

රෝහණ විජේවීරයන්ගේ ජේවීපීය බිහිවූයේ 06 වැනි දශකයේ යැයි සිතමි. එහෙත් ඒ ජේවීපීය ඉපදෙන්න බොහෝ කලකට පෙර , එනම් , ඊට කලින් දශකයේ තවත් ජේවීපීයක් ප්‍රකටව තිබුණු බව දන්නා අය මෙකල වෙතොත් ඒ ඉතා අතළොස්සකි. විජේවීරයන්ගේ ජේවීපී නාමය අද කටක් නෑර කියවෙන වචනයක්ව පවත්නා සේම 05 වැනි දශකයේදී අර අනික් ජේවීපී නාමයද මෙරට දනන් තුඩ තුඩ රැව් දුන් නාමයක් වූ බව එකල විසූවන්ට මතක ඇතුවා නිසැකය. අද ජේවීපීය ගැන කතා කරන විට එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිරූපය උත්තුංගව නැගී සිටින්නා සේම එදා අනික් ජේවීපී නාමය සමග එහි නායකත්වය දැරූ තැනැත්තාගේ ප්‍රතිරූපයද එලෙසින්ම උස්ව නැගී සිටියේය.
රෝහණ විජේවීරයන් ආරම්භ කළ පක්ෂය ඉංග්‍රීසි JVP යන අකුරු තුනෙන් කෙටි කොට හැඳින්වෙන්නේ එය 'ජනතා විමුක්ති පෙරමුණ' නම් වූ නිසාය. අනික් ජේවීපීය එසේ හැඳින්වුණේ එය 'ජාතික විමුක්ති පෙරමුණ' යන නම දැරූ බැවිනි. 05 වැනි දශකයේ බිහිවුණු ජාතික විමුක්ති පෙරමුණේ නායකයා වූයේ කෝනාර මුදියන්සේලාගේ පොඩි අප්පුහාමි (කේ.එම්.පී.) රාජරත්නයන්ය. රෝහණ විජේවීරයන් රැවුල් කාරයෙක් වූ නමුත් රාජරත්නයෝ එසේ නොවූහ. එහෙත් දේශපාලන සිරකරුවෙකු වශයෙන් බන්ධනාගාර ගතව සිට ඉන් නිදහස් වීමෙන් අනතුරුව ඔහු තමා සිරගෙදරදී වැවූ රැවුල නොකපා හැරියේය.කලින් එක සේ කොමියුනිස්ට් පාක්ෂිකයන්ව සිට පසුව දෙමගක ගොස් ජේ වී පී යන එකම මුල් අකුරුවලින් ප්‍රකටව ගිය අන්ත දෙකක පක්ෂ දෙකක් ඇරඹූ කේ.එම්.පී. රාජරත්නයෝ සහ රෝහණ විජේවීරයෝ අවසානයේ රැවුලෙන් පමණක් සම වූහ.
රාජරත්නයන් එදා තමා පටන් ගත් සටන අතරමගදී අතහැර නිහඬව විසුවද රෝහණ විජේවීරයෝ තම සටන නොනවත්වාම පෙරට ගෙන ගොස් අවසානයේ ඒ වෙනුවෙන් දිවිද පුද දුන්හ.
'ජාතික විමුක්ති පෙරමුණ' නමි පක්ෂය ඔසවා සිටියේ එහි නායක කේ.එම්.පී. රාජරත්න , තිලක් රත්නකාර , ජේ.ආර්.පී. සූරියප්පෙරුම සහ හරිශ්චන්ද්‍ර විජයතුංග යන බල කණු සතරය. ජාතික විමුක්ති පෙරමුණේ න්‍යායාචාර්යවරයාණෝ එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය එෆ්.ආර්. ජයසූරිය විද්වතාණෝය. රාජරත්න , රත්නකාර , සූරියප්පෙරුම යන ත්‍රිමූර්තියම ජයසූරිය මහාචාර්ය වරයාගේ ආර්ථික විද්‍යා ශිෂ්‍ය රත්නත්‍රයයකි. හරිශ්චන්ද්‍ර විජයතුංගයෝ විද්‍යා ක්ෂේත්‍රයට අයත් වූවෙකි. ජාතික විමුක්ති පෙරමුණේ නායක රාජරත්නයන් සහ සෙසු තිදෙනම මුලින් කොමියුනිස්ට්වාදීහු වූහ. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක සමයේ තිලක් රත්නකාරයන් නැවතී සිටියේ මහනුවර විසූ කොමියුනිස්ට්වාදී සෙනෙට් සභා මන්ත්‍රී එල්.බී. (ලෙව්කේ බණ්ඩාර)
ජයසේනයන්ගේ නිවසේය. පසු කලක තිලක් රත්නකාරයන්ගේ පාණි ග්‍රහණය සිදුවූයේ ජයසේනයන්ගේ එකම දියණිය ශ්‍රියා ලෙව්කේ බණ්ඩාර සමගය. ඇය වනාහි ලංකාදීපය ඇරඹූ 'වනිතාවිත්ති' කාන්තා පුවත්පතේ සහ 'දවස' නිවස පළ කළ 'ශ්‍රී' සඟරාවේ කතුකම් කළ ශ්‍රියා රත්නකාර නම් සුප්‍රකට පුවත්පත්කලා වේදිනියයි.
05 වැනි දශකයේ පාසල් වියේ සිටියදී නුගේගොඩ නගරය කේන්ද්‍ර කොටගෙන ඇරඹුණු අපගේ නිල නොලත් සප්ත මිත්‍ර සංසදයට අයත් සුනන්ද මහේන්ද්‍ර , අජන්තා රණසිංහ , අශෝක කොළඹගේ , බණ්ඩාර විජයතුංග , දයාාරත්න රණතුංග , ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සහ මා යන අප සියල්ලන්ටම එකල මහාචාර්ය තිලක් රත්නකාරයන්ගේ නිවෙස , සාහිත්‍ය , සංගීත , කලා ආස්වාදනයට මෙන්ම නිර්මාණකරණයටද එක සේ ආවේශය ගෙන දුන් සෞන්දර්ය තක්සලාවක් බඳු විය. සුනන්ද මහේන්ද්‍රයෝ සහ බණ්ඩාර විජයතුංගයෝ කොළඹ ආනන්ද විද්‍යාලයේදී තිලක් රත්නකාරයන්ගේ සම්භක්ත ශිෂ්‍ය රත්නයෝය. සප්ත මිත්‍ර සංසදයේ සෙස්සන්ද රත්නකාරයන්ගේ කුලුපගයන් බවට පත්වීම එහි විපුල ඵලයකි.
පෙර අපර දෙදිගම සම්භාව්‍ය සාහිත්‍යය ගැඹුරින් හදාළ රත්නකාරයෝ සංස්කෘත , පාලි භාෂා හා ජ්‍යෝතීර් විද්‍යාව ඉගෙන ගැනීමටද වෙසෙස් උනන්දුවක් ගත්හ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සමීප ආශ්‍රයෙන් ලත් ආවේශය ඊට හේතු වන්නට ඇතුවා නිසැකය. 06 වැනි දශකයේදී ඔහු සාහිත්‍ය විචාරකයෙකු වශයෙන් පෙරමුණට ආවේ එකල පේරාදෙණි ගුරුකුලය නමින් හැඳින්වුණු ලේඛක ගණයට නිර්දය ප්‍රහාරයක් එල්ල කරමිනි.
හරිශ්චන්ද්‍ර විජයතුංගයන් සහ ජේ . ආර් . පී . සූරියප්පෙරුමයන් පළමුව මුණ ගැසී සමීපව ආශ්‍රය කිරීමට මට මග පෑදෙන්නේ තිලක් රත්නකාරයන්ගේ නිවසේදීය. ජාතික විමුක්ති පෙරමුණේ න්‍යායාචාර්ය මහාචාර්ය එෆ් . ආර් . ජයසූරිය විද්වතාණන් මෙන්ම එහි නායක කේ . එම් . පී . රාජරත්නයන්ද තිලක් රත්නකාරයන්ගේ නිවසේදී හමුවන වාර සුලබය. එහෙත් සුනන්ද මහේන්ද්‍රයන් ඇතුළු අප සප්ත මිත්‍ර සංසද මිතුරු කැල එදා වඩාත් සමීපව පයුරුපාසනය කළේ රත්නකාර . සූරියප්පෙරුම , විජයතුංග යන ජේ .වී . පී ත්‍රිමූර්තිය සමගය.ඔවුන්ගේ ආධානග්‍රාහී දේශපාලන දෘෂ්ටිවාදයට වඩා ඔවුන් තුළ පැවති ශාස්ත්‍රඥ භාවය , සාහිත්‍ය ඥානය හා රසකාමිත්වය කෙරෙහි අප තුළ උපන් බද්ධ ප්‍රේමය ඊට බලවත් හේතුවක් වූ බැව් ඉඳුරා පැවසිය හැකිය.
කාලයාගේ ඇවෑමෙන් , මහාචාර්ය තිලක් රත්නකාරයන් හා ජේ.ආර්.පී. සූරියප්පෙරුමයන් සමග පැවති මගේ සමීප ආශ්‍රය කෙමෙන් ඈත් වී ගියද හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීන්ගේ හා මගේ කුලුපග ආශ්‍රය , ඔහුගේ යුග නේත්‍රයන් සදහටම නිමීලනය වී යන තුරුම මිලාන නොවී උන්මීලිතවම. පැවතුණි. කිරිබත්ගොඩ මගේ නිවෙසට ඉතා නුදුරින් ඔහු පදිංචි වී සිටීමත් අප දෙදෙනාගේ නිරන්තර පයුරුපාසනයට ඉමහත් පිටුබලයක් වූවා නිසැකය. විජයතුංගයන් කිරිබත්ගොඩ පදිංචි වීමට පෙලඹුණේ ඔහුගේ බිරිඳ කරුණාගේ ගම එය වූ බැවිනි. ප්‍රශස්ත නාට්‍ය හා සිනමා වේදියෙකු වන ධර්මසිරි බණ්ඩාර නායකයන්ගේ ඥාති සොහොයුරියක වන ඇය කලක් මා සමග එකම විදුහලේ සේවය කළ මගේ ළෙන්ගතු මිතුරියකි.
විජයතුංග සූරීන්ගේ නිවෙසට ගොස් ඔහු සමග නිතර දෙවේලේ සාකච්ඡාවේ යෙදෙනුවට වඩා අප දෙදෙනාගේ බොහෝ අල්ලාප සල්ලාපයන් සිදුවන්නේ කිරිබත්ගොඩ මංසන්ධියේදීය. ඒ ඔහුත් මාත් කිසියම් වුවමනාවක් සඳහා එහි ආ අවස්ථාවක අහම්බෙන් සිදුවූ හමුවීමකදීය. ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් හා ප්‍රසන්න ඡවි වර්ණයෙන් උපශෝභිත මේ ආකර්ෂණීය පුරුෂයා කවුරුන්ද යන්න නගරවැසි ගම්වැසි සාමාන්‍ය ජනයා කෙසේ දනිත්ද? සරමක් හා අත් කොට කොටු බුෂ් ෂර්ට් එකක් ඇඳ හන්දියට පයින් එන මේ ප්‍රාඥයා ඔවුන්ට තවත් මිනිසෙක් පමණි. එක්තරා දිනක කිරිබත්ගොඩ නගර මධ්‍යයේ අප දෙදෙනා මෙසේ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිනු දුටු උදාර එස්.සී. විලත්ගමුව නමින් දන්නා මගේ ෆේස් බුක් සහෘදයා එම දසුන නිමිති කොට පළ කළ හෘදයංගම එෆ් බී සටහන මෙවේලේ මගේ සිහියට නැගෙන්නේ ඉබේය.
විජයතුංගයන්ගේ සහ මගේ කුලුපග ඇසුරේදී මගේ ස්මෘතියේ මුද්‍රිත බොහෝ අනුභූතින් අතරින් වෙසෙස් අතළොස්සක් මෙසේ හෙළි කරනුයේ ඔහුගේ අප්‍රකට චරිතාංගයන්ට සාක්ෂාත් සාධක වශයෙනි.
සුනන්ද මහේන්ද්‍රයන් ඇතුළු අප සත් මිතුරු කැල රත්නකාර නිවෙස එකම සෞන්දර්ය සන්ථාගාරයක් කොටගෙන කල් ගෙවූ 06 වන දසකයයි ඒ. තම කුලුපග මිත්‍ර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මෙන්ම උග්‍ර කතරගම දේව සම්භක්තයෙක් වූ තිලක් රත්නකාරයෝ වරක් කතරගම චාරිකාවක් සඳහා අප කීප දෙනෙකුට ආරාධනා කළහ. හරිශ්චන්ද්‍ර විජයතුංග . ජේ.ආර්.පී. සූරියප්පෙරුම , සුනන්ද මහේන්ද්‍ර , ටියුඩර් කඳනආරච් සහ අස්මත් ශබ්ද වාච්‍යයා එම ආරාධිතයෝය. ප්‍රතිභා සම්පන්න සංගීතඥයෙකු හා ප්‍රශස්ත ගායකයෙකු වන ටියුඩර් කඳනආරච්චි සහෘදයා එකල බෝඩ්ං වී සිටියේ රත්නකාර නිවසේ කන්තෝරු කාමරයේය. අප මිතුරු කැලගේ සොඳුරු සුඛස්ථානය වූයේද එයමය.
අද මෙන් නොව , එදා කතරගම දේවාල පරිසරය සපුරා වෙනස්ය. නවාතැන් සඳහා තිබුණේ සාමි මඩම පමණි. දේවාලය අවට එක පෙළට මල්කඩ සහ පලතුරු කඩය. එදා කතරගම යද්දී හරිශ්චන්ද්‍ර විජයතුංගයන් එක්තරා උත්තම පූජා භාණ්ඩයක් වැඩමවාගෙන ගොස් තිබුණේ අපමණ බැති සිතිනි. ඒ ඔහුගේ නෑඹුල් පද්‍ය සංග්‍රහය වන
'පහන් වන දා ' අත්පිටපතය. දේවාලය ඉදිරිපිට වූ කඩයක කැන්වස් රෙද්දක් සහිත හාන්සි පුටුවක දිග ඇදුණු විජයතුංගයෝ 'පහන් වන දා' අත් පිටපතේ පැදි උස් හඬින් කියනු එදා අප අසා සිටියේ උණු රණවරා පැන් බොමිනි. සිවු අනූ වසක් ආයු වළඳා මෙලෝ හළ හරිශ්චන්ද්‍ර විජයතුංගයන් එදා මෙලෝ හිඳ තම ගැඹුරු හඬින් ඒ පැදි කියූ අයුරු මෙදා මා යළි මතකයෙන් දකින්නේ දුකින් බර වූ හදිනි.
වසර කීපයකට පෙරාතුව දිනක් හැන්දෑ යාමේ මා ඔහුගේ ගෙදරට ගොඩවැදුණේ කලකින් ඔහු හා සතුටු සාමීචියේ යෙදීමට අවස්ථාවක් නොලද හෙයිනි.
"කරූ , මං මගේ ශබ්දකෝෂය ගුණසේනලට සින්නක්කර විකුණලා දැම්මා. ඕක මං ළඟ තියාගෙන ඉඳලා අනාගතේ මොනවා වෙයිද කවුද දන්නෙ?
මඳක් ඔහු දෙස බලා සිටි මගේ මුවින් මෙවදන් පිටවුණේ ඉබේය.
"ගුණසේනලට ධන නිධානයක්. අනාගත පරම්පරාවට ඥාන නිධානයක්!"
සිංහල සැබි හරුපවල මෙන්ම
කුණු හරුපවල අරුත්ද , එසේම ලංකාවේ පතළ කුලවල අරුත්ද නොසඟවා පළ කළ පළමුවන කෝෂග්‍රන්ථය ලෙස විජයතුංග මහා සිංහල ශබ්ද කෝෂය ඉතිහාස ගත වෙයි. මෙම ශබ්දකෝෂ සම්පාදනය සිදුවෙමින් පැවති මුල් කාලයේ තමා මුහුණ පෑ එක්තරා අකරතැබ්බයක රහස විජයතුංගයන් එවේලේ මට හෙළි කර සිටියේ මහත් වූ චිත්ත සන්තාපයකිනි.
"මම එක ශබ්ද කෝෂ කාණ්ඩයකදි එක්තරා කුලයකට අයිති රස්සාව එළි කරල තිබුණා ඒකට විරෝධය ප්‍රකාශ කරල ඒ කුලේ උදවිය ජනාධිපතිටයි අගමැතිටයි ලියුමක් ඇරල තිබුණා. ඒකෙ කොපියක් මටත් එවල තිබුණා. ඒක කුලාරක්ෂක සංවිධානයක්. ඒ සංවිධානයෙ අනුශාසක රටේ ප්‍රසිද්ධ නායක හාමුදුරු නමක්. මම ජනාධිපති අගමැති හම්බවෙලා ශබ්ද කෝෂ පරමාර්ථය ගැන කරුණු පැහැදිලි කළා. අන්තිමට ඒ කුල නාමෙ අරන් දාල සේරම කොපි අලුතෙන් මුද්‍රණය කළා. දේශපාලකයන්ට වැදගත් උණේ කුල ඡන්ද පදනම."
ඔහු ගෙට ගොස් ඒ ලිපිය ගෙනැවිත් මට පෙන්වූ වේලේ මම මවිත වීමි. ඒ කුලාරක්ෂක සංවිධානයේ අනුශාසක හිමි , බෝධිසත්ව ගුණෝපේත සංඝ නේතෘවරයෙකු ලෙස මගේ අත්‍යන්ත ගෞරවයට පාත්‍රව සිටි හෙයිනි.
හරිශ්චන්ද්‍ර විජයතුංගයන් විසින් රචිත 'කුමාරතුංග සමාජ දර්ශනය' කෘතිය ඔබ කියවා ඇද්දැයි නොදනිමි. එය යළි පළ කළ යුතු මාහැඟි පොතකි. මුනිදාස කුමාරතුංගයන්ගේ සමාජ හා දේශපාලන දර්ශනය අරභයා එතරම් ස්වාධීන ලෙස ලියැවුණු වෙසෙස් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් මෙය හැර තවත් ඇතැයි නොසිතමි. කුමාරතුංගයන් 'ඉලපත' නමින් ප්‍රහාරාත්මක දේශපාලන පත්තරයක් පළ කර ඇතැයි යන අප්‍රකට පුවතද මා පළමුවරට දැන ගත්තේ එමගිනි.
හරිශ්චන්ද්‍ර විජයතුංගයන් නාලන්ද විද්‍යාලයේ ගත කළ ශිෂ්‍ය අවධියේ බෝඩිං වී සිටියේ හෙළ හවුලේ පුරෝගාමී විද්වතෙක් වූ ජයන්ත වීරසේකරයන්ගේ නිවසේය.
ගුණදාස අමරසේකරයන්ද නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගනිද්දී විජයතුංගයන් සමග එකම පන්තියේ වාඩිවී සිටියේ අල්ලපු ඩෙස්ක් එකේය. විජයතුංගයන් ජයන්ත වීරසේකරයන්ගේ නිවසේ බෝඩිං වී සිටින සමයේ එකල හෙළ හවුලේ නයු මහ කිවි රැයිපියල් තෙන්නකෝනුන් ඇතුළු හෙළ හවුල් සගයන් ඇසුරෙහි තමා ලද අත්දැකීම් , අතින් හිසින් ඇසින් නන් අභිනය පාමින් මා සමග විවිධ විචිත්‍ර ලෙස හෙළි කළ දවසක මම ඔහුට මෙසේ පැවසුවෙමි.
"මුනිදාස කුමාරතුංග මැරෙනකොට වයස පනස් දෙකයි. ලියන්න කියන්න පටන් අරන් තියෙන්නෙ වයස තිස් ගණන්වල වගේ. ජීවත් වෙලා උන්න අවුරුදු විස්සට කොච්චර වැඩක් කරල තියෙනවද! අකාලෙ මළේ නැත්නං තව කොච්චර වැඩක් කරයිද!"
එවේලේ විජයතුංගයන්ගේ කටින් වහා පැන්නේ මෙවදන්ය.
"එතකොට කරූ අපි දෙන්නට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ."
ඔහුගේ ඒ කියමන තුළ සැඟවුණු තියුණු උපහාසය කල්පනාව පුබුදු වන සුලු උපදෙසක් නොවේද?
මීට අවුරුදු දෙක තුනකට කලින් දිනක මම ගෙදර සිට කිරිබත්ගොඩ හන්දියට පයින් යමින් සිටියෙමි. සරමක් හා ෂර්ට් එකක් හැඳි විජයතුංගයෝ ඔහු පදිංචිව සිටි අතුරු පාරෙන් මාකොළ පාරට බැස්සහ.
"සර් මොනවා හරි ගන්න යනවද?"
"නෑ කරූ. මට තියෙන හොඳම නැෂනල් බැනියමේ බොත්තං කැඩිලා. ඒකෙ බොත්තං ටික මහ ගන්න යනවා. අද හැන්දෑවට මට සම්මාන පිරිනමන උත්සවයක් තියෙනවනෙ."
2025 නොවැම්බර් මස 21
177
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
243
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1120
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජේ.වී.පී ය හා හරිශ්චන්ද්‍ර විජයතුංග