(අංජුල මහික වීරරත්න)

හානි අවම වගා ක්‍රමයක් වන හරිතාගාර ( Poly Tunnel Growing)වල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ පහක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වැඩසටහනට  එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් 30ක් තෝරාගන්නා බව අමාත්‍යවරයා කීය.

හරිතාගාර වගා ක්‍රමය ඇරඹීමට රුපියල් ලක්ෂ 10ක් වැය වන අතර ඉතිරි ලක්ෂ පහ ගොවියා විසින් දැරිය යුතු බව අමාත්‍යාංශය පවසයි.

 පොලිටනල් තුළ වගා කිරීමේ ව්‍යාපෘතිය නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හදුන්වා දීමේ තවත් එක් පියවරක් බව කී අමාත්‍යවරයා  එළවළු වගාවේ දී වන වගා හානි අවම වීම, ප්‍රමිතියකින් යුත් එළවළු වෙළෙඳපොලට සැපයීම හා වසර කිහිපයක්ම පොලි ටනල් යොදා ගැනීම  කළ හැකි බැවින් ගොවීන්ට හොඳ ආදායමක් ලබා ගැනීමට ද හැකියාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 අතරමැදියන් නොමැතිව අස්වැන්න වෙළෙඳපොලට ලබා දීම හා පාරිභෝගිකයාට සාධාරණ මුදලකට අලෙවි කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

හරිතාගාර වල එළවළු වගාව ප්‍රචලිත කිරීමට  ගොවීන් උනන්දු කරවීම සදහා රජය රුපියල් මිලියන 500ක්  මෙම වසර සඳහා ලබා දී තිබේ.