(විමුක්ති එස් රුද්‍රිගු)

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ඉරානය ඇතැම් නෞකාවලින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 20 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 622 ක් පමණ) අය කිරීමට තීරණය කර ඇති බවත් එම තීරණය දැනටමත් ක්‍රියාත්මක වන බවත් ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙකු වන ඇලෙඩින් බොරෝජර්ඩි ඉරාන් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වෙත පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

මෙම තීරණයත් සමග දශක ගණනාවකට පසුව හෝමුස් සමුද්‍ර සන්ධියේ නව "ස්වෛරී පාලනයක්" ස්ථාපිත වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු සහ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයන්ගෙන් ඉරානයේ යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බැවින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් ගාස්තුවක් අය කිරීම අසාධාරණ නොවන බවද ඔහු පැවැසුවේය.

එසේම ඉන් ඉරානයේ බලාධිකාරියද පෙන්නුම් කරන බව ඔහු ප්‍රකාශ කළේය. ඇමෙරිකාව, ඉරානයේ විදුලි බලාගාරවලට පහරදී විනාශ කළහොත් ඉරානය ඊශ්‍රායලයේ විදුලිබලාගාර දිනක් තුළ විනාශ කර දැමිය හැකි බවද ඔහු සඳහන් කළේය.