(මනෝප්‍රිය ගුණසේකර)

සැකකටයුතු අන්දමින් ගෙළ වැළලාගෙන මියගිය බව කියන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව විවෘත අධිකරණයේදී පැවසු කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඒ බව පොලිස්පතිවරයාට දැනුම් දෙන බවද පැවසීය.

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පවත්වන විමර්ශන වලට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදි ඒ බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා මරණකරුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන පිළිබඳ සෑහීමකට පත් නොවන බව කොළඹ අපරාධ කොට්ඨාශයටද දැනුම් දුන්නේය.

සිද්ධියට අදාල පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු මරණකරුගේ ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යංශය හරහා ඇපල් සමාගමට දැනුම් දුන් බවත් අදාළ දත්ත දින 90ක කාලයක් පමණක් රඳවා ගන්නා බව එම සමාගම දැනුම් දී ඇතැයි සඳහන් කළ කොළඹ අපරාධ කොට්ඨාශය අදාළ දින 90 ක කාලය නොවැම්බර් 29 වැනිදායින් අවසන් වන බවද අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අවස්ථාවේදී පොලිස් නිලදාරීන් ඇමතූ මහේස්ත්‍රාත්වරයා දි 90න් පසු අදාළ ජංගම දුරකථනයේ දත්ත නැති වෙනවද? යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් පොලිස් නිලධාරීහු ඒ සම්බන්ධයෙන් ‘ඇපල්’ සමාගමමෙන් යළි ඉල්ලීමක් කර ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි දැනුම් දුන්හ.

මහේස්ත්‍රාත්වරයා” මෙවැනි සිදුවීමකට අදාළ වටිනා දත්ත ලබා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හෝ නීතිපතිවරයාට දැනුම් නොදුන්නේ මන්ද? යනුවෙන් විමසා සිටියේය.