , යථාර්ථය ඉදිරියේ තමා සිටුවා තැබීමක්.
බැච්මන්:
මං හිතන්නෙ ජීවිතය ඉදිරියෙ කැමරාව තියලා එහි ඇති දේ නිකම් පින්තූරයට ගැනීමක් ඔබ එයින් අදහස් කරන්නෙ නෑ.
ෆෙලිනි:
නෑ. ඒක යථාර්ථය ගැන හැඟීමක් ඇති කරගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. යම් කිසි විවරණයක් දීමට ඇති වුවමනාව හැම තිස්සෙම තියෙනවා. ඒක ස්වාභාවිකයි. යුද්ධයෙන් පස්සෙ හැම දෙයක්ම අපිට සම්පූර්ණයෙන්ම අලුත්ව පෙනුණු එකයි ඉතාලියෙ සිද්ධ වුණේ. ඉතාලිය නටබුන් වෙලා ගිහින් තිබුණා. වටපිට බැලුව ගමන් තමන්ට හැඟුණු හැම දෙයක්ම කියන්න පුළුවන් වුණා. පස්සෙ වාම පාක්ෂික ප්‍රවෘත්ති පත්‍ර කළේ මොකක්ද? චිත්‍රපටිවලින් කරන්න ඕනැ එකම ප්‍රබල දෙය , තමන් අවට සිද්ධ වෙන දේවල් පෙන්නන එකය කියලා මේ නොවැදගත් එකම පැත්තක් බැලීම වෙළඳාමක් කරගත්තා. ඒත් කලාත්මක ඇසකින් බලනකොට මේ කියමනේ කිසිම වටිනාකමක් නෑ. ඇයි? හැමතිස්සෙම දැනගන්න ඕනැ වැදගත්ම දෙය යථාර්ථය දකින්නෙ කවුද කියන එකයි. එතකොට ඒක , යමක් හකුළුවා කීමට , යම් යම් දේවල ඇති සාරය පෙන්වීමට , උවමනා කරන ශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. ඒක කොහොම වුණත් , මොකද අපි හදන චිත්‍රපටි නිකම් ප්‍රවෘත්ති චිත්‍රපටිවලට වඩා ඔය තරම් හොඳ වෙන්නේ?
(මතු සම්බන්ධයි.)
2025 නොවැම්බර් මස 04
400
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2178
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිනමා නිර්මාණවලදී මම සත්‍යවාදී වෙමි.’’ - ෆෙඩ්රිකෝ ෆෙලිනි