(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන ඇමතිනී අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහි  විශ්වාසභංග යෝජනාවකට අත්සන් ලබාගෙන එය ඉදිරිපත් නොකර සිටීම ගැටළුවක් හෙයින් යෝජනාව ඉදිරිපත් කරනවාද නැද්ද යන්න මේ සභාවට දැනුම් දෙන්නැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

එය අත්සන් කළේ නම් බාර දෙන්නැයි ඉල්ලීම් කරන බව පැවසූ අමාත්‍යවරයා මෙවැනි  විශ්වාසභංගය රටේ ස්ථාවරයටද බලපෑම් ඇති කරන බව සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

බිමල් රත්නායක මහතා  මෙසේද පැවසීය.

විපක්ෂය  අගමැතිවරියට එරෙහිව  විශ්වාසභංගයක් අත්සන් කරගෙන යනවා. අගමැතිවරියට එරෙහිව  විශ්වාසභංගයක් අත්සන් කරගෙන යෑම ඉතාම බරපතළ  කාරණයක්. විශ්වාසභංගයකට අත්සන් තබලා ඒක ඉදිරිපත් නොකර ඉන්න එක ගැටලුවක්. අපි මේ දවස් හතරට න්‍යාය පත්‍රය හදලා තියෙනවා. 22 සහ 23 දවස් දෙක ඕන නම් ඒ විශ්වාසභංගයට  යොමු කරන්න පුළුවන්. විපක්ෂය පැත්තෙන් ඒ විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවද නැද්ද

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා:

ඒක විපක්ෂයේ කාර්යභාරයක්. අපි සාකච්ඡා කරලා අවශ්‍ය වෙලාවට කටයුතු කරනවා.