මාතර ශාන්ත සර්වියස් විද්‍යාලයේ මම පහ පන්තියේ අධ්‍යාපනය ලබන කාලේ සිංහල විෂය භාර ගුරුවරයා ලෙසට කටයුතු කළේ ටී.කේ.සෝමපාල මහත්තයා. එතුමා අපේ පන්තියට පන්ති පුස්තකාලයක් හදුන්වා දුන්නා. ඔහු කොළඹට ඇවිත් පන්ති පුස්තකාලයට පොත් ගෙනාවා. එකල මට මතකයි විශේෂයෙන්ම ගුණසේන සමාගමේ ප්‍රකාශිත ළිහිණි පොත් එකක මිල රුපියලයි ශත පනහයි. අපේ පාසල් විෂයන්ට අමතරව කියවන්න විශාල වශයෙන් පොත පත ලැබුණේ මේ පන්ති පුස්තකාලය හදුන්වාදුන් සෝමපාල ගරුමහතා නිසා. මම අදටත් එතුමාට ස්තුතිවන්ත වෙනවා මට කියවිම හුරුකළාට. පාසල් විෂයන්ට අමතර කියවීම් ලෙස චරිතකතා, පරිවර්තන, කෙටිකතා, නවකතා ආදී නොයෙක් සාහිත්‍ය කෘති ප්‍රාථමික අධ්‍යාපන අවධියේදීම කියවන්නට ලැබුණා. ඒ විතරක්ම නෙමෙයි. ඒ වෙනකොට මම මාර්ටින් වික්‍රමසිංහ, ටී.බී.ඉලංගරත්න ,
ඩබ්ලිව් .ඒ.සිල්වා, ආදීන්ගේ කෙටිකතා නවකතා, ජී.බී. සේනානායකගේ පරිවර්තන, මඩවල එස්. රත්නායකගේ පරිවර්තන ආදි කෘතීන් අඩුවැඩි වශයෙන් කියවා තිබුණා.
මේ අතරේ 1959 වසරේ ප්‍රකාශයට පත්වුණා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නවකතාවක්. ඒ නම මළගිය ඇත්තෝ.1959 මළ ගිය ඇත්තේ ප්‍රකාශයට පත්වුනත් එය මට කියවන්න ලැබුණේ මම උසස් පෙළ පන්තියේදී ඒ 1965/65 වසරේ.
මේ නවතකාව මම වඩාත් ආශාවෙන් කියවූ කෘතියක්. මම වඩාත් කැමතිම ග්‍රන්ථය,මගේ හිත වඩාත් තදින් ඇද බැඳ ගත්ත කෘතියක් වේ නම් එය නවකතා කෘතියක්. එයින් අදහස් වෙන්නෙ නෑ මම අනෙක් ශානරයන් යටතේ ලියවෙන පොත පත අගයන් නෑ කියලා.
සරච්චන්ද්‍රයන් මළගිය ඇත්තෝ නවකතාව දෙවැනි කොටසක් ලෙස මළවුන්ගේ අවුරුදුදා නමින් නවකතාවක් රචනා කළා. එය කියවූ පසු එය මගේ හිත ඉතා තදින් ඇද බැඳගන්න සමත්වූ කෘතියක් කීවොත් එය නිවැරදියි.
ලංකාවෙි සිත්තරෙක් දෙවොන්දරා සං ජපානයේදී ඔහුට හමුවන නොරිකෝ නම් යුවතිය අතර ඇතිවෙන ප්‍රේමය පිළිබඳ අනුවෙිදනීය නවකතාවක් මළවුන්ගේ අවුරුදු දා.
මා සිත් ඉතාම තදින් බැඳගන්නට සමත් වන්නේ ඒ නවකතාවෙි රමණීය භාෂාවයි.දෙරටක පෙම්වතුන් දෙදෙනෙකුගේ සංස්කෘති දෙකක හැල හැපිපීම් ගැටුම් ඉතාම ආකර්ෂණීය බසකින් සරච්චන්ද්‍රයන් එහි ඉදිරිපත් කරන විලාසය මං හිතන්නේ බොහෝ පාඨකයන් ගේ ප්‍රශංසාවට ආදරයට ලක්වුණා.පැරණි සාහිත්‍ය හා සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය බස මේ කෘතියේත් රස වඩා වැඩි කළා කියා මට හිතෙනවා.
නොරිකෝ සංගේ අතීත ස්මරණයක් සරච්චන්ද්‍රයන් මළවුන්ගේ අවුරුදුදා කෘතියේ 65 වන පිටුවේ මෙලෙස සටහන් කරනවා.
,”එහෙත් එදා රාත්‍රියේ රුප්පාවල ඉඳගෙන ගී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රාමෝදෙන් විසඥ වූ කලක මෙන් නිහඬව ඔහු සමඟ සක්මන් කරම්න් උන් වේලේ අප දෙදෙනා සුපින ලොවක සැරිසරන්නවුන් සේ පෙනුනද මතු මත්තෙහි කුමක් වෙතත් යොවුන් වියේදී මට මේ සා ආශ්වාද විඳීමට ලැබීම මගේ භාග්‍යක් ලෙස මම කල්පනා කළෙමි….”
ප්‍රේමයේ,විරහව පිළිබඳව මේ තරම් හද රිදවන ,හද සසල කරවන සංවේදි ලියවිල්ලක් මම වෙන කිසිඳු නවකතාවකින් කියවා නෑ. මා පමණක් නොවෙයි බහුතර පාඨකයන් තමන්ගේ විඳි විරහ වේදනාවේ ඡායාවක් මේ ලියවිල්ගේ අන්තර්ගත වෙලා කියා මට හිතෙනවා.
“ඔබ එතකොට යනව, නෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත්, අනිද්දටත්, කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව, කනව බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ.”
ඔහු මුවින් නොබැණ මා දෙස බලා සිටිය සැටි මට මතකය. ඔහු මගේ දුක දුටුවේය. එහෙත් ” මම යන්නෙ නෑ,” යි නොකීවේය. ” මම ආයෙමත් එනවනෙ, ” යි ඔහු කීවේය. එහෙත් ඒවා දුබල වදන් විය. ඔහුවත් ඒවා විශ්වාස කළා දැයි මට සැක සිතුණි. ඔහුට නොයන්ට තිබුණි. හෙට නොගොස් අනිද්දා යන්ට තිබුණි. ” මම අනිද්දා යනව,” යි කීවේ නම්, මම කෙතරම් සැනසෙම්ද. අනිද්දා වුවත් තව එක් දවසක් තිබෙනවා නොවේද? ඒ දවසත් මේ වාගේම ගෙවී යනු නියතය. ආයෙමත් ” මම හෙට යනව, ” යි ඔහුට කියන්ට සිදුවේ. එහෙත් අද? අද ඔහු හෙට නොයයි. ඔහු හෙට යන දවස නොවේ අද. අදට හෙට තිබේ, හෙටට කුමක් වෙතත්.
ඔහු නිසොල්මන්ව හුන්නේය, මා දෙස බලාගෙන. ඔහුගේ තීරණය අනිවාර්යය. එය ලෝකයේ ජරා මරණය සේ වෙනස් නොවෙන නියත ධර්මයක් සේ විය. ඇයි එසේ වන්නේ? යන්ට තීරණය කළේ ඔහු නො වේ ද?
” තව කල් දැම්මත් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන් .”
මගේ කනට මේ වචන කොඳුරනවා ඇසිණි. යළිත් ආ හැකි නිසා ද යන්නේ? නොගියොත් යළිත් ආ නොහැකිය. එය සැබෑවකි. මට එය නොතේරුණි. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. මගේ හදවත සැනසුම් ලද්දේය…….
“ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම ”
දශක හයක පටන් අද දක්වාම මම හිතන්නේ හැමදාමත් මගේ හිතේ මේ නොරිකෝ දෙවොන්දරා ඔවුන් විඳි ප්‍රාමෝද්‍යය විරහව නින්නාද දෙනවා.මං හිතනවා මමත් එහි පංගුකාරයෙක් කියා.
මාතර ශාන්ත සර්වියස් විද්‍යාලයේ මම පහ පන්තියේ අධ්‍යාපනය ලබන කාලේ සිංහල විෂය භාර ගුරුවරයා ලෙසට කටයුතු කළේ ටී.කේ.සෝමපාල මහත්තයා. එතුමා අපේ පන්තියට පන්ති
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මළවුන්ගේ අවුරුදු දා රමණීය භාෂාවකින් ලියූ නවකතාවක්